සුපිරි

1067

ලංකා ඉතිහාසයත් වී වගාවේ ඉතිහාසයත් එකටම ආරම්භ වූහයි පිළිගත හැකි සාක්ෂි තිබේ. මිනිසුන් මුලින්ම වී වවා ඇත්තේ අවුරුදු දස දහසකට පෙරය. ගොඩ වී වශයෙන් වගුරු බිම්වල ඉබේට හැදුණු හැල් ගොයම් ගස්වල කරල් සූරාගෙන වාසස්ථාන කරා ගෙන ගොස් වීවල පොත්ත ඉවත් කර තම්බා හෝ අමුවෙන් අනුභව කිරීමට ආසියාවේ ජීවත් වූ මූලික මනුෂ්‍යයෝ මෙයට අවුරුදු දස දහසකට හෝ පසළොස්දහසකට පෙර පුරුදුව සිටියහ. ඔවුන් වී පොතු හෙවත් දහයියා ඉවත දැමුවේ වාසස්ථානය වටා පිහිටි භූමියට ය. එවිට වී පොතු අතර තිබූ හොඳ තත්ත්වයේ වී ඇට පැළ විය. ගේ ළඟින්ම වී ලබාගත හැකි නම් කොතරම් යහපත් දැයි කල්පනා කළ ඒ මිනිස්සු දුර බැහැර මඩ ගොහොරුවල පැළවී තිබූ ගොයම් ගස්වල කරල් සූරාගෙනවුත් වාසස්ථාන අවට ඉසින්නට වූහ. මේ වූකලී සංවිධානාත්මක කුඹුරු ගොවිතැන පිළිබඳ ඉතිහාසයයි. මේ පිළිබඳ දීර්ඝ විස්තර ලබාගැනීමට කොළඹ පිහිටි රාජකීය ආසියාතික සංගමයේ පුස්තකාලයට ගොස් එහි තිබෙන Annual Report ඔබ පරික්ෂා කළ යුතුය. ගෝනබරු, පොලොන් වී, ගුරුපොඩි වී, කුරුමා වී, පුල්ලි වී, අලගු සම්බා, පුෂ්පරාග, අල්ලෙයි පෙරුමාල්, හපුමල් වී, මඩ ඇල් වී ඇතුළු මේ රටේ ජනතාව සිහිනෙන්වත් නම් අසා නැති වී වර්ග 3000 ක් ලංකාවේ තිබේ. අල්ලෙයි පෙරුමාල් සහ අලගු සම්බා යනු දෙමළ සම්භවයක් ඇති වී වර්ග වෙති. චෝල අධිරාජ්‍යය ලංකාවේ සිටි කාලයේදී දකුණු ඉන්දියාවෙන් මේ වී වර්ග ගෙනවුත් මෙහි පැළ කරන්නට ඇති. මේ අනුව ලංකාව යනු සහල් කෞතුකාගාරයක් බව පැහැදිලිය. මේ රටේ හෙක්ටයාර් හත් ලක්ෂ අටදාහක වී වගා කළත් අද දුර්ලභම දේ හොඳ තත්ත්වයේ සහල් ය.

සහල් මිල ඉහළ යන්නේ ඇයි? එයට උත්තරයක් විමල් වීරවංශ සතුව ඇත. සහල් මිල ඉහළ යන්නේ ලෝක වෙළෙඳපොළ නිසා නොවන බවත් මේ රටේ සහල් මිල පාලනයෙන් ගිලිහී ඇති නිසා බවත් ඔහු කියයි. මෙය තමයි ඇත්තම කතාව. ඇමැති විමල් වීරවංශ මේ කතාව කිව්වේ සමෘද්ධි ලාභී වනිතාවන් පිරිසකට ස්වයං රැකියා උපකරණ බෙදාදීමේ අවස්ථාවකදීය. 1977 වනතුරු ශ‍්‍රී ලංකාව තුළ තිබුණේ පාලනය කළ වෙළෙඳ පොළකි. පාලනය කළ වෙළෙඳපොළක අපේක්ෂාව වන්නේ වෙළෙඳ ඒකාධිකාරය නැවැත්වීමය. 1977 දී අගමැති ජේ. ආර්. ජයවර්ධන ශ‍්‍රී ලංකාව තුළ විවෘත ආර්ථික වෙළෙඳපොළක් ඇති කිරීමේ එක් පරමාර්ථයක් වන්නේද වෙළෙඳ ඒකාධිකාර නැතිකොට තරඟකාරී වෙළෙඳපොළක් ඇති කිරීමය. එහෙත් මේ අවස්ථා දෙකේදීම අපට වැරදින. 70 – 77 කාලයේදීත් මුදලාලි ඒකාධිකාරයක් බිහි විය. ඒ මුදලාලිලා දේශීය මුදලාලිලා ලෙස සලකා සැනසීමට හැකි වුවද එතන බිහිව තිබුණේ කවර ස්වරූපයේ හෝ ඒකාධිකාරයකි. මේ වෙළෙන්දෝ වැඩිදෙනා එවකට රට පාලනය කළ බණ්ඩාරනායක මැතිනියගේ අනුග‍්‍රහය සහ ආශිර්වාදය ලද සිංහලයෝ වූහ. ජේ. ආර්. ජයවර්ධන අගමැතිවීමෙන් පසු විවෘත වෙළෙඳපොළ සංකල්පය හඳුන්වාදෙන්නේ ලංකාව තුළ තරඟකාරී වෙළෙඳපොළක් ඇතිකර නිෂ්පාදකයන් වැඩි කිරීම සඳහාම පමණක් නොව බණ්ඩාරනායක මැතිනියගේ වෙළෙඳ ඒකාධිකාරී හිතවතුන් බිමට සමතලා කර ඇගෙන් පළිගැනීමටත් එක්කය. එහෙත් ජේ. ආර්. ගේ අරමුණ වැරදින. මේ වැරැද්ද ඊ්ජන සෙරු වීමක් ලෙස හැඳින්විය හැකිය. ශ‍්‍රී ලංකාවේ සහල් වෙළෙඳපොළ අද වනවිට ප‍්‍රධාන හාල් මෝල්කාරයන් 4 දෙනකු අත රඳා පවතින්නේ මේ බැක් ෆයර් වීමේ අනිසි පසුකාලීන ප‍්‍රතිපලයක් ලෙසය. අද මේ රටේ තිබෙන වී අලෙවි මණ්ඩලයෙන් වැඩක් නැත. එයින් යම් ප‍්‍රමාණයක හෝ ප‍්‍රයෝජනයක් ගන්නේ සත්ත්ව ආහාර නොහොත් කුකුළු කෑම හදන බිස්නස්කාරයන් පමණි. වී අලෙවි මණ්ඩලයට ගෙනවුත් ගබඩා කර තබා ගන්නා වී කලට වේලාවට වෙළෙඳපොළට නිකුත් කිරීමට බැරිවීම නිසා හෝ ගබඩා තුළ නරක්වීම නිසා හෝ ඉතා අඩුවට සත්ව ආහාර සඳහා විකුණනු ලැබේ. මෙහිදී බත් කන මිනිහාට වඩා වී කන කුකුළා වාසනාවන්තය. මේ රටේ සහල් ඒකාධිකාරය බිඳ දැමීමේ ස්ථිර වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැත. ආණ්ඩුව සහල් මිල පාලනය කළ ගමන් වෙළෙඳපොළේ තිබෙන සහල් අතුරුදන් වෙයි. ඉන්පසු ඉතිරිවන්නේ තැම්බූ විට හාල් ඇටය කොස් ඇටයක් තරම් ලොකුවෙන කුණු ජරා සහල් වර්ග ය. සහල් වෙළෙඳ ඒකාධිකාරයට මුහුණදීම සඳහා ආණ්ඩුව කරන්නේ කුමක්ද? ඉන්දියාවෙන් සහල් ගෙන්වීමය. මේ වනවිටත් ඉන්දියාවෙන් සහල් කිලෝ එක්ලක්ෂ පනස්දාහක් ගෙන්වීමට ආණ්ඩුව තීරණය කර තිබේ. ඔබ මෙය කියවන මොහොත වනවිටදී එම සහල් ලංකාවට පැමිණ ඇතුවා විය හැකිය. ඉන්දියාවෙන් ගෙන්වන සහල් ප‍්‍රමිතිගත සහල් නොවේ. උදාහරණයක් ලෙස පොන්නි නමැති සහල් වර්ගය එන්නේ ඉන්දියාවෙනි. මෙහි වර්ග කිහිපයක් ඇති අතර මිල අධික හොඳම වර්ගය හැර සෙස්ස සුදුසු වන්නේ කුකුළු කෑම පිණිසය. ආණ්ඩුව ගෙන්වන බාල සහල් නොවිකිණුනොත් ඒවා කුකුළු කෑම කට්ටිය අතට ලාබෙට යයි.

මේ රටේ හාල් මෝල්කාරයන් මර්දනය කිරීමට ආණ්ඩුව දැඩි පියවරක් ගත යුතුය. මේ වනවිට අනුභවයට සුදුසු සම්බා වර්ග කිලෝව රුපියල් 165 සිට 220 දක්වා මුදලට වෙළෙඳපොළෙන් ලබාගත හැකිය. සුදු හෝ රතු කැකුළු ද නාඩු ද රුපියල් 100 ට වැඩිය. හාල් මෝල්කාරයෝ කිසියම් සහලක මිල වැඩිකර ගැනීමට අවශ්‍ය නම් එම සහල් වර්ගයට ඉදිරියෙන් සුපිරි යනුවෙන් යොදති. සුපිරි සම්බා, සුපිරි කීරි සම්බා, සුපිරි නාඩු යනාදී වශයෙන් සුපිරි සහල් ගණනාවක්ම වෙළෙඳපොළේ ඇත. හාල් මෝල්කාරයින්ගේ සුපිරි උපක‍්‍රමවලට මුහුණදීම සඳහා ආණ්ඩුව සතුව වඩාත් සුපිරි උපක‍්‍රම තිබිය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment