සුභ වෙලාව සොයා වැඩ අරඹමු

78

දිනකට ඉංග්‍රීසි පැය 24කි. සිංහල පැය නම් 60කි. ඉංග්‍රීසි පැය 1ක් සිංහල පැය 2 1/2කි. වෙලාව පිළිබඳ සැලකීමේදී ඉංග්‍රීසි ක්‍රමයට රෑ 12 සිට පසු දින රෑ 12ට එක් දවසක් ලෙස ගණන් ගැනේ. නමුත් නක්‍ෂත්‍ර ක්‍රමයට යම් දිනක ඉර උදාවේ සිට පසු දින ඉර උදාව තෙක් කාලය දවසක් ලෙස ගණන් ගැනේ. මෙයට සූර්ය දිනයක් ලෙස ද නම් තබයි.

හෝරාවක් යනු පැයක් වුව ද ජ්‍යොතිෂයේ හෝරාවක් පැයට සුළු මිනිත්තු ගණනක් අඩු හෝ වැඩි වේ. හරියටම හෝරාවක ප්‍රමාණය සොයා ගැනීමට දිවාමානය සාදා ගත යුතුය. එහිදී ලැබෙන පැය, මිනිත්තු 12න් බෙදිය යුතුය. දිවාමානය සොයා ගන්නා අන්දම මෙසේය. යම් දිනක ඉර බැසීම පැය 24 ක්‍රමයට ලියා එයින් එදින ඉර උදාව අඩු කළ යුතුයි. එහිදී ලැබෙන පැය මිනිත්තු ගණන 12න් බෙදූ විට එදින හෝරාවක ප්‍රමාණය ලැබේ. නොඑසේ නම් දල වශයෙන් හෝරාව ගැනීම සඳහා ලංකා ග්‍රහස්ඵුට පංචාංග ලිතේ දී ඇති කාල හෝරා ගත හැක. එය ඉර උදාව උදේ 6.00ට වූවා යැයි පදනම් කර ගනිමින් කාල හෝරාවට අදාළ බෙදීම් සහිතව පැයෙන් පැයට හෝරා දී ඇත.

නක්‍ෂත්‍ර ක්‍රමයට හෝරාවක් සොයන ආකාරය උදාහරණයක් ඇසුරෙන් අධ්‍යයනය කරමු.

2016 ජනවාරි 9 සෙනසුරාදා සැලකීමට භාජනය කරමු.

ජනවාරි 9 ඉර බැසීම = 18.9

ජනවාරි 9 ඉර උදාර = 6.25

දිවා මානය 11.44 ÷ 12

හෝරාවක ප්‍රමාණය = 0.58.40

මෙම මිනිත්තු 58යි තත්පර 40 සෙනසුරාදා දවස පුරාම හෝරාවක ප්‍රමාණයයි. දවසක මුල් හෝරාව එම දිනය අධිපතිගේ නමින් හැඳින්වේ. එනම් අප උදාහරණයට සෙනසුරාදා දිනයේ මුල්ම හෝරාව ශනි හෝරාව වේ. මෙම හෝරාව උදේ 6.25 සිට 7.23 දක්වා පවතී. ඉතිරි හෝරා නම්කිරීම ලිත නොබලාම සොයා ගැනීමේ පහසු ක්‍රමයක් ඇත. දිනයේ මුල් හෝරාව සොයා ගත් පසු එම හෝරාවට අයිති දිනට කලින් දිනට කලින් දින අධිපතියා අනෙක් හෝරාවයි. උදාහරණයක් ලෙස අප ගත් සෙනසුරාදා දිනයම ගනිමු. එහිදී පළමු හෝරාව ඒ දින අධිපතියා වන ශනිට අයිති වේ. දෙවන හෝරාව සෙනසුරාදා දිනට කලින් දින සිකුරාදාය. ඊට කලින් දින බ්‍රහස්පතින්දාය. එනිසා බ්‍රහස්පතින්දාට අධිපති ගුරු දෙවැනි හෝරාව වේ. එලෙසම තුන්වැනි හෝරාව ගණිනුයේ බ්‍රහස්පතින්දාට කලින් දින බදාදාය. බදාදාට කලින් දින අඟහරුවාදාය. එම නිසා අඟහරුවාදාට අධිපති කුජ බැවින් තුන්වැනි හෝරාව කුජ හෝරාව වේ. මෙලෙස සෙනසුරාදා දවස පුරාම හෝරා නම්කරනු ලබයි.

මෙම තත්කාල හෝරා නැවත නැවත බෙදීම සිදු කරයි. දිවාමානය 12න් බෙදා ලැබුණු හෝරාවක ප්‍රමාණය 5න් බෙදූ විට පංචම කාල හෝරාවක ප්‍රමාණය හා එම පංචම කාල හෝරාවක ප්‍රමාණය 3න් බෙදූ විට සුක්‍ෂ්ම කාල හෝරාවක ප්‍රමාණය ද ලැබේ. මෙය ද ඉහත උදාහරණය ආධාරයෙන්ම විමසමු.

2016 ජනවාරි 9 දිවාමානය 12න් බෙදූ විට හෝරාවක ප්‍රමාණය පැය 0 මිනිත්තු 58 තත්පර 40ක් ලෙස ලැබිණි. මෙම

හෝරාවක ප්‍රමාණය = 0.58.40÷5

පංචම හෝරාවක ප්‍රමාණය = 0.11.44÷3

සුක්‍ෂ්ම හෝරාවක ප්‍රමාණය = 0.3.54

මෙම පංචම කාල හෝරාවක ප්‍රමාණය මිනිත්තු 12ක් හෝ ඊට ආසන්න අගයක් වේ. අප උදාහරණයේ පංචම කාල හෝරාවක ප්‍රමාණය මිනිත්තු 11යි තත්පර 44කි. මෙම පංචම කාල හෝරා නම් කිරීමේදී මුල් පංචම කාල හෝරාව එම අදාළ හෝරාධිපතියාගේ නමින් යෙදේ. උදාහරණයක් ලෙස හෝරාව ගැනීමේදී බුධ හෝරාව ගතහොත් පංචම කාල හෝරා වගුවේදී බුධගේ තීරයේ පළමු තීරුව බුධ ගනු ලබයි. ඉන් පසු ඉතිරි පංචම හෝරා කාල ගනු ලබන්නේ දින උදාවන අනුපිළිවෙළටය. මේ අනුව පළමු පංචම කාල හෝරාව බුධ වුණි නම් ඊළඟ පංචම කාල හෝරාව බදාදාට පසු දින බ්‍රහස්පතින්දාට අයිති දින අධිපතිට අයිතිය. එනම් ගුරුය. පංචම කාල හෝරාව සුභ මුහුර්ත සඳහා යොදා ගැනීමේදී විෂ පංචම කාල හෝරාව අතහැර ගැනීමට වගබලා ගන්න.

තවදුරටත් සියුම් කර සූක්‍ෂම කාල හෝරාව ගැනීමේදී ලබාගත් පංචම කාල හෝරාව අයිති ග්‍රහයා පළමු සුක්‍ෂම කාල ග්‍රහයා වේ. උදාහරණයක් ලෙස බුධ පංචම කාල හෝරාව ගත් විට එහි පළමු සුක්‍ෂම කාල හෝරාව බුධ වේ. අනෙක් සුක්‍ෂම කාල හෝරා ගනු ලබන්නේ බුධ හිමි බදාදා දිනට කලින් දිනට කලින් දිනයි. එනම් ඊළඟ සුක්‍ෂම කාල හෝරාව බදාදා දිනට කලින් දින අඟහරුවාදා නොව ඊට කලින් දින සඳුදාය. සඳුදා දින අධිපති සඳු වේ. එනම් දෙවැනි සුක්‍ෂම කාල හෝරාව සඳු සුක්‍ෂමයයි. මෙම සුක්‍ෂම හෝරා කාල පරාසය සම්මතයක් ලෙස පිළිගැනෙනුයේ මිනිත්තු 4ක කාලයක් කියාය. නමුත් අපගේ උදාහරණයේ සුක්‍ෂමයක කාල පරාසය මිනිත්තු 3යි තත්ත්පර 54කි. සම්මත කාල පරාසයට වඩා තත්ත්පර 6ක් අඩුවී ඇත. අඩුවීම මෙන්ම මිනිත්තු 4ට සුළු තත්ත්පර ගණනක් වැඩි වීමට ද හැක. එනිසා මුහුර්ත සෑදීමේදී සෑම විටම සම්මත අගය නොව දිවාමානය සොයා නිවැරදි කාල පරාසය සොයාගත යුතුයි.

මෙම සුභ හෝරා, සුභ පංචම හෝරා, සුභ සුක්‍ෂම කාල හෝරා බොහෝ විට වැදගත් වනුයේ සුභ මුහුර්ත සාධනයේදීය. මෙම සුභ මුහුර්ත සෑදීමේදී පෙර කියූ පරිදි විෂ පංචම හෝරා, මර හෝරා, රාහු කාලය, ගුලික හෙවත් මාන්දිට අයත් කාලය ආදිය අනිවාර්යයෙන්ම අත්හළ යුතුයි. ඉහත සඳහන් හෝරා අධිපතීන්, පංචම හෝරා අධිපතීන් හා සුක්‍ෂම හෝරා අධිපතීන් යන තිදෙනාම එකිනෙකාට මිත්‍ර ග්‍රහයන් වේ නම් සෑදූ සුභ මුහුර්තය ඉතා ප්‍රබලය.

යොදා ගන්නා සුභ හෝරාවන් ඒ ඒ වැඩට විශේෂ සුභ ඵල පෙන්වයි. සුභ හෝරාවක් ලෙස සඳහන් වන්නේ ගුරු, සිකුරු, බුධ, සඳු යන හෝරාය. අශුභ හෝරා ලෙස ගනුයේ රවි, ශනි, කුජ යන හෝරාත්ය. මෙයින් ගුරු හෝරාව විවාහ කටයුතුවලට නැකැත් දීමේදී විශේෂයෙන් යොදා ගැනේ. සිකුරු හෝරාව ඉගෙනීම් වැනි ශාස්ත්‍රීය කටයුතු සඳහා ද, බුධ හෝරාව පැවිදි කරවීම වැනි කටයුතු සඳහා ද විශේෂයෙන් යොදා ගනී. සතියේ දින 7ට අදාළව එක් එක් දිනට මරු හෝරා ද යෙදේ. මෙම මරු හෝරා කිසිදු සුභ වැඩකට යොදා නොගනී. එම හෝරා මෙසේයි. ඉරිදාට කුජ හෝරාව ද, සඳුදාට බුධ හෝරාව ද, අඟහරුවාදාට ශනි හෝරාව ද, බදාදාට සඳු හෝරාව ද, බ්‍රහස්පතින්දාට සිකුරු හෝරාව ද, සිකුරාදාට ගුරු හෝරාව ද, සෙනසුරාදාට රවි හෝරාව ද එදිනට මරු හෝරා වේ.

සුභ මුහුර්තයන් සෑදීමේදී දිවාමානයේ යෙදෙන නැකැත් මෙන්ම නිශාමානයේ යෙදෙන නැකැත් ද වේ. ඉහත දිවාමානයේ සුභ හෝරා ගන්නා ආකාරය සඳහන් වුව ද නිශාමානයේ එනම් පාන්දර නැකැත් ගැනීමේදී අනුගමනය කරන පියවර සඳහන් නොවුණි. නිශාමානය සාදා ගන්නේ මෙසේයි.

උදාහරණයක් ලෙස 2016 ජනවාරි 9 දින නිශාමානය සොයමු.

මෙහිදී දිනකට ඇති පැය ගණන වන පැය 24න් ජනවාරි 9 වැනිදා ඉර බැසීම අඩු කර එම පිළිතුරට 10 වැනිදා ඉර උදාව එකතු කරයි. එහිදී නිශාමානය ලැබේ. ඉන්පසු එම අගය 12න් බෙදා නිශාමානය තුළ හෝරාවක ප්‍රමාණය ගනු ලබයි. එම අගය 5න් බෙදා පෙර පරිදිම පංචමයක ප්‍රමාණයත්, ඒ ලැබුණු අගය 3න් බෙදා සුක්‍ෂමයක ප්‍රමාණයත් ගනු ලබයි.

දවසේ මුළු පැය ගණන = 24.00.00

9 වැනිදා ඉර බැසීම = 18.09.00 -5.51.00

10 වැනිදා ඉර උදාව = 6.25.00 +

නිශාමානය 12.16.00 ÷ 12

හෝරාවක ප්‍රමාණය = 1.1.20 ÷ 5

පංචම හෝරාවක ප්‍රමාණය = 0.12.16÷3

සුක්‍ෂම හෝරාවක ප්‍රමාණය = 0.4.05

සුභ මුහුර්ත සෑදීමේ පහසුව සඳහා යොදා ගන්නා වගුවක් පහත වේ. ලග්නවලට සුභ හෝරා, අශුභ හෝරා, සමඵල හෝරා හා මර හෝරා මෙහි ඇතුළත් කර ඇත.

සුභ වෙලාව සොයා වැඩ අරඹමු

සුභ මුහුර්තයක් සෑදීම බොහෝ භාරදූර කටයුත්තකි. නමුත් ඇතැම් ජ්‍යෙතිෂවේදීන් මෙය සරලව ගෙන ලිතේ ඇති සුභ දින දීමට පුරුදුව සිටියි. නමුත් එසේ නොකරන්න. ජ්‍යොතිෂයට බොරු කිරීම මහා අකුසල කර්මයකි. මරණින් මතු රෞරව නරකයේ දෑස් අන්ධව උපදින අකුසලයකි. එනිසා ඔබේ ළඟට එන සේවාදායකයාට ඉතා සුභ ඵල ලැබෙන ලෙස ඔහුගේ හෝ ඇයගේ ජන්ම නැකතට සම්පත් වන ලෙස ප්‍රබලම නැකැතක් යොදා එම මුහුර්තය සාදා දීමට වගබලා ගන්න. එවිට සේවාදායකයා දියුණු වෙනවා මෙන්ම ජ්‍යොතිෂවේදියා වන ඔබත් උතුම් ජ්‍යොතිෂයත් යන දෙකම බැබළෙනු ඇත.

සුභ වෙලාව සොයා වැඩ අරඹමු

ජ්‍යොතිෂවේදිනී, දේශබන්ධු
ආචාර්ය මංජුලා පුෂ්පරාංගනී පල්ලෙබැද්ද
පානදුර.

advertistmentadvertistment
advertistmentadvertistment