සුපිරි වෙළෙඳසල්වලින් සුපිරියටම ගේම් ගැසූ එකම පවුලේ කෙල්ලො සෙට් එක අත්අඩංගුවට

1283

කල්ලියේ මහමොළේ ලොකු අක්කාලු
අම්බලන්තොට සිට හලාවත දක්වා සුපිරි වෙළෙඳසල්වලින් බඩු උස්සලා

විශේෂිත වු කලිසමකින් සැරසී සුපිරි වෙළෙඳසල්වලට සංවිධානාත්මකව ඇතුළු වී භාණ්ඩ සොරා ගැනීමේ නිරත එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙක් සහෝදරයෙක් සහ තවත් කාන්තාවක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

එම කල්ලිය විසින් සොරාගෙන තිබූ රුපියල් එක් ලක්ෂ පනස් දහසකට ආසන්න වටිනා මිලෙන් අධික කිරිපිටි ටින්, කුඩ, හිසකෙස් ගල්වන ආලේප, වේදනා නාශක පෙති, ඇතුළු භාණ්ඩ රැසක් සහ සොරකම් සඳහා පිරිස ගමන්ගත් ත්‍රිරෝද රථය ද පොලිස් භාරයට ගෙන ඇත.

හැඳ සිටින සායට යටින් කලවා ප්‍රදේශය හොඳින් තද වන සේ මසන ලද ඇදෙන සුලු‍ විශේෂිත කොට කලිසමක් ඇද

පාරිභෝගිකයන් සේ සුපිරි වෙළෙඳසල්වලට ඇතුළු වන කාන්තාවන් තිදෙනා එහි තිබෙන කූඩයක් රැගෙන මිලෙන් අධික භාණ්ඩ ඒ තුළට දමාගෙන වෙළඳසල තුළ පාළු ස්ථානයකට ගොස් එම භාණ්ඩ හැඳ සිටින විශේෂ කලිසම තුළ රුවාගෙන භාණ්ඩ සොරා ගැනීම පුරුද්දක් කර ගෙන තිබූ බව පොලිසිය කියයි.

එක් අයකු භාණ්ඩ සඟවා ගන්නා අතරේ දී අනෙක් දෙදෙනා ඔත්තු බැලීම සිදු කර ඇතැයි පොලිසිය කියයි.

භාණ්ඩ සොරා ගැනීමෙන් අනතුරුව වෙළෙඳසලේ සේවකයන්ට සැකයක් ඇති නොවන පරිදි අඩු මිල සඳහන්ව තිබෙන භාණ්ඩ කිහිපයක් පමණක් මුදල් අයකැමි වෙත ඉදිරිපත් කර වෙළෙඳසලෙන් පිට වීම සිදුකර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සුපිරි වෙළෙඳසල තුළදී භාණ්ඩ කලිසම තුළ සඟවා ගැනීමට පෙර වෙළඳසල්වල සවිකොට ඇති කැමරා පිළිබඳ දැඩි අවධානයක් යොමුකරන අයුරු දර්ශන වල පටිගත වී ඇතැයි පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු විසින් සොර කාන්තාවන් තිදෙනා වෙළෙඳසල් කරා රැගෙන යාම සිදුකර ඇතැයිද පොලිසිය කියයි.

බස්නාහිර පළාත දකුණු දිසාව භාර අපරාධ කොට්ඨාසය වෙත කාන්තාවන් පිරිසක් භාණ්ඩ සොරා ගැනීම සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන සමඟ ලද පැමිණිලි දෙකක් අනුව සිදු කළ දීර්ඝ විමර්ශනයේදී සැකකාර කාන්තාවන් තිදෙනා සහ අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ පානදුර අලු‍බෝමුල්ල ප්‍රදේශයේ නිවසක් තුළදී ය.

සැකකාරියන් පදිංචි නිවස පරීක්ෂා කිරීමේදී නිවස තුළ ගබඩා කර තිබූ මිලෙන් අධික කිරිපිටි ටින් ඇතුළු භාණ්ඩ තොගයක් සොයා ගැනීමට හැකි වූ බවද පොලිසිය කියයි.

දහවල් කාලයට වෙළෙඳසල් වල සොරකමේ ගොස් එම භාණ්ඩ විකුණා ලබා ගන්නා මුදල්වලින් බූරු ගැසීම මොවුන් කාලයක සිට කර තිබූ බවද පොලිසිය කියයි.

මෙම කල්ලිය විසින් අම්බලන්තොට සිට හලාවත දක්වා සුපිරි වෙළඳසල්වලට වරින්වර යමින් දීර්ඝ කාලයක සිට සොරකමේ යෙදී ඇතැයි පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් කාන්තාවන් අතරින් වැඩිමල් සහෝදරිය විසින් මෙම කල්ලිය මෙහෙයවා ඇති අතර සොරකම් කරන සෑම භාණ්ඩයක්ම ඇය වෙත ලබා දීම සිදු සිදුකළ යුතුව ඇතැයි ද සෙසු සැකකාරියන්ගෙන් ප්‍රශ්න කිරීමේදී කිරීමේදී අනාවරණය වී ඇත.

මෙම සංවිධානාත්මක සොර කල්ලිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

බස්නාහිර පළාත (අපරාධ බාර) නියෝජ්‍ය පොලිස්පති ප්‍රශාන්ත ජයකොඩි, බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් අබේසේකර, සහකාර පොලිස් අධිකාරීවරුන් වන රොහාන් පෙරේරා, චන්දන ගමගේ මහත්වරුන්ගේ උපදෙස් මත ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන්, පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර, උප පොලිස් පරීක්ෂක රුක්ෂාන් බණ්ඩාර, පොලිස් සැරයන් 40248 ප්‍රසන්න, 21284 බණ්ඩාර, පොලිස් කොස්තාපල්වරුන් වන 69598 අනිල්, 84762 කුමාර, 72979 චමින්ද යන අය පරීක්ෂණ පවත්වති.

පොලිස් කොස්තාපල් 104701 සිසිල, 104645 කේශර, 45321 රණතුංග, 10748 කෞශල්‍ය, 10818 තිලකසිරි, කාන්තා පොලිස් කොස්තාපල් 11287 ලක්ෂාණි මහත්ම මහත්මීහු පරීක්ෂණවලට සහාය වූහ.

කැස්බෑව බිමල් ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment