සුරලොව අභිමානය ශිව දෙවිදුන්

2253

ශිව දෙවි වන්දනාව අපේ රටේත් ඉන්දියාවෙත් ජනප‍්‍රිය ඇදහීමකි. හින්දු ආගමේ මූලිකයකු වන ශිව දෙවියන්ගේ ලිංගයට වැඳුම් පිදුම් කිරීම අපේ රටේ පොලොන්නරු යුගයටත් එපිට කාලයේ සිටම සිදු වී තිබෙන බවට සාධක තිබේ. අපේ කතරගම දෙවියන්ගේ පියාණන් වන්නේ ද ශිව දෙවියන් ය. ශිව දෙවියන් ගැන කරුණු කාරණා ටිකක් අපි දැන ගමු.

* ශිව දෙවියන්ගේ තැන

ශිව දෙවි යනු හින්දු ආගමේ මූලික දෙවි කෙනෙක් වන අතර බ‍්‍රහ්ම, විෂ්ණු සහ ශිව හින්දු දහමේ ත‍්‍රිමූර්තිය ලෙස දැක්වේ. විනාශ කිරීම භාරව ඇතැයි සැලකෙන ශිව, ලොව සුරැකීම සහ පරිවර්තනය ද කරන්නේය. එතුමා කෛලාශ කන්දේ වැඩවාසය කරන බවට විශ්වාස කරන අතර ශිව ලිංගය ආකාර වූ හිමාලයේ කෛලාශ කන්ද හින්දු භක්තිකයන්ගේ නිරන්තර වන්දනාවට පාත‍්‍ර වේ. නිතර භාවනානුයෝගීව වසන ශිව දෙවිගේ ස්ථිර බිරිය පාර්වති යයි. ශිව දෙවියන් විනාශකාරී වුවද නිතර අසුරයන් සහ අධර්මිෂ්ඨයන් ශිව දෙවි බලයෙන් විනාශ වන බව හින්දු භක්තිකයන්ගේ විශ්වාසයයි.

* කතරගම දෙවිඳුගේ පියා

ශිව සහ පාර්වතීට දාව කතරගම දෙවියන් උප්පත්තිය ලැබූ බව දේව පුරාණයේ සඳහන් වෙයි. අසුරයන්ගෙන් සුරයන්ට සිදු වූ කරදර වැඩි වූ තැන සුරයෝ ගොස් ශිව දෙවියන්ට පැමිණිලි කළහ. ඉන් පසු ශිව දෙවියන් ඔහුගේ බලගතු තෙවැනි ඇස ලෝකය වෙත පහළ කොට ගංගා නම් ගඟ සමීපයේ සෘෂිවරුන්ට දාව දරුවන් 6 දෙනකු මවන ලදී. මෙම දරුවන් 6 දෙනා බැලීමට ශිව පාර්වතී පැමිණියේය. එවිට දරුවන් සය දෙනාම ඇකයේ ලාගෙන නැළවූ පාර්වතියට දරුවන් සියලූ දෙනාම එකට ගත් කල ශිව දෙවිගේ බල ඇති බව දැනුණි. එයින් පසු ඒ මුහුණු සයම එක් වී කතරගම දෙවි බිහිවූ බවට දේව පුරාණයේ සඳහන් වේ.

* ශිව දෙවි සිහි කරන ශිව රාත‍්‍රිය

 ලොව සෑම ජීවියකුම අනෙකුත් සෑම සියලූ කර්තව්‍යයක්ම පසෙක ලා ශිව දෙවි නැමදීම සඳහා වෙන් කරගන්නා කාලය ශිව රාත‍්‍රිය ලෙස හඳුන්වනු ලැබේ. ශිව රාත‍්‍රී පුණ්‍ය කාලයේදී ශිව දෙවියන්ට ගායනා ආදියෙන් ශිව පූජා සිදු කෙරේ. ඒ පූජා මාලාවේ තුන්වන යාමයේ පූජා වලින් අවසානයේ බැතිමතුන්ට සිය පව් සමා කරගැනීමේ මහඟු අවස්ථාවක් ලැබේ. ශිව දෙවියන්ගේ දේවියක වන උමාව ලෝක විනාශයේදී සියල්ල විනාශ වනු දැක උපවාසයෙන් සිට විශේෂ පූජා සිදු කළාය. එයින් මතු ඇය ලෝකයේ නැවත ජීවය ඇති වන්නැයි ශිව දෙවියන්ට පූජා පවත්වමින් යැද්දාය. ඒ චාරිත‍්‍රය අනුව මහා ශිව රාත‍්‍රී දිනය පැමිණ තිබෙන බව හින්දු දේව ධර්ම ග‍්‍රන්ථවල සඳහන් වේ.

* ශිව ලිංගය

සාමාන්‍ය පුරුෂ ලිංගික හැඩයට තිබෙන, ශිව ලිංගය යනු වන්දනාමන කරන ලිංගයකට එහා ගිය පූජනීය වස්තුවකි. සංස්කෘත බසින් ලිංගය යනු සංකේතය වේ. සංකේතීය වශයෙන් ශිව දෙවියන් නිරූපණය කිරීමට ලිංගය යොදා ගනී. බුදුන් වහන්සේ උදෙසා පිළිම නිර්මාණය කොට වැඳුම් පිදුම් කිරීමට කලකට පෙර බුදුන් යැයි සිතා ආසනවලට වැඳුම් පිදුම් කළ බවට ඉතිහාසයේ සඳහන් වේ. ඒ අනුව වඩාත් සරලව ශිව දෙවියන් නිරූපණයට සහ වන්දනාමාන කටයුතු සඳහා අතීතයේ බැතිමතුන් ශිව ලිංගය භාවිත කරන්නට ඇත.

* ශිව දෙවි කාර්යභාරය

හින්දු මතය අනුව ලොව පාලනය කරන දෙවියන් තුන්දෙනෙකි. ඒ බ‍්‍රහ්ම, විෂ්ණු සහ ශිවයි. එයින් මහා බ‍්‍රහ්මයා මැවීම් කටයුතු සිදු කරයි. මහා බ‍්‍රහ්මයාට අතීතය, අනාගතය සහ වර්තමානය දැකීමට මුහුණු තුනක් ඇති අතර මහ බඹා මැවූ ලොව අපල උපද්‍රවවලින් ආරක්ෂා කිරීම විෂ්ණු මගින් සිදු වේ. ශිව දෙවියන්ට විශ්වය පාලනය භාර වේ. ඒ අනුව යම් යම් දේ විනාශ කිරීම ශිව දෙවියන්ට භාර වේ. ඊෂ්වර ලෙස ද මේ ශිව දෙවියන් හඳුන්වනු ලබයි. ලංකාවේ ශිව දෙවි ඇදහීම සෘජුවම නැතත් අතීතයේ පටන්ම ශිව ඇදහීම තිබුණ බවට පොලොන්නරු යුගයෙන් සාධක ලැබේ. පොලොන්නරු නටබුන් අතර හොඳින් ආරක්ෂා වූ ශිව දේවාල දෙකක් තවමත් දකින්නට තිබේ.

*  ශිව දෙවියන් ගේ ස්වරූපය

ශිව දෙවියන් ශක්තිමත් සහ විශාල පුරුෂයෙක් ලෙස ප‍්‍රතිමාවල විරාජමාන වේ. ශිව දෙවිගේ බෙල්ල වටා විශාල නාගයෙකි. ඔහු දිවි සමක් මත හෝ දිවි සමක් පොරවාගෙන සිටී. ශිව දෙවිට අපිට තිබෙන ඇස් දෙකට අමතරව නළලේ තවත් තෙවන ඇසකි. ඒ ඇසින් යම් දෙයක් දෙස බැලූවොත් එය දැවී හළු වී යන්නේ යැයි විශ්වාස කෙරේ. නිතර තවුස් දම් පුරන ශිව දෙවියන් ගැන සිත් ඇති පාර්වතිය මල් සරා හරහා සිය කටයුත්ත කරගන්නට උත්සාහ ගත්තේය. එවිට ශිව දෙවි සිය තෙවන ඇසින් මල් සරා දෙස බැලූ කල මල් සරා දැවී හළු වී ගියේය.

උපුටා ගැනීම අන්තර්ජාලයෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment