සුපිරි වටයේත් මහනුවර අපරාජිතයි

114

හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව මූලික වටයේදී ලත් ලකුණු 20 ක ජයග්‍රහණය තවදුරටත් ඉදිරියට රැගෙන යන්නට සමත් වෙමින් පෙරේදා (12 වැනිදා) පැවති “නිපෝන් පේන්ට් අභියෝග කුසලාන” අන්තර් සමාජ ප්‍රමුඛ පෙළ ලීග් රග්බි තරග මාලාවේ සුපිරි වටයේ සටන ලකුණු 21 ක ජයග්‍රහණයකින් නිමා කිරීමට මහනුවර ක්‍රීඩා සමාජයට හැකි විය.

නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී ලකුණු 29 – 08 ක ජයග්‍රහණයක ලබා ගත් මහනුවර ක්‍රීඩා සමාජය ප්‍රථම භාගය අවසාන වන විට ලකුණු 19 – 03 ක් ලෙස ඉදිරියෙන් සිටියේය.

ඒ අනුව මෙවර තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම බවට පත්ව සිටින මහනුවර ක්‍රීඩා සමාජය හමුවේ සටහන් වූ 09 වැනි ජයග්‍රහණය මෙයයි. එමෙන්ම, “සුපිරි වටය” යටතේ මහනුවර ලත් දෙවන ජයග්‍රහණය ද මෙය විය.

ජයග්‍රාහී මහනුවර පිල ගෝල් දිනුම් 03, උත්සාහක දිනුම් 01 සහ දඬුවම් පහර 01 මගින් ලකුණු පුවරුව ඉහළ නංවා ගත් අතර හැව්ලොක්ස් සමාජයේ ලකුණු එකතුව උත්සාහක දිනුමක් සහ දඩුවම් පහරක් ආශ්‍රිතව සටහන් විය.

මහනුවර වෙනුවෙන් දමිත් දිසානායක 01, ඌරුමුත්තාව වජීඩ් 01 සහ තරිදු චතුරංග 01 බැගින් උත්සාහක දිනුම් සම්පූර්ණ කළ අතර එහි ප්‍රවර්තන 03 ක් සහ දඬුවම් පහරක් නිවැරදි රිද්මය සහිතව ප්‍රතිවාදී ගෝල් කණු අතරින් යොමු කිරීමට තරින්ද රත්වත්තේ සමත් විය. හැව්ලොක්ස් පිල ලත් එකම උත්සාහක දිනුම රමේෂ් ප්‍රනාන්දු වාර්තා කළ අතර ෂෙහාන් ඩයස් ගේ දකුණු පාදයෙන් එකම දඬුවම් පහර සාර්ථක විය.

මේ වන විට ප්‍රසාද ලකුණු පුවරුවේ අංක 01 මහනුවර ආරක්ෂා කර ගෙන සිටින අතර සී. ආර්. ඇන්ඩ් එෆ්. සී. පිල දෙවන ස්ථානයේ පසුවෙයි.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment