සුරාබදු ආදායම් ඉලක්කයට  ළඟාවීමට බැරිවෙලා – සුරාබදු කොමසාරිස් ජනරාල්

200

මත්පැන් අලෙවිය පහළ බැහැලා

2022 වසරේදී සුරාබදු ආදායම රුපියල් බිලියන  185 ක් ඉලක්ක කළ ද මත්පැන් අලෙවිය පහත බැස ඇති නිසා එම ඉලක්කයට යා නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි පසුගිය 30 වැනිදා මත්පැන් නිෂ්පාදකයන් සමඟ පැවති සාකච්ඡාවකදී සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජී. ගුණසිරි මහතා ප්‍රකාශ කර තිබේ.

එබැවින් දෙපාර්තමේන්තුවේ අපේක්‍ෂිත ආදායම ලබා ගැනීමට සහාය ලබාදෙන ලෙස ද කොමසාරිස් ජනරාල්වරයා මත්පැන් නිෂ්පාදකයන්ගෙන් ඉල්ලා ඇත. එහිදී මත්පැන් නිෂ්පාදකයන් පෙන්වා දී ඇත්තේ මෙම වසරේ අපේක්‍ෂිත වෙළෙඳ ඉලක්ක සහ සුරාබදු ආදායම් ඉලක්ක කරා ළඟා වීමට අපහසු වී ඇත්තේ මත්පැන් අලෙවිය ශීඝ්‍ර ලෙස පහත වැටී ඇති නිසා බවයි.

මෙම වසර තුළ දෙවතාවක් වැට් බදු ඉහළ යෑම, සමාජ ආරක්‍ෂණ බදු පැනවීම, අධික ලෙස එතනෝල් සහ ඉන්ධන මිල ඉහළ යෑම වැනි කරුණු නිසා මත්පැන් මිල ඉහළ නැංවීමට සිදුවීමෙන් ඉල්ලුම අඩු වී ඇති බවත් එබැවින් මත්පැන් අලෙවිය පහත බැස ඇති බවටත් ඔවුන් කරුණු දක්වා ඇත.

නීත්‍යනුකූල මත්පැන් මිල ඉහළ යෑම හේතුවෙන් නීති විරෝධී මත්පැන් ඉල්ලුම ඉහළ යා හැකි බවටත්, මෙහිදී මත්පැන් නිෂ්පාදකයන් අනතුරු අඟවා තිබේ. එහිදී සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දී ඇත්තේ මත්පැන් බෝතල් මත ආරක්‍ෂිත ස්ටිකර් ඇලවීම නිසා මත්පැන් නිෂ්පාදකයන්ට උපරිම ආදායමක් ලබාගත හැකි බවයි.

මෑතකදී සුරාබදු දෙපාර්තමේන්තුවේ නිරීක්‍ෂණ චාරිකාවක් සිදුකළ මුදල් රාජ්‍ය ඇමැතිව සිටි රංජිත් සියඹලාපිටිය මහතා සුරාබදු ආදායම රුපියල් බිලියන 180 සිට 185 දක්වා ඉහළ දැමීමට කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය ලංකාවේ මත්පැන් පරිභෝජනය සම්බන්ධයෙන් එළිදක්වා තිබෙන ගෝලීය දත්ත වාර්තාවට අනුව මෙරට මත්පැන් පරිභෝජනය සියයට 37 ක් නීති විරෝධී මත්පැන් බව පෙන්වා දී තිබේ. ඒ අනුව නීත්‍යනුකූල මත්පැන් නියාමනය කිරීමට ප්‍රමුඛතාවක් ලබාදිය යුතු බව ද නිෂ්පාදකයන් පෙන්වා දී ඇත.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment