සුරාවනචාරියාගෙන් පසු නූතන කතාව මෙසේය

939

සුරාවැද්දා පිළිබඳ වසර දහස් ගණනක් පැරණි කතන්දරයකින් අද මේ තීරුව ආරම්භ කරමු. මේ කතාව ලංකාව සහ ඉන්දියාව යන රටවල් දෙකේම ප්‍රසිද්ධ කතාවක් වන අතර ඉන්දියාව තුළ වැදි ජනයා නොමැති බැවිනුත් වැදි ලෙස සැලකෙන ආදිවාසී ජන කොට්ඨාසය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වන බැවිනුත් මෙම කතන්දරයේ ප්‍රධාන චරිතය වන සුරාවැද්දා වෙනුවට සුරාවනචාරියා යන නාමය ආදේශ කරනු ලැබේ. දිනක් වනචාරියෙක් දඩයම් පිණිස වනාන්තරයේ ඇවිදෙමින් සිටියේය. මේ අතර ඔහුට මහත් පිපාසයක් ඇතිවිය. වනාන්තරයේ ගස් බෙනවල වතුර පිරී තිබෙන බව අද්දැකීමෙන් දත් මේ වනචාරියා එවැනි ගස් බෙනයකින් වතුර ටිකක් පානය කළේය. මේ පැන් පානයෙන් පසු ටික වේලාවක් ගත වූ කල්හි තමා උඩින් උඩින් ගමන් කරන්නේ යැයි හැඟීමක් වනචාරියාට ඇතිවිය. ඒ මත් ගතියකි. මේ අමුතු චූන් එක හටගත්තේ ගස් බෙනයෙන් වතුර පානය කිරීමෙන් පසුව බව තේරුම්ගත් පෙරකී වනචාරියා වැනි වැනීම ගස් බෙනය වෙත ගොස් එය පරීක්‍ෂා කළේය. එහිදී ඔහුට දැකගන්නට ලැබුණේ ගස් බෙනය තුළ ධාන්‍ය ස්වල්පයක් ඇති බවත් වැහිවතුර ගස් බෙනය තුළට එකතු වීමෙන් පසු එම ධාන්‍යවලට කිසියම් විපර්යාසයක් සිදුවී එම වැහි වතුර මත් වතුර බවට පත්වී ඇති බවය. මෙම ධාන්‍ය ගස් බෙනයට ආවේ කොහෙන්ද? ඒවා කුරුල්ලන් විසින් පසුව අනුභව කිරීම පිණිස ගස් බෙනය තුළ සඟවා තබන ලද ඒවාය. ගස් බෙනයට වැහි වතුර පිරුණු පසු ධාන්‍යවල ඇති කාබෝහයිඩ්‍රේට් පල්වී ජලය ඇල්කොහොල් බවට පරිවර්තනය වී තිබිණ. මේ කතාව ප්‍රබන්ධයක් විය හැකිය. ලංකාවේ හෝ ඉන්දියාවේ ගස් බෙනයකින් ලොව මුල්ම සුරාපානය ඇතිවී යැයි විශ්වාස කළ නොහැක. සුරාව යනු ලෝකයේ ප්‍රදේශ ගණනාවකදී සමාන්තර කාලයක අහඹු ලෙස හටගත් බවට විශ්වාසයක් තිබේ. මනුෂ්‍යයා සිය දියුණුවට යන්නේ ගින්දර සහ රෝදය යන දෙක සොයා ගැනීමත් සමගය. මේ දෙවර්ගයද සමාන්තර කාලවලදී ලෝකයේ මහාද්වීපවල සිටි මිනිසුන් විසින් නිර්මාණය කරනු ලදැයි පිළිගනු ලැබේ. සුරා වනචාරියාගේ කතාව ඇත්ත නම් මත්පැන් යන සංකල්පය ලෝකයට යා යුත්තේ ලංකාව හෝ ඉන්දියාව යන රටවල් දෙකින් එකකිනි. එහෙත් ආසියාව පමණක් නොව යුරෝපයේත් අප්‍රිකා මහාද්වීපයේත් ජනතාව මීට අවුරුදු දහස් ගණනකට පෙර සිට සුරා පානයන් පිළිබඳ විවිධ සාක්‍ෂි ඉතිරි කර ඇත. සුරාවනචාරියා පිළිබඳ පාඩම මෙතැනින් නවත්වනු ලැබේ. මේ රට විසින් මේ මොහොතේදී ඉගෙනගනු ලබමින් සිටින අලුත්ම මත්ද්‍රව්‍ය පාඩම ගැන මෙතැන් සිට ලියනු ලැබේ.

අද වනවිට අරක්කු හෝ කසිප්පු යනු සරල මත්පැන් වර්ග වෙති. ඊට වඩා දරුණු භාණ්ඩයක් වූ කුඩු විසින් සමාජය ගිල දමනු ලැබ ඇත. කන්තලේ අග්‍රබෝධි ජාතික පාසල ඉදිරිපිටදී ඊයේ පැවැති උද්ඝෝෂණයක් ගැන අද ‘දිවයින’ හි පළව ඇත. මේ උද්ඝෝෂණය ප්‍රදේශවාසී මවුවරුන් සහ පියවරුන් විසින් සංවිධානය කර තිබිණ. ඔවුන් උද්ඝෝෂණය කළේ පළාත් පාලන මැතිවරණ නිසි කාලයේදී පවත්වන ලෙසටද? නොඑසේනම් ලයිට් බිල අඩුකරන ලෙසටද? නැත. ඔවුන්ගේ එකම ඉල්ලීම වුණේ තම පළාතේ තිබෙන කුඩු වසංගතය අවසන් කර දෙන ලෙසය. මේ අතර ගම්පහ බුත්පිටිය මහ විදුහලේ කැන්ටිමෙන් මත්කරල් 37 ක්ද අයිස් නමැති මත්ද්‍රව්‍ය යම් ප්‍රමාණයක්ද හසුවිය. මේ සෙල්ලමක් නොවේ. පාසල් කැන්ටිමකින් මත්ද්‍රව්‍ය හමුවීම කිසිසේත්ම නොසලකා හැරිය යුතු නැත. පාසල් කැන්ටිමේ මත්ද්‍රව්‍ය තිබුණා නම් ඒවා මිලදී ගන්නෝ පාසල් ළමෝ වෙති. බුත්පිටිය ඉස්කෝලේ කැන්ටිමේ වැඩකළ අවුරුදු 42 ක කාන්තාවක්ද මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මත්ද්‍රව්‍ය තොගයේ අයිතිකාරිය ලෙස ඇය හඳුනාගෙන ඇත. එසේම පසුගියදා පානදුර රාජකීය විදුහලේ බාලවයස්කාර සිසුන් කීපදෙනකු පාසල් වේලාවේදී ළඟ පිහිටි බීච් එකට ගොස් බියර් පානය කර ඇත. එසේම පසුගියදා ගැසූ ක්‍රිකට් මැච් එකකට ආරක්‍ෂාව සැපයූ පොලිස් නිලධාරීන් අතද මත්ද්‍රව්‍ය තිබිණි. මීට අමතරව මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි තවත් පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගැනීමට දුම්මලසූරියේ පොලිසියට හැකිවිය. ඉහත සඳහන් සිදුවීම් සියල්ල පැය 41 ක් තුළ වාර්තා වූ ඒවා බව අපි අවධාරණය කරමු. මේ විදිහට මාසයක් ගියොත් ශ්‍රී ලංකාව පුරා විවිධ තැන්වලින් විවිධ මත් සිදුවීම් එළියට ඒමට ඉඩ තිබේ. අද පාසල් ළමයාගේ සිට මහ පාරේ හිඟාකන මහලු හිඟන්නා දක්වා වූ ලොකු පිරිසක් කුඩු ගැසීමෙහි නිරතව සිටිති. හැම ගමකම නිතරම හිරේ යන කුඩු කාරයෝ සිටිති. මේ අය හිරේ ගොස් ඇති බව ගැමියන් දැනගන්නේ ඔවුන් හදිසියේම අතුරුදන් වූ විටය. මත්ද්‍රව්‍ය පාවිච්චි කළ විට පාඩම් කරද්දී නින්ද නොයන බව කුඩු වෙළෙන්දන් විසින් ප්‍රචාරය කරනු ලද ඇත. මෙවිට පාසල් දරුවෝ අයිස් සහ මත්කරල් මිලට ගනිති. කිසියම් දරුවකු කුඩුවලට ඇබ්බැහි වුවහොත් කිසිදාකත් හොඳ කළ නොහැකි ජරා පුරුද්දක් බවට එම පුරුද්ද පත්වේ.

ශ්‍රී ලංකාවේ කුඩු ඉතිහාසය 1973 දී ආරම්භ විය. එකල මෙරටින් පිටරට වැඩට ගිය සීමන්ලාද වෙනත් වෘත්තිකයෝද මත්ද්‍රව්‍යවලට පුරුදුවී ඒවා ශ්‍රී ලංකාවට ගෙනෙන්නට පටන් ගත්හ. ඒවා මොනවාදැයි නොදත් බැවින් කස්ටම් එකේදී අත්අඩංගුවට පත්වුණේද නැත. 1977 න් පසු කුඩු යනු මේ රටේ ඉතා වේගයෙන් අලෙවි වන වෙළෙඳ භාණ්ඩයක් බවට පත්වූවකි. මීට දහ අවුරුද්දකට පෙර මදන මෝදකයට හිමිවූ තැන අද නැතිවී ඇති අතර එම තැන සිටින්නේ කුඩුය. මෙය නතර කිරීම සඳහා ආණ්ඩුව උපරිම බලයෙන් කටයුතු කළ යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment