සුරතලා දඩයමට පැමිණි කඳුකර කොටියා  බේරාගන්න පැය පහක මෙහෙයුමක්

573

කොටගල, පතන, මවුන්ට්වර්නන් වත්ත වටකන් කොටසේ නිවසක් තුළ කොටුව සිටි කඳුකර කොටියෙකු පැය පහක දුෂ්කර මෙහෙයුමකින් පසු ආරක්ෂිතව අල්ලා ගැනීමට රන්දෙනිගල පශු වෛද්‍ය ඒකකයේ හා නුවරඑළිය, හග්ගල අඩවි වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් ඊයේ (05 දා) පියවර ගනු ලැබීය.

කඳුකර කොටියා නිවසේ ඇති කරනු ලබන සුනඛයකු දඩයම් කර ගැනීමේ අරමුණින් රාත්‍රියේදී පැමිණ මෙම අනතුරට ලක්වන්නට ඇති බව වනජීවී නිලධාරීහු සැක කරයි. රන්දෙනිගල පශු වෛද්‍ය ඒකකයේ පශු වෛද්‍ය අකලංක පිනිදිය මහතා ඇතුළු වනජීවී නිලධාරීන් විසින් කාමරය තුළ කොටුව සිටි කොටියා දැඩි වෙහෙසක් හා විශාල පරිශ්‍රමයක් දරමින් දැල් කූඩුවක් යොදා ඊට යොමුකොට ඒ තුළට සතා මෙසේ මුදා ගැනීමට පියවර ගෙන ඇත. මෙම කොටියා අවුරුද්දක් පමණ වයසැකි අඩි හතරක් දිග හොඳින් වැඩුණු පිරිමි සතෙකු බව වනජීවී නිලධාරීහු කියයි. මුදාගත් කොටියා රන්දෙනිගල පශු වෛද්‍ය ඒකකය වෙත රැගෙන ගොස් සෞඛ්‍ය තත්ත්වය පිරික්සා සුදුසු පරිසර කලාපයකට මුදාහැරීමට පියවර ගන්නා බව එම පශු වෛද්‍ය ඒකකයේ පශු වෛද්‍ය අකලංක පිනිදිය මහතා පැවසීය.

මස්කෙළිය – ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

advertistmentadvertistment
advertistmentadvertistment