සුබ නැකත වැරදුනොත් සේරම ඉවරයි?

375

කුඩා දරුවකු වශයෙන් මෙලොවට බිහිවූදා සිට අවසානයේ මරණය දක්වාම ජීවිතයේ ඒ ඒ කටයුතු සඳහා සුබ නැකතක් පිළියෙල කර ගැනීම අද සමාජයේ බොහෝ දෙනාගේ සිරිතකි. දරුවකුගේ ළදරු වයසේදී හිසකේ කැපීම, ඉඳුල් කට ගෑම, අකුරු කියවීම, යෞවන වයසේදී රැකීරක්‍ෂා කටයුතු, නිවසක් ඉදිකර ගැනීම, විවාහ කටයුතු මේ ආදී බොහෝ කටයුතු උදෙසා සුබ නැකතක් දෛවඥ මහතකු ලවා පිළියෙල කරවාගෙන ඒ අනුව කටයුතු කරති. මෙයින් තමන් බලාපොරොත්තු වන්නේ සුබ නැකතට අදාළ එම කටයුත්ත බාධාවකින් තොරව හරියාකාරව සාර්ථකව ඉටුකර ගැනීමය. සුබ නැකතින් ඉටුවිය යුත්තේද එයයි. එසේ නම් එම නැකත සුබ නැකතක්ම විය යුතුය. සමහරවිට මොනයම් ආකාරයකින් හෝ මෙම සුබ නැකත මර නැකතක් වී වැරදුනොත් එහෙම කුමක්ද? වෙන්නෙ කියා මෙතැන් සිට බලමු.

අපගේ ජීවිත කාලය තුළ කළ යුතු සුබදායී කටයුතු උදෙසා පුර සඳු, ගුරු, සිකුරු ආදී සෞම්‍ය ග්‍රහයින්ගේ හෝරාවන් තුළ එම ග්‍රහයකුට හිමි විනාඩි 3ක් පමණ වූ මොහොතක් මෙම සුබ නැකතට යොදා ගන්නා අතර ඒ සඳහා තව විමසිලිමත් විය යුතු සිද්ධාන්ත බොහෝ ඇතත් මාතෘකාවට අදාළව මා මෙහිදී විස්තර කරනු ලබන්නේ සුබ නැකත හෝරාවට පමණක් සීමා කර වැරදි ආකාරයෙන් පිළියෙල කරදී ඇති අවස්ථා මා වෙත ලැබුණ නිසාය. පංචාංගයේ දිනය හා තිථියවත් නොබලා නිවාස සුබ නැකැත් වැරදි ආකාරයෙන් පිළියෙල කරදී ඇති අවස්ථා මා හට හමුවිය.

විවාහ දිවියට පා තැබූ නව යුවළකට මංගල ශාලාවේ උත්සවය අවසන් කර සවස ආපසු පිටත් වීමට සුබ නැකත යොදා තිබුණේ අව පක්‍ෂයේ, අව අටවක තිථියට ගුරු දිනකටය. මකර ලග්නයේ කන්‍යා දෙර්කාණයෙන් උපත ලබා ඇති මනාලියගේ 22 වන දෙර්කාණාධිපති කුජ එදින ධනු රාශියේය. එදින චන්‍ද්‍රයා එකොළොස් වැන්න වූ වෘශ්චික රාශියේ නීච තත්ත්වයෙන් සිටී, සෙනසුරු ඒරාෂ්ඨක ගමනේ ලග්නයේය. අටවැන්න අධිපති රවි දෙවැන්න වූ කුම්භ රාශියේය. මනාලියගේ එදින මේ ග්‍රහ ගෝචරය මධ්‍යයේ සවස 3.11 ට පිටත්වී ගියේ රාත්‍රිය ගතකිරීමේ පොරොන්දුව මත කළුතර ප්‍රදේශයේ මිත්‍රයකුගේ නිවසක් වෙතය. එදින රාත්‍රිය එම නිවසේ කාමරයක සුව පහසු අන්දමින් දෙදෙනාට වෙන්කර තිබුණේය. මනාලියගේ එදින ග්‍රහ ගෝචරය ඉතා අසුබ තත්ත්වයේ පැවතීම නිසාදෝ රාත්‍රි 10.00 පසුවන විට ඇයගේ ශරීරය සීතල වී දෙපා දුර්වල වී කතා කිරීමට අපහසු විය. බලවත් රෝග තත්ත්වයක් ඇතිවිය. මේ හේතුව නිසා පසු දින හෝම් කමින් කරන්නට සිදුවූයේ කාගේත් ඇස් රතු කරගෙනය. ලිපිය දීර්ඝ වන නිසා මෙහි වැඩි විස්තර සඳහන් නොකරන අතර එදිනට යෙදී තිබුණ ‘දෙට’ නැකත මනාලියගේ නැකතට විපත් වන අතර උදේ වරුවේ පැවති පෝරුවේ තැබීම් පවා මර යෝගවලට අසුවී ඇති බව පැහැදිලි විය. අඩුම තරමේ එදින රාහු කාලයවත් බලා නැත.

කෙසේ නමුත් විවාහ මංගල සුබ නැකැත් සෑදීමේදී මනාල මහතාගේත් මනාල මහත්මියගේත් ග්‍රහ ගෝචරය සුබ නැකැත් දිනයට අනිවාර්යයෙන් සුබදායක විය යුතු බව මාගේ අදහසයි. විශේෂයෙන් චන්‍ද්‍රයා එදිනට තම ලග්නය අනුව සුබ රාශියක බලවත් විය යුතුය. ගුරු දිනට රාහු කාලය ප.ව. 1.30 සිට 3.00 දක්වා පවතින බැවින් ඉර උදාව වැඩි නම් රාහු කාලය 3.00 පසුවීත් තිබෙන නිසා මංගල ශාලාවල කටයුතු අවසන් වී මනාල යුවළට සවස පිටත්වීමේ සුබ නැකත පිළියෙල කිරීමේදී අමතක වීමකින් හෝ රාහු කාලයට අසුවිය හැකි බැවින් ඒ ගැන විමසිලිමත් විය යුතුය.

අසුබ නැකතකට ගැහැනු දරුවකුගේ කණ විදීම නිසා සිදුවී ඇති හානිය මෑතකදී මා හට හමුවිය. දරුවාගේ උපන් නැකතට පරම මෛත්‍රී වශයෙන් එදින නැකත යෙදී ඇති නමුත් තුලා ලග්නයේ වූ එම දරුවාගේ දෙවැන්නේ චන්‍ද්‍රයා සමග රාහු නීචව සිටීමද අසුබ වීමෙන් විෂබීජ ඇතුල්වී තදබල උණ රෝග තත්ත්වයක් ඇතිවී කරදර සිදුවිය. එදින විෂ කලාවද හිස් මුදුනේ විය. කෙසේ නමුත් මෙවැනි සුබ නැකැත් සෑදීමේදී සුබ දිනයේ සුබ ග්‍රහයාගේ හෝරාවට පමණක් එය සීමා නොකළ යුතුය.

ඊළඟට තදබල දෝෂ තත්ත්වයක් ඇතිවී අතර මග වැඩ නතර වී ඇති නිවසක් මා හට හමුවිය. කෙසේ නමුත් ඒ වනවිට එම නිවසට මුල් ගල තැබූ එකම පුතා දෙමාපියන්ට අහිමි වී මාස කීපයක් ගතවී හමාරය. නිවසේ මුල් ගල තබා තිබුණේ බ්‍රහ්ම පාදයට අසුවූ නිදන කාමරයක මුල්ලේය.

ගිණි කතිරයට ආසන්නවම මුල් ගල තබා තිබුණේය. ගිණි කතිරයට කෙලින් ඉදිරිපස මිදුලේ ලිඳ පිහිටා තිබුණේය. මුල්ගල තැබූ සුබ නැකත පුත්‍රයාගේ උපන් නැකත සමග විපත් කොටසට හිමිව තිබුණි. සිංහ ලග්නයේ ධනු දෙර්කාණයෙන් උපත ලබා තිබූ එම පුත්‍රයාගේ 22 වන දෙර්කාණාධිපති චන්‍ද්‍රයා සිව්වැන්නේ එම සුබ නැකැත් දිනයේදී ගෝචර ගමනේ යෙදී සිටියේය. කෙසේ නමුත් සුබ නැකත යෙදී තිබුණ දිනයේ වෘශ්චික තත්කාල ලග්නයේ චන්‍ද්‍රයා නීචවද, ලග්නාධිපති කුජ අටවැන්නේ ද රවි, බුධ, සිකුරු, කේතු 12 වැන්නේද ශනි 3 වැන්නේ ද ගුරු 5 වැන්නේ රාහු 6 වැන්නේ යෙදී තිබුණි. කෙසේ නමුත් උපන් ලග්නයේ සිංහයේ, සිව්වැන්නේත් තත්කාල වෘශ්චික රාශියේත් චන්‍ද්‍රයා නීච වීම හා තත්කාලයේ කුජ අටවැන්නේ සිට සතුරු වී සිව්වැන්නට යොමුවීම නිසාත් මුල්ගල තැබූ පුත්‍රයා මාස 3ක් යාමට මත්තෙන් ප්‍රේම සබඳතාවයක් නිසා සියදිවි නසා ගත්තේය.

උපතින් රාහු දසවැන්නේ සිංහ රාශියේ සතුරු තත්ත්වයෙන් යෙදී සිටින වෘශ්චික ලග්නය හිමි අයකු සුබ නැකතකට ගොඩනැගිලි ද්‍රව්‍ය ව්‍යාපාරයක් ආරම්භ කර අන්ත අසරණ තත්ත්වයකට පත්වූ අවස්ථාවක් මා හට මුණගැසින. සුබ නැකතට ආරම්භ කළ එම ව්‍යාපාරය ටික දිනක් දුර්වලව පවතින විට එම ගොඩනැගිල්ල හිමි අයිතිකරු එය ඉල්ලා සිටීම නිසා ගොඩනැගිලි ද්‍රව්‍ය සියල්ල ස්ථානයෙන් අස්කර ගැනීමට සිදුවිය. ඉන්පසුව ඒ අවට ස්ථානයක් නොවූ හෙයින් සියලු ද්‍රව්‍ය තම නිවසට ගෙන යෑමට සිදුවිය. නිවස පවතින්නේ ජනාකීර්ණ නොවූ ප්‍රධාන පාරෙන් ඈත් වූ ගම්බද කොටසකය. කෙසේ නමුත් අවසානයේ එම ව්‍යාපාරය ඒ පුද්ගලයාට එපාම විය. කොහොමද සුබ නැකත මරු නේද? ඒ වනවිට එම අයගේ කේන්ද්‍රයේ වෘශ්චික

ලග්නයෙන් 12 වැන්නේ රවි නීචවද ශනි ලග්න ඒරාෂ්ඨක ගෝචරයේ වෘශ්චිකයේද රාහු උපතේ සිටි සිංහ රාශියේම ගෝචරයේ යෙදී සිටියේය. කෙසේ නමුත් නැකත සෑදූ ජ්‍යොතිර් මහතා මේ ග්‍රහ තත්ත්වය දුටුවේ නැද්ද? දුටුවා නම් මෙම අපල තත්ත්වය පැහැදිලි කර දීම ඔහුගේ යුතුකම විය යුතුය. සුබ නැකතක් පිළියෙල කිරීමට පළමුව අදාළ කරුණට සුදුසු බාධා නොවන ග්‍රහ තත්ත්වයක් කේන්ද්‍රය හිමියාට ඒ වනවිට තිබෙනවාද යන්න පරීක්‍ෂා කර බැලීමත් එසේ තැනිනම් එම තත්ත්වය ඔහුට පැහැදිලි කර දීම මෙම වෘත්තියේ යෙදෙන අපගේ යුතුකම බව මාගේ අදහසයි. සියල්ල විනාශ කරන 12 වැන්නේ ලග්න ඒරාෂ්ඨකය සෙනසුරු ආරම්භ කර තිබේ නම් ඒ බව විශේෂයෙන් අප පැහැදිලි කර දිය යුතුය. එසේ නොමැතිව කේන්ද්‍රය අතට ගෙන නැකත බලා ඊට සීහුම් වෙන කුමක් හෝ නැකතක් ලිතෙන් බලා ගුරු හෝරාවකට මුහුර්තය සකසා දීමෙන් පලක් නැති බව පවසමි. ඒ අතරම තවත් මේ ලිපියට ඇතුළත් කළ යුතු වැදගත් කරුණක් ඇත.

එනම් නිවාස නැකැත් සෑදීමේදී බෙරණ, පුවපුටුප, අස්ලිස, කැති ආදී අධෝ මුඛ නැකැත්වලට සුබ මුහුර්තය සාදා මුල් ගල තැබීමට නියම කර ඇති අවස්ථා මා හට හමුවිය. එම නිවාස මුල් ගල් තැබුවා පමණයි. එතැනින් එහාට අත්තිවාරම වල්බිහිවී ඇත. ලිං කැපීම, පතල් හෑරීම, මැණික් ගැරීම වැනි ජලය ආශ්‍රිත පොළොව යට ව්‍යාපාර කටයුතු සඳහා එම අධෝමුඛ නැකැත් සුදුසු වේ.

නිවාස ඉදිකිරීම් කටයුතු සඳහා රෙහෙණ, අද, පුෂ, උත්‍රපල්, සියාවස, උත්‍රසල, සුවණ, දෙනට, උත්‍රපුටුප යනාදී ඌර්ධව මුඛ නැකැත් සුදුසු බව පුරාණ පොතපතේ සඳහන් වේ. උඩට විහිදී යන නැකැත් වශයෙන් මේවා විස්තර වේ.

අස්විද, මුවසිරස, හත, සිත, සා, අනුර, පුනාවස, රේවතී යන නැකැත් ව්‍යාපාර කටයුතු සඳහා සුබදායක බව පෙන්වා දී ඇත. සිරස් මුඛ නැකැත් වශයෙන් මේවා හරහට පැතිර යන විසිරී යන නැකැත් වශයෙන් පෙන්වා දී ඇති අතර ආරම්භ කරන ව්‍යාපාර කටයුතු ද එලෙසම ව්‍යාප්ත වී දියුණු වේ.

කාලීනව මම මේ විස්තර ඉදිරිපත් කළේ අද බොහෝ අවස්ථාවල සුබ නැකැත් පිළියෙල කිරීම ආවාට ගියාට කරන දෛවඥ මහත්වරු සිටින නිසයි. මා හට මුණගැසුන එවැනි නැකැත්වලින් අමාරුවේ වැටුන අය සිටින ස්ථාන කීපයක තොරතුරු මෙම ලිපියට ඇතුළත් කළේ ඒ නිසයි. සුබ නැකතට මුල්ගල තබා අවසානයේ ඉඩමක් එපාවී විකුණා දමා වෙනත් පළාතකට යන අය මේ අතර සිටිති.

කෙසේ නමුත් මෙහිදී දැනගත යුතු විශේෂ කාරණය වන්නේ යම් අයකුට නැකතක් පිළියෙල කිරීමේදී ඔහුගේ හෝ ඇයගේ ඒ වනවිට ග්‍රහ තත්ත්වය අදාළ කරුණට සුදුසු පරිදි තිබේ දැයි පරීක්‍ෂා කර බලා අවංකව උපදෙස් දීමය. එවිට මෙම අගනා ශාස්ත්‍රයේ ගෞරවය රැකෙනවා ඇත. ඒ අතරම සුබ නැකත වැරදුනොත් සිදුවෙන දේ මේ කරුණුවලින් ඔබට පැහැදිලි විය යුතුය.

ජ්‍යොතීර්වේදී ජේ. ගුණපාල
170, අරමණාගොල්ල, හොරණ.
0774347574

advertistmentadvertistment
advertistmentadvertistment