සුපිරි වටයට යෑමට අද ජයගත යුතුමයි

275

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයට යෑමට හිමිවන අවසන් අවස්ථාව වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද (20 වැනිදා) නෙදර්ලන්තය සමගින් තරග බිමට පිවිසීමට නියමිතව තිබේ. ඒ අනුව දෙරට අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන 9.30ට ඔස්ටේ්‍රලියාවේ ජීලෝන් ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක වේ.

සුදුසුකම් ලැබීමේ වටයේ ‘ඒ’ කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම මේ වනවිට සමත් වී තිබේ. ඒ මේ දක්වා සහභාගි වූ තරග දෙකේදී අපරාජිතව ප්‍රසාද ලකුණු 4ක් හිමිකර ගනිමිනි.

නැමීබියානු කණ්ඩායම හමුවේ අමිහිරි පරාජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ජය වාර්තා කරගැනීමට සමත් විය. ඒ අනුව ප්‍රසාද ලකුණු 2ක් සමගින් ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානයේ රැඳෙන්නේ සුපිරි 12 දෙනාගේ වටයට යෑමේ අවස්ථාව තවමත් අවිනිශ්චිත ස්ථානයක රඳවා ගනිමිනි. ශ්‍රී ලංකාව හමුවේ ජය ලැබූවද නෙදර්ලන්තය හමුවේ පරාජයට පත්වූ නැමීබියානු කණ්ඩායම ශ්‍රී ලංකාවට වඩා වැඩි ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවේ. ඒ අනුව අද පැවැත්වෙන තරගය ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට අනිවාර්යය කරුණක් බවට පත්වී තිබෙන අතර යම් හෙයකින් අද තරගය ශ්‍රී ලංකාව පරාජයට පත්වුවහොත් අනතුරුව අද රාතියේදී පැවැත්වෙන එක්සත් අරාබි එමීර් කණ්ඩායම සහ නැමීබියානු කණ්ඩායම අතර තරගයේ ප්‍රතිඵල දෙස බලා සිටීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවන්නේ නැමීබියාවේ පරාජය ප්‍රාර්ථනා කරමිනි.

යම් හෙයකින් අද පැවැත්වෙන තරග දෙකේදී ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සහ නැමීබියාවත් සමත් වූවහොත් කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණු දෙක බැගින් හිමිවේ. එසේ වුවද දළ ලකුණු ලබා ගැනීමේ වේගය මත ශ්‍රී ලංකාව ‘ඒ’ කාණ්ඩයෙන් සුපිරි 12 දෙනාගේ වටයට යෑමට වැඩි ඉඩක් නිර්මාණය වී තිබේ.

කෙසේ වෙතත් යම් හෙයකින් අද ශ්‍රී ලංකා තරගයට වර්ෂාවෙන් බාධා සිදුව තරගය අත්හැර දැමීමට සිදුවුවහොත් කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණ බැගින් හිමිවේ. කරුණු එසේ වෙද්දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවැත්වෙන තරගයෙන් ජය ගැනීමට නැමීබියාව සමත්වූවහොත් ශ්‍රී ලංකාවට යළිත් සුපිරි 12 දෙනාගේ වටයේ බලාපොරොත්තු අතහැර ගැනීමට සිදුව තිබේ.

ජීලෝන් ක්‍රීඩාංගණයේ තණතීරුව පිළිබඳ තවමත් අවබෝධයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට හැකියාව ලැබී නොමැති බව පෙර තරග දෙකේදී දක්නට ලැබිණි. අවසන් තරගයේදී සාර්ථක වූ එකම පිතිකරුවා බවට පැතුම් නිස්සංක පමණක් කැපී පෙණුන අතර ධනංජය සිල්වා ද යම් තරමකින් ශ්‍රී ලංකා ඉනිමට ශක්තියක් එක් කිරීමට සමත් විය. අනෙක් පිතිකරුවන් 09 දෙනකුම ලෝක කුසලාන තරගාවලිය පුරාම මේ දක්වා අසාර්ථක පිතිකරුවන් බවට පත් වී තිබේ.

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අවසන් වරට පසුගිය වසරේ පැවැති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී මුණ ගැසුණු අතර එහිදී නෙදර්ලන්ත ඉනිම ලකුණු 44කට සීමාකර දැමීමට ශ්‍රී ලංකාව සමත් වූයේ එම තරගය කඩුලු 8කින් ජය ගනිමිනි.

අද තරගයට ක්‍රීඩා කරනු ඇතැයි අපේක්ෂිත ශ්‍රී ලංකා කණ්ඩායම: , දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, භානුක රාජපක්ෂ, චරිත් අසලංක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, ලහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු

නෙදර්ලන්ත කණ්ඩායම- ස්කොට් එඩ්වර්ඩ් (නායක), මැක්ස් ඕ ඩවුඩ්, වික්‍රම්ජිත් සිං, බාස් දි ලීඩ්ස්, ටොම් කූපර්, කොලින් ඇකර්මන්, ටිම් ප්‍රින්ගල්, රොල්ෆ් වැනඩර්, ටිම් වැන්ඩර්, ෆ්‍රෙඩ් ක්ලාසන්, පෝල් වැන් මීකරන්

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment