සුරාබදු වර්ජනය අත්හරී

95

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තු වෘත්තීය සමිති එකමුතුව අද (06) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ එක්දින සංකේත වැඩවර්ජනය සිදු නොකරන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තු වෘත්තීය සමිති එකමුතුවේ ලේකම් හා ශ්‍රී ලංකා සුරාබදු නිලධාරීන්ගේ සංගමයේ ලේකම් නිරෝෂ් ජයකොඩි මහතා පැවසීය.

ඒ මහතා මේ බව කීවේ අනුරාධපුරයේ දී ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තු වෘත්තීය සමිති එකමුතුව විසින් ඊයේ (05 දා) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය.

සියලු සුරාබදු නිලධාරීන්ට දුන් දිරි දීමනාව පසුගිය අප්‍රේල් මාසයෙන් පසුව නවතා තිබීමට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය ගැනීමට නියමිතව තිබිණි.

පසුව පසුගිය 04 වැනිදා සුරාබදු කොමසාරිස් ජනරාල්, මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය, වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරුන් සමග වෙන වෙනම පැවැති සාකච්ඡාවලදී සාධනීය පිළිතුරු ලැබුණු බැවින් වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බව හෙතෙම කීවේය.

සිංහල අලුත් අවුරුද්දෙන් පසුව එළැඹෙන සතියේ දී මේ සඳහා නියමිත ක්‍රමවේදයක් සකස් කර සුරා බදු නිලධාරීන්ට දිරි දීමනා ගෙවීමට ක්‍රමවේදයක් මසක දී අවසන් කරන බවට එහිදී පොරොන්දුවක් ලැබුණු බවත් ඒ ක්‍රමවේදය අවසන් කිරීමෙන් පසුව ගෙවීම් කරන දිනය තීරණය කරන බව පැවසූ බවත් ඊට සිය සංගමය එකඟ වුණ බවත් ඔහු කීවේය.

සුරාබදු සියලු වෘත්තීය සමිති එක් දිනයක් වැඩ වර්ජනය කළේ නම් එදිනට පමණක් කෝටි 100ක බදු ආදායමක් අහිමි වන බව ද ඔහු පැවසීය.
තිසර සමල් – එප්පාවල

advertistmentadvertistment
advertistmentadvertistment