සුරක්‍ෂා ගැන අපේක්‍ෂාවත් සුන්!පාසල් සිසුන්ගේ සුරක්‍ෂා රක්‍ෂණය කප්පාදු කිරීමට සැරසෙයි!

704

ලංකාවේ පාසල් යන දරුවෝ ලක්ෂ හතළිස් හතක් වෙති. ඔවුහු පාසල් එකොළොස් දහස් එකසිය දොළහක් තුළ අධ්‍යාපනය ලබති. රජයේ පාසල්, ආධාර ලබන පුද්ගලික පාසල්, ආධාර නොලබන පුද්ගලික පාසල්, ජාත්‍යාන්තර පාසල්, හා පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සංඝයාවහන්සේ ඇතුළු අවුරුදු 5 සිට 19 දක්වා වූ ලක්ෂ හතලිස් පහකට ආසන්න සිසු පිරිස එක මොහොතක එක්වර රක්ෂණයේ ප්‍රතිලාභ හිමිකරුවෝ වූයේ සුරක්ෂා රක්ෂණාවරණය යටතේය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ යහපාලන ආණ්ඩුවෙන් සියලුම පාසල් දරුවන් වෙත ලබාදුන් රක්ෂණාවරණය දැන් කප්පාදු කිරීමටත් ප්‍රතිලාභ අඩුආදායම් ලාභී පවුල්වල දරුවන්ට පමණක් සීමා කිරීමටත් රජය තීරණය කර ඇත. මෙයට අදාළ චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර ඇත. නව චක්‍රලේඛයට අනුව ප්‍රතිලාභ පවුලේ සියලුම පාසල් යන දරුවන් අතර බෙදී යයි.

පාසල් සිසුන් සඳහා වන සුරක්ෂා රක්ෂණ ක්‍රමයේදී සිසුන්ගේ දෙමාපියන්ගේ හෝ නීත්‍යනුකූල භාරකරුවෙකුගේ මරණයක් සඳහා ලබාදීමට නියමිත වූ රුපියල් 200,000 රුපියල් 75,000 දක්වා අඩු කර ඇති අතර එහි හිමිකම් ලැබීමට නම් අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් විය යුතුය යන අනිවාර්ය වගන්තියක් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කොට ඇත.

මව්පියන් දෙදෙනාම මිය ගියහොත් එම මුදල අවස්ථා දෙකටම වෙන වෙනම ලබා දෙන බව අමාත්‍යාංශ ලේකම් එම්. එන්. රණසිංහ මහතා පළාත් ලේකම්වරුන්, අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් වෙත නිකුත් කර ඇති නව චක්‍රලේඛයේ සඳහන් කර ඇත.

මෙම සුරක්ෂා රක්ෂණයේ ප්‍රතිලාභ සම්බන්ධයෙන් නවතම තොරතුරු අපට දැක ගත හැකි වන්නේ එහි ප්‍රතිලාභ සම්බන්ධයෙන් මුද්‍රණය කර ඇති පත්‍රිකාව තුළින්ය. ඊට අමතරව සුරක්ෂා රක්ෂණය මෙහෙයවන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් අපගේ මූලාශ්‍ර ඔස්සේ කරන ලද සොයා බැලීමේදීද තහවුරු කරන ලද්දේ එම කප්පාදුව ඇත්තක් බවය. එම පත්‍රිකාවේ මෙම කප්පාදුව දක්නට ලැබෙන්නේ සුරක්ෂා සිසු රක්ෂණය හිමි සිසු දරුවකුගේ දෙමාපිය මරණය සිදු වීමකදී ගෙවන ප්‍රතිලාභය සම්බන්ධයෙන්ය. මෙතෙක් ඒ යටතේ සිසු දරුවකුගේ දෙමාපියෙකු මියගිය විට එක් සිසුවකුට රුපියල් ලක්ෂ දෙකක මුදලක් රක්ෂණ ප්‍රතිලාභය වශයෙන් ලැබුණු අතර එහි උපරිමය සිසුන් තුන්දෙනෙක් දක්වා රුපියල් ලක්ෂ හයක් විය. එම පවුලේ සිසුන් සංඛ්‍යාව තුන් දෙනෙකුට වඩා වැඩිනම් එම උපරිම රුපියල් ලක්ෂ හයක මුදල එම සිසුන් අතර සමානව බෙදී යෑම සිදුවේ.

නමුත් ආණ්ඩුවේ නවතම සුරක්ෂා රක්ෂණයේ තීරණය හෙවත් කප්පාදුව අනුව සඳහන් කර ඇත්තේ දෙමාපිය මරණයකදී සිසුන්ට ගෙවන මෙම ප්‍රතිලාභය දරිද්‍රතා රේඛාවෙන් පහළ සිටින දෙමාපියන්ගේ දරුවන්ට පමණක් ගෙවන බවය. එය ඊට අදාළ පත්‍රිකාවේ අංක අට යටතේ සඳහන් කර ඇත්තේ මේ ආකාරයටය.

“ජීවිත රක්ෂණ ආවරණය (දරිද්‍රතා රේඛාවට පහළින් සිටින සිසුන්ගේ දෙමාපියන් සඳහා පමණි) යන්නෙනි.

සුරක්ෂා රක්ෂණය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇති තොරතුරු අනුව මෙම රක්ෂණය රජයේ පාසල්, රජයේ ආධාර ලබන හෝ ආධාර නොලබන පිරිවෙන්, පෞද්ගලික පාසල්, අර්ධ රාජ්‍ය පාසල් හා ජාත්‍යන්තර පාසල් සිසුන් ආවරණය කරන්නකි. යම් පවුලක ආදායම් උපයන දෙමාපියන් හෝ ආදායම් උපදවන්නේ නැති හෝ දෙමාපියන් මියගිය විට එම දරුවන්ට ආර්ථික වශයෙන් මෙන්ම රැකවරණය අතින්ද බලපෑමක් සිදුවන බව අමුතුවෙන් කිව යුතු නැත. ආණ්ඩුවක් සැම විටම රජයේ බදු ආදායමෙන් ලබාදෙන ප්‍රතිලාභ ඒවා ලැබිය යුතු පිරිස්වලටම ලබාදීම බැහැර කළ නොහැක්කකි. එහෙත් මෙහිදී පැන නගින ප්‍රශ්නය වන්නේ දරිද්‍රතා රේඛාවෙන් පහළ සිටින දෙමාපියන් කවුරුන්ද යන්න ලෙස හඳුනාගෙන මෙය ක්‍රියාත්මක කළ හැකිද යන්නය. ඊට හේතුව මෙම රක්ෂණයේ ප්‍රතිලාභීන් සමස්ත සිසු පරපුරම වන බැවිනි. එක් ප්‍රතිලාභයක් පමණක් සම්බන්ධයෙන් එසේ වර්ගීකරණයක් කරන්නේ කෙසේද යන ප්‍රශ්නය අපට පැන නැඟේ. එම ප්‍රායෝගික ගැටලුවට අමතරව පැන නගින ප්‍රශ්නය වන්නේ දරිද්‍රතා රේඛාවෙන් ඉහළ සිටින යම් පවුලක ආදායම් උපදවන දෙමාපියෙකු මිය යෑමෙන් පසු එම පවුල දරිද්‍රතා රේඛාවෙන් පහළට වැටෙන විට සිදුවන්නේ කුමක්ද යන්නය. සුරක්ෂා රක්ෂණය ආරම්භ කර එය මුලින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව යටතේ තිබී පසුව අලියාන්ස් රක්ෂණ සමාගමට ලබාදී තිබියදී නැගුණු ප්‍රධාන චෝදනාව වූයේ එම සමාගම ගිවිසගත් පරිදි රක්ෂණ ප්‍රතිලාභ සිසු දරුවන්ට නොගෙවූ බවය. ඉන්පසු එම ප්‍රතිලාභ ගෙවීම් සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවටම නිල වශයෙන් නොවුණත් බාර දෙන්නට සිදුවිය. එහි වර්තමාන තත්ත්වය වන්නේ තවදුරටත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සුරක්ෂා රක්ෂණය සිදු කරන බව පෙනෙන්නට තිබීමය. මෙම ප්‍රතිලාභ කප්පාදුව රක්ෂණ සමාගම සිදුකළ එකක් බව ඒ අනුව කිව හැකිය. ඇත්ත තත්ත්වය එය නොවේ. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සුරක්ෂා රක්ෂණය සම්බන්ධයෙන් මාස හයක පමණ කාලයක් තිස්සේ සිදුකරන්නේ ප්‍රතිලාභ සම්බන්ධයෙන් ලැබෙන ඉල්ලීම්වලට ගෙවීම් කිරීම පමණය. ගෙවීම් සිදුකර එම ගෙවීම්වලට අදාළ මුදල්, මුදල් අමාත්‍යාංශයෙන් ප්‍රතිපූර්ණය කර ගැනීමය. එම රක්ෂණය මීට පෙර සිදුවූ ආකාරයට රක්ෂණ ගනුදෙනුවක් වශයෙන් එම සමාගමට ලැබී නැත. සුරක්ෂා රක්ෂණය සම්බන්ධයෙන් ඒ අනුව වාරික ගෙවීමක් රජය කරන්නේ නැත. රජයේ රක්ෂණ සමාගම වශයෙන් ආණ්ඩුවේ ඉල්ලීම මත රක්ෂණ ප්‍රතිලාභ සඳහා ලැබෙන ඉල්ලීම් බාරගෙන ඒ සඳහා ගෙවීම් කර පසුව ප්‍රතිපූරණය කර ගැනීම පමණක් රක්ෂණ සංස්ථාව කරයි. ඒ අනුව සුරක්ෂා රක්ෂණයේ සිසු දරු දෙමාපිය මරණයකදී දරිද්‍රතා රේඛාවෙන් පහළ පවුල්වල දරුවන්ට පමණක් එම ප්‍රතිලාභය ගෙවන බවට වූ කප්පාදුව තීරණය කර ඇත්තේ ආණ්ඩුවය. දෑයේ දරුවන් වෙනුවෙන් “සුරක්ෂා” රක්ෂණාවරණය යෝජනා වූයේ, දෙදහස් දහහතේය. ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීම සඳහා එය සිසුගත කීරීමේ ජාතික උත්සවය ඔක්තෝබර් මස 02 වන සඳුදා අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. එම උත්සවය සඳහා ද විශාල මුදලක් වැය කොට තිබිණි. මහනුවර පාසලක ඇති වූ සිදුවීමක් මූලික කර ගනිමින්, කළ යෝජනාවක් ක්‍රියාත්මක වෙමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත්ව මේ රටේ සෑම පාසල් දරුවෙක්ම ආවරණය වන පරිදි සෞඛ්‍ය රක්ෂණාවරණයක් ආරම්භ කර තිබිණි. රක්ෂණය එළි දුටුවේ, “සදා සුරකිමු දැයේ දරුවන්…” යන තේමාවෙනි. එය “සුරක්ෂා සිසු රක්ෂණය” නමින් නම් කර ක්‍රියාත්මක විය. දැන් මේ තේමාව වලංගු නැත.

රක්ෂණය වෙනුවෙන් කිසිම ගෙවීමක් කරන්නට මේ දරුවන්ගේ දෙමව්පියන්ට සිදුවන්නේ නැත. සුරක්ෂා සිසු රක්ෂණය වෙනුවෙන් කරන සියලු ගෙවීම් රජයෙනි.

මේ සඳහා රජයේ අයවැය යෝජනා යටතේ 2017 වසර සඳහා රුපියල් බිලියන 2.7 ක් හෙවත් මිලියන 2700 ක් මූලිකව වෙන් කර තිබිණි. පවතින ආර්ථික අර්බුදය හමුවේ දැන් රක්ෂණය සීමා කර ඇත. ඊට පාදක වූ හේතුන් සොයා යෑමේදී, අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරියකු කියා සිටියේ, රටේ පවතින උග්‍ර ආර්ථික අර්බුදය හමුවේ මෙය පවත්වාගෙන යෑම අපහසු බවය. සිය අනන්‍යතාව හෙළි කිරීමට අකැමැති වූ මෙම බලධාරියා තව දුරටත් කියා සිටියේ, මෙම රක්ෂණාවරණයේ පූර්ණ ප්‍රතිලාභ ග්‍රාමීය මට්ටමෙන් අඩු ආදායම් ලාභී පිරිස් වෙත ක්‍රමවත්ව ලැබෙන්නේ නැති බවය. රක්ෂණාවරණයකින් මුදල් ලබා ගත හැකි බව දන්නා මුදල් ලබා ගත හැකි බව පිරිස් කෙලෙස හෝ මුදල් ලබා ගැනීමට කටයුතු කරන බවද හෙතෙම කියා සිටියේය.

සාධාරණ ලෙස රක්ෂණාවරයෙන් සමස්ත පාසල් දරුවන් ආවරණය වන්නේ නම් එහි විනිවිදභාවයක් තිබිය යුතුය. මුදල් ලබා ගන්නට පොර බදින ඒ ක්‍රමවේදයන් දන්නා දෙමව්පියන් එම මුදල වංකත්වයෙන් හෝ අවංකත්වයෙන් ලබා ගන්නේ නම් එය නතර කර දැමීමට රජය කටයුතු කළ යුතුය. එසේ නොමැතිව සමස්තයේම මුදල් සහ ප්‍රතිලාභ ලබා දීම නතර කර දැමීම සුදුසු නොවේ.

සමන්තී විරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment