සුරංගනා ලෝකයෙන් යථාර්ථය කරා

395

බංකොළොත් ලේබලයෙන් මිදී රටේ ආර්ථිකය සබවාදී දිසාවකට ගමන්කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා ප්‍රකාශ කළේය. එය ශ්‍රී ලාංකිකයින් වන අපට සුබ ආරංචියක් බව අවිවාදිතය.

තම රට බංකොළොත් රාජ්‍යයක් ලෙස හංවඩු ගැසීම ඕනෑම රටවැසියකුගේ හදකම්පා කරවන්නකි. එවැනි බංකොළොත් භාවයකින් රට නිදහස් වීම යනු ආඩම්බරයට කරුණක් හැර වෙන කවරක්ද?

තත්ත්වය එසේ වුවත් පසුගිය වසර ගණනාවක් තිස්සේ මේ රටේ විවිධ රජයන් අය-වැය යෝජනා හරහා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති යථාර්ථයක් බවට පත්වූ අවස්ථා ඉතා විරලය. උදාහරණයක් ලෙස ගතහොත් රට තුළ පවතින ළමා මන්දපෝෂණය නැති කිරීමට පැවති හා පවතින රජයන් ගණනාවක් විවිධ ප්‍රතිපත්ති හඳුන්වා දුන්නත් ඒවා ක්‍රියාත්මක වූ අවස්ථා ඇත්තේ අතළොස්සකි.

2023 අයවැය ලේඛනය මගින් මෙම ප්‍රතිපත්තිය හඳුන්වා දී තිබුණේ මේ අයුරිනි.

‘තෝරාගත් දිස්ත්‍රික්ක හයක උග්‍ර මන්දපෝෂණය සහිත ළමුන් 5640ක් හඳුනාගෙන එක් දරුවකුට මසකට රුපියල් 15,000 බැගින් මාස හයක කාලයක් සඳහා මුදල් ආධාර ලබාදීම.’

අයවැය ලේඛනයේ අන්තර්ගතව තිබුණු වැදගත්ම යෝජනා අතළොස්සක් අතරින් ප්‍රමුඛස්ථානය හිමි වූ මෙම යෝජනාව මේ වනතුරුත් ක්‍රියාත්මක වී නැත. මෙරටේ රිසර්ච් සමීක්ෂණ ආයතනය අනාවරණය කරන පරිදි මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මුදල් ඉල්ලා මුදල් අමාත්‍යාංශයේ ජාතික අය-වැය දෙපාර්තමේන්තුව වෙත ව්‍යාපෘති යෝජනාවක් යොමුකර ඇතත් මේ වනතුරුත් මුදල් ලැබී නැත.

එවැනි පසුබිමක් යටතේ ළමා මන්දපෝෂණය තුරන් කිරීම රජයේ ප්‍රමුඛතා ලැයිස්තුවේ කුමන ස්ථානයක රැඳී තිබෙනවා දැයි අපට සිතාගත නොහැක.

නිසි පෝෂණය නොමැති වීම නිසා ප්‍රතිශක්තිය අහිමි දරු පරපුරක් බිහිවීමේ අනතුරක් මේ වන විටත් සමාජයේ තුළ හටගෙන ඇත. එවැනි පසුබිමක් යටතේ නුදුරු අනාගතයේදීම රෝගී දරු පරපුරක් උරුම කරගත් රාජ්‍යයක් ලෙස මුහුණ දීමට සිදුවන්නේ සුළුපටු අභියෝගයකට නොවේ.

එවැනි අප්‍රාණික අනාගත පරපුරක් හරහා නව නිපැයුම් හෝ නිවහල් සිතුවිලි බිහිවන්නේ නැත. ‘අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී‘ යැයි ආත්තෝපදේශයක් ඇත. එසේම ‘නිවහල් නිමැවුම් මවනා දැයත් උදාරයි’ ජාතිකාභිමානි ගීතයක ලියැවී ඇත. අපට පෙනෙන්නට ඇති පරිදි අනාගත පරපුර මෙම ගුණාංග දෙකෙහිම වියුක්ත වූ ජාතියකි. එවැනි ජාතියකින් බලාපොරොත්තු විය හැක්කේ පරාදීන සිතුවිලිවලින් පෝෂිත වූ පරපෝෂිතයින් කණ්ඩායමක් පමණි.

නවෝත්පාදන සඳහා මෙරට සමාජ යාන්ත්‍රණය තුළ ඇති දිරිගැන්වීම ද ලැජ්ජා සහගතය. අලුත් නිර්මාණයන් සොයා ගන්නා නිර්මාණකරුවකු සොයාගෙන ගොස් කුමක් හෝ වරදක් පටවා ඔහු හිරේ විලංගුවේ දමනතුරු නින්ද නොයන රෝගයකින් පෙළෙන පන්තියක් අපට ඇත.

ඉන්දියාව තම රට ස්වයංපෝෂිත නිෂ්පාදන ක්‍රියාවලියක් කරා ගමන් කරවන පසුබිමක අප රටේ පාලකයින් අරඅඳින්නේ දේශීය නිෂ්පාදන උපන් ගෙයිම මරා දමා පිටරටින් නැව් පිටින් එන කුණු ගොඩවල් රට තුළට වැද්දා ගැනීමටය. එවැනි පසුබිමක් තුළ ගෙවුම් ශේෂය තුලනය කර ගැනීම නොව එදිනෙදා කෑමට බීමට අවශ්‍ය භාණ්ඩ ගෙන්වා ගැනීමටවත් මුදල් ඉතිරි වුවහොත් ඒ පිළිබඳව සතුටු විය යුතුය.

දේශීය නිෂ්පාදන දිරිගන්වන බවට පත්වූ සෑම රජයක්ම ප්‍රතිඥා දී බලයට පැමිණියත් ආණ්ඩුව පිහිටුවා පළමුවෙන්ම කරන්නේ හාල්ඇටයේ සිට සුපිරි මෝටර් රථය දක්වා ආනයනය කිරීමට පිඹුරුපත් සැකසීමයි.

එදා මෙදා තුර පාලකයින් විසින් ගන්නා ලද මෙවැනි අමනෝඥ තීරණ හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වන විටත් කරවටක් ණය කන්දේ ගිලී අවසන්ය. ඉදිරි දශක කිහිපය තුළ මෙරට උපදින පරම්පරාවට ද එම ණය කන්දේ පංගුවක් ඉතිරි වීම මොන තරම් ඛේදවාචකයක්ද?

ජාතික ආර්ථිකය නඟාසිටුවීමට පෙර ජාතිය නඟාසිටුවිය යුතුය. දිනෙන් දින මන්දපෝෂණ ලැයිස්තුවට එක්ව ඇති ළමුන් ප්‍රතිශතය 26%ක් වැනි ඉහළ අගයක පවතින තත්ත්වයක් හමුවේ ජාතිය නඟාසිටුවන්නේ කෙසේ දැයි අපට සිතාගත නොහැක.

අලුයම කහට කෝප්පයක් බඩට දමාගෙන පාසලට පැමිණෙන දරුවන් සිටින රටක මන්දපෝෂණය තුරන් කිරීමේ වැඩසටහන් ආරම්භ කළ යුත්තේ දරුවා මව්කුසට පැමිණි දා සිට හෝ ඊටත් පෙර සිටය.

ඒ වෙනුවෙන් විවිධ ප්‍රතිපත්ති ප්‍රකාශන තුළින් සුරංගනා යෝජනා ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් නොවන අතර ඊට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදී ඒවා යථාර්ථයක් කිරීම ජාතිය නඟාසිටුවීමට ඇති එකම මඟ බව අවධාරණය කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment