සුරංගනා කතා!

100

දරාගත නොහැකි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින අපේ රටට 2023 උදා වුණේ විසඳුම් නොලද ප්‍රශ්න රැසක් දෙකෝටියකට වැඩි ජනතාවගේ උරහිස් මත පටවමින්.

ඉහළ යන ජීවන වියදම, බදු බර, පොහොර අර්බුදය, දෛනික විදුලි කප්පාදුව, රැකියා අහිමි වීම්, ණය පොලී ඉහළ යෑම, මානව හිමිකම් උල්ලංඝනය වැනි ප්‍රශ්න ඒ අතර වුණා.

අපේ ජනතාව ශක්තිමත් කිරීම උදෙසා නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය, ජනපද ව්‍යාපාර, මහවැලිය ඇතුළු වාරි හා විදුලි යෝජනා ක්‍රම, මහපොල, නිවාස වැඩපිළිවෙළ, සංචාරක ආර්ථිකය, නිදහස් වෙළෙඳ කලාප ආර්ථිකය, ඇඟලුම් ආර්ථිකය ආදී සංවර්ධන වැඩපිළිවෙළවල් තුළින් මැදියම් ආදායම් ලබන රටක්ව සිටි ශ්‍රී ලංකාව, නිදහස ලබා 75 වන වසර උදාවන විට ලෝකයේ බංකොළොත් රටවල්වල ලැයිස්තුවට ඇදහැලිණ. ඊට ආසන්න හේතූන් රටටත් ලෝකයටත් රහසක් නොවේ. අද රටේ සෑම ගෙපැළක් පාසාම අසන්නටත් දකින්නටත් ලැබෙන්නේ අපේක්ෂාභංග වූ වේදනාබර කතන්දර.

ලෝක ආහාර වැඩසටහනට අනුව මෙරට ලක්ෂ 60 කට වැඩි ජනතාවක් – ජනගහනයෙන් සියයට 30 කට ආසන්න පිරිසකට දැනට ආහාර අනාරක්ෂිත වන අතර මානුෂීය ආධාර අවශ්‍යව තියෙන බව ලෝක ආහාර වැඩසටහන කියනවා.

මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකම ඩොලර් බිලියන 85 යි. එය 2023 වසර තුළදී දළ වශයෙන් 9.2%කින් පමණ පහළ යනු ඇතැයි අපේක්ෂා කරනවා. ඒ අනුව ඩොලර් බිලියන 50ක පමණ ආර්ථිකයක් දක්වා ශ්‍රී ලංකාව පහළට වැටෙනු ඇති බව තමයි පුරෝකථනය කරන්නේ.

රටක් ලෙස මෙහෙම අර්බුදයට ලක්ව සිටියදීත් අපි සුරංගනා කතන්දර මත කටයුතු කරන්නේ කොහොමද?

එහෙත් පාලකයන්ට ඒ පිළිබඳව කිසිම සංවේදී බවක් පෙනෙන්නට නැහැ.

අර්බුදකාරී රටක් ක්‍රමානුකූලව වෙනස් කරන නායකයකුගේ කතාවක් ගැන අපූරු චිත්‍රපටියක් තියෙනවා. එහි නම, ‘ලින්කන්’ ටෝනි කුෂ්නර් ලියා ස්ටීවන් ස්පිලින්බර්ග් අධ්‍යක්ෂණය කළ මේ අපූරු සිනමා වියමන පුරා දිවෙන්නේ වහල් ක්‍රමය අහෝසි කරනු පිණිස 1865 ලින්කන් ජනපතිවරයා ගෙනගිය අරගලයේ තරම. අනන්ත පීඩාවන් මැද දිවි ගෙවන වහල් ජීවිතවලට නිදහස උරුමකොට දෙන්නට නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට ලින්කන් ජනපතිවරයා ගත් විසල් වෑයම අරුම පුදුම එකක්.

චිත්‍රපටය පුරාම මතුවන්නේ එතෙක් මෙතෙක් ලොව බිහිවූ විශිෂ්ටතම ජනාධිපතිවරයාගේ මහා පෞරුෂය. මිනිස් අයිතිවාසිකම් මිනිසුන්ට දිනාදීම උදෙසා කැපවූවන් අතරේ මුල් පුරුකක් ලින්කන්ට හිමි වෙනවා.

ජනපතිවරණ සමයේ 11 වියැති නන්නාඳුනන දැරියක් ඔහුට එවූ ලිපියක් ඔහුගේ ජීවිතය බෙහෙවින් වෙනස් කළා.

‘ආදරණීය ලින්කන් මහත්මයානෙණි,’

මම පුංචි දැරියක්. වයස එකොළහයි. ඔබ ඇමතීමට සිදුවීම ගැන සමාවෙන්න. පොළට ගිය මගේ පියා ඔබේ ඡායාරූපයක් ගෙනාවා. ඔබට තියෙන්නේ කෙසඟ, හැකිලුණ මුහුණක්. එය අවලස්සනට බරයි. ඔබ රැවුල වැව්වොත් ලස්සනට හිටීවි. අපේ ගෙදර මට සහෝදරයෝ හතරක් ඉන්නවා. දෙන්නෙක් කැමතියි ඔබ ජනපති වෙනවට. අනෙක් දෙන්නා තාමත් තීරණයක් අරන් නෑ. ඔබ රැවුල වැව්වොත් ඒ දෙනනගේ ඡන්දයත් අරන් දෙන්න මට පුළුවන්.

ඔබට ජය.

මම ග්‍රෙස් බෙඩ්ල්

ලිපිය කියවා අහවර ඇයට ප්‍රති උත්තර යැවූ ඔහු එතැන් සිට රැවුලට වැවෙන්න ඉඩ දුන්නා. ඡන්දය දිනා ඔහු විශේෂ දුම්රියකින් ධවල මන්දිරය කරා යන්නට නියමිතව තිබුණා. වෙස්ට් පීල්ඩ් දුම්රිය නැවතුමේදී අභිනව ජනපති දකින්නට පොදිකන ලක්ෂ ගාණක් ජනයා දකිද්දී ලින්කන්ට යමක් සිහිපත් වුණා. ඒ තමාට ලිපිය එවූ දැරිවියයි.

‘මේ සෙනඟ අතරේ ඉන්නවද ග්‍රෙස් බෙඩ්ල් කියන සුරංගනාවිය. ඈ දකින්න මට ආසයි.’

ජන ගඟ අතරින් ඈ ඔහු වෙත ආවා.

‘ඔයා කීවා වගේ මම රැවුල වැව්වා. ලස්සනද බලන්න?’

දැරිය තුරුල් කරගත් ඔහු ඇහුවා.

‘ඔබ මගේ ආදරණීය ජනාධිපති’

ඇය කීවා.

අර තරම් කුඩා දැරියක් කළ කුඩා ඉල්ලීම පවා ඔහු ඉටු කරන්නට තරම් කාරුණික වුණා.

නායකයන් කියන්නේ එවැනි නම්‍යශීලී සහ ප්‍රශස්ත චරිතවලට.

අපේ රට මේ මොහොතේ මුහුණ දී සිටින අර්බුදයට විසඳුම තිබෙන්නේ ප්‍රශ්නය යථාර්ථවාදී ලෙස භාරගෙන, ජනතාවට සංවේදී වෙමින්, ප්‍රශ්නවලට ප්‍රායෝගික විසඳුම් ලබාදීම සඳහා සැබෑ වුවමනාවකින් උත්තර සෙවීම තුළයි. ජනතාව හා එක්ව පිලිතුරු සොයමින් යන ගමනකින් මිසෙක, මර්දනය විසඳුමක් නොවන බවට ලෝක ඉතිහාසය සහ අපේ ඉතිහාසය දෙන පාඩම් තේරුම්ගත යුතුව ඇත.

ඉම්තියාස් බාකීර් මාකාර්

advertistmentadvertistment
advertistmentadvertistment