සුරාබදු අක්‍රමවත් වැඩ නිසා දිනකට මිලියන 400ක් අහිමි වෙනවා

160

සුරාබදු දෙපාර්තමේන්තුවේ අක්‍රමවත් සැලසුම් මත දේශපාලනික හා ඇතැම් ව්‍යාපාරික ප්‍රජාවගේ බදු මුදල් අවභාවිතයෙන් දෛනිකව රුපියල් මිලියන 400 ක මුදලක් රජයට අහිමි වන බව මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමයේ සභාපති අජිත් උඩුගම මහතා පවසයි.

නීත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ මත්පැන් සඳහා වන බදු මුදල් හුවමාරු වීම හේතුවෙන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවටත් රේගුවටත් දෛනිකව විශාල මුදලක් අහිමි වන බව ද හෙතෙම පැවසීය. ශ්‍රී ලංකාවේ මත්පැන් නිෂ්පාදනාගාරවලින් සහ මත්පැන් අලෙවිසල්වලින් දිනකට රුපියල් මිලියන 400ක් රටට අහිමි වීම බරපතළ තත්ත්වයක් බව මත්පැන් බලපත්‍රලාභීන්ගේ සංගමය ප්‍රකාශ කරයි. මෙරට මත්පැන් බද්ද නිසි පරිදි රජයට අයකර ගන්නේ නම් එය පවතින ආර්ථික අර්බුදයට කදිම විසඳුමක් බව ද ඔවුහු පැවසූහ. එම සංගමයේ සාමාජිකයෝ ඊයේ පෙරවරුවේ මහනුවරදී මේ සම්බන්ධයෙන් මාධ්‍යයට කරුණු දැක්වූහ. මෙම අවස්ථාව සඳහා සංගමයේ සභාපති අජිත් උඩුගම, ලේකම් චමින්ද කුරුප්පුආරච්චි, භාණ්ඩාගාරික රවීන් සොයිසා, ජාතික සංවිධායක ජේ. ප්‍රසන්න විතානගේ සහ සම මාධ්‍ය ප්‍රකාශක ඩලස් ප්‍රනාන්දු යන මහත්වරු ද සහභාගි වූහ.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment