සුපිරි හතරේ පළමු පිම්ම ශ්‍රී ලංකාව කඩුලු හතරකින් පනියි

309

සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පන්දු වාර 20-20 තරගයක ඉහළම ලකුණු හඹා යෑම සහ ඇෆ්ගනිස්තානයට එරෙහිව කණ්ඩායමක් හඹා ගොස් ලද ඉහළම ජයග්‍රහණය වාර්තා කරමින් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි වටයේ පළමු තරගය කඩුලු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා (03 වෙනිදා) සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට පෙර බංග්ලාදේශයට එරෙහිව ඩුබායි හි පැවැති තරගයේදී ද ලකුණු 183ක ඉලක්කයක් හඹා ගොස් ජය ගත් අතර එම ජයග්‍රහණයද ඩුබායි ක්‍රීඩාංගණයේදී වැඩිම ජයග්‍රාහී ලකුණු හඹා යෑම විය. එමෙන්ම ඊට පෙර පසුගිය ජුනි මස 11 වෙනිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ඔස්ටේ්‍රලියාවට එරෙහිව පැවැති තරගය ද ශ්‍රී ලංකාව ජයගෙන තිබුණේ ලකුණු 176ක ඉලක්කයක් හඹා ගොසිනි.

සුපිරි හතරේ පළමු පිම්ම ශ්‍රී ලංකාව කඩුලු හතරකින් පනියි

ඒ අනුව කණ්ඩායමක් ලැබූ ජයග්‍රහණ අතරට ලකුණු 175ට වඩා වැඩි ඉලක්කයන් හඹා ගොස් තරග 3ක් එක දිගට ජයගත් ලොව එකම කණ්ඩායම බවටද ශ්‍රී ලංකාව පෙරේදා වාර්තා පොත් අතරට එකතු විය.

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතර දෙනාගේ වටය ආරම්භ කරමින් ඇෆ්ගනිස්තානය සමග පෙරේදා පැවැති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලකුණු 176ක ඉලක්කයක් ශ්‍රී ලංකාව හමුවේ තැබූ අතර 20 වෙනි පන්දු වාරයේ පළමු පන්දුවේදී ඇෆ්ගනිස්තාන සිහින සුන්ව යන විට ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගොස් තිබුණේ කඩුලු 6ක් පමණි.

සාජා ක්‍රීඩාංගණයට රැස්ව සිටි ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ගෙන් ලද නොමඳ සහය මත දිරිය වඩා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ ඇෆ්ගනිස්තානය හමුවේ ලද පරාජයේ වාඩුව මෙම ජයග්‍රහණයෙන් පියවා ගත්තා පමණක් නොව සුපිරි හතර දෙනාගේ වටයට තැබූ පළමු පියවර සාර්ථකව නිමා කර ගත්තේය.

පළමු පන්දු වාර 15 නිමා වන විට එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 138ක් රැස් කර ගෙන සිටි ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලකුණු 200 ක පමණ සීමාවට අවතීර්ණ වෙමින් සිටි සලකුණු පෙන්නුම් කළද මහීෂ් තීක්ෂණ, අසිත ප්‍රනාන්දු ප්‍රමුඛ පන්දු යවන්නෝ ප්‍රතිවාදීන් ලකුණු 175 සීමාවේ රඳවා  ගැනීමට සමත් වූහ.

රහමනුල්ලා ගුර්බාස් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව අනුකම්පා විරහිත පිතිප්‍රහාරයක නිරත වෙමින් දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළද ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු පිතිකරුවන්ගේ සාමුහික ශක්තිය මත ගුර්බාස්ගේ ඉනිම යට ගොස් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය හිමි විය.

පන්දු 45කින් වාර්තා වූ ගුර්බාස් ගේ ලකුණු 84 ඉනිම සඳහා හයේ පහර 6ක් සහ හතරේ පහර 6ක් ඇතුළත් වූ අතර ඔහු එල්ල කළ පන්දු පහරක් උඩ පන්දුවක් ලෙස රැක ගත් ධනුෂ්ක ගුණතිලකගේ පාදයක් හතරේ සීමාව ස්පර්ශ කිරීම හේතුවෙන් ගුර්බාස් ඉදිරියේ සටහන් වූ හයේ පහරක් ද ඒ අතර වෙයි.

16 වෙනි පන්දු වාරයේ අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ සිය හත් වෙනි හයේ පහරට සැරසුණු ගුර්බාස් වනිඳු හසරංගගේ දක්ෂ උඩ පන්දු රැකීම හමුවේ දැවී ගිය අතර ශ්‍රී ලංකාව තරගයෙන් ජය ගත්තද එම විශිෂ්ට ඉනිම අගයමින් ගුර්බාස්ට තරගයේ වීරයා සම්මානය හිමි විය.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක දෙදෙනා පළමු පන්දු වාර හය තුළදී ලකුණු 57ක් ලබා ගත් අතර එය ශ්‍රී ලංකා ජයග්‍රහණයට කදිම අඩිතාලමක් විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැඩිම කඩුලු ලාභියා ලෙස සැලකෙන දක්ෂ දකුණත් පාදඟ පන්දු යවන්නා වූ රෂිඩ් ඛාන් ගේ පන්දු දෙකක් පිට පිට හයේ පහර දෙකක් බවට පත් කළ මෙන්ඩිස් ඊට පෙර මුජීබ් ගේ පන්දුවක්ද හයේ සීමාවට යොමු කර තිබුණි.

මුජීබ් ගේ පන්දු හමුවේ හයේ පහරක් එල්ල කර සිටි අනෙක් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 35කට පිටියෙන් ඉවත් වූ අතර නවීන් උල් හක්ගේ පන්දුවක් හතරේ සීමාවට ඉහළින් එල්ල කිරීමට ගිය කුසල් මෙන්ඩිස් ගේ වේගවත් ඉනිම පන්දු 19කදී ලකුණු 36 ක් ලෙසින් ඊට පෙර නිමා විණි.

කලකට පසු ලකුණු අතරට පැමිණි ධනුෂ්ක ගුණතිලක පන්දු 20 කදී ලකුණු 33ක් ලබා ගත් අතර රෂිඩ් ඛාන් ගේ පන්දුවක් හමුවේ ඔහු දැවී ගියේ එම පන්දු වාරයේ පළමු පන්දුවේදී රිවර්ස් ස්විප් පහරකින් හතරේ පහරක් ලබා ගැනීමෙන් අනතුරුව දෙදෙනා අතර ඇති වන්නට ගිය උණුසුම් වචන හුවමාරුවක්ද සමගිනි. පසුව එය සමාදානව විසඳුනද රෂීඩ් ඉන් තමාට සහ කණ්ඩායමට අවශ්‍ය දෙය කර ගත් අතර එම පන්දු වාරයේ හතරවෙනි පන්දුවට ධනුෂ්ක වැරයෙන් එල්ල කළ පහර වැරදී කඩුල්ල බිඳී  ගිය ධනුෂ්කට කර බා ගෙන ක්‍රීඩාගාරයට යෑමට සිදු විය.

අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේ තිබූ සියලු පීඩනයන් අකා මකා දමමින් වේගවත් පිතිහරඹයක නිරත වූ භානුක රාජපක්ෂට ශ්‍රී ලංකා ජයටැඹට ලකුණු 2ක් මෙපිටින් තිබියදී සිය ලකුණු 31 ඉනිම නිමා කරන්නට සිදු විය. ඇෆ්ගනිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක නවීන් උල් හක් ගේ පන්දු 3ක් තුළ පිට පිට හතරේ පහර 2ක් සහ හයේ පහරක් එල්ල කළ භානුක සිය ඉනිමට තවත් හතරේ පහර 2ක් ඇතුළත් කර ගෙන තිබුණි.

පෙර තරගයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට මහත් හිසරදයක් වෙමින් එදා තරගයේ වීරයා වූ ෆසල්ලාහ් ෆරූකි යැවූ අවසන් පන්දු වාරයේ පළමු පන්දුවට චාමික කරුණාරත්න එල්ල කළ හතරේ පහරින් ශ්‍රී ලංකා ජය සනිටුහන් විය. ශ්‍රී ලංකාව සුපිරි වටයේ සහභාගි වන මීළඟ තරගය හෙට (06 වෙනිදා) ඉන්දියාව සමග පැවැත්වෙයි.

කුෂාන් සුබසිංහ සාජා සිට

advertistmentadvertistment
advertistmentadvertistment