සුලවත් සබඳිනි  

404

මගේ මතකය අවදිවන්නේ 1989 ජූලි මාසයටයි. ගුවන් විදුලිය හා රූපවාහිනී ප්‍රචාර මගින් ආණ්ඩුව පනවන හදිසි නීතිය හා ඇඳිරි නීතියට අමතරව ජවිපෙ දේශප්‍රේමීන් ද ඇඳිරි නීතිය පනවනු ලබන්නේ තුණ්ඩු කෑලි මගින් හා කට වහරින්ය.

තැනෙක තරුණයකුගේ දැවෙන සිරුරකි. තව තැනෙක තම නිවස ඉදිරිපිට දීම ඝාතනයට ලක්වූ වැඩිමහල්ලෙකි. අප නිවසට යාබඳව ඇත්තේ බේකරියකි. එහි හිමිකරුගේ නිවස ඒ පිටුපසින් වෙයි. දිනක් උදයෙන්ම අප නිවසට පැමිණි බේකරිය හිමි හිතවතා පෙරදා රාත්‍රියේදී දේශප්‍රේමීන් පැමිණ තම බේකරියේ වැඩකරන සේවකයන්ගේත් නිවැසියන්ගේත් ජාතික හැඳුනුම්පත් සියල්ලත් තම පියා සතු ලයිසන් තුවක්කුවත් රැගෙනක ගිය බව කියා සිටියේ මහත් වූ සිත් තැවුලෙනි. රජයෙන් පැනවූ ඇඳිරි නීතිය අනුව තම ගේ ඇතුළේ විදුලි පහන් දැල්විය හැකි වුවද ඊනියා දේශප්‍රේමීන්ගේ නියෝග අනුව ලාම්පු කුප්පියක් තබා බුදුන් වෙනුවෙන් දල්වන මැටිපහන දැල්වීම ද කළ නොහැකි විය.

මේ අතර ම ඇතැම් පුද්ගලයන්ට ලිපි හා දුරකථන පණිවිඩු මගින් කරන ලද මරණ තර්ජන එල්ල වූ අතර එසේ ගණන් නොගන්නා පුද්ගලයන් අතිශය ක්‍රෑර අන්දමින් ඝතනයට ලක්වූ ආකාරය ද සුලබව දකින්නට ලැබුණු සිද්ධියක් විය. ඇතැම් රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන ප්‍රධානීන්ට ද දිනය වේලාව ස්ථානය සහිතව මරණ වරෙන්තුව නිකුත් කළ ආකාරය අපට අත්දකින්නට සිදුවිය.

මුද්‍රිත හා විද්යුත් මාධ්‍යවේදීන් බහුතරයකට ද “දේශප්‍රේමී” තර්ජනාංගුළිය එල්ල වූයේ එවකට පැවැති රජයට පක්‍ෂව රාජකාරි කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි. මේ නිසා ම අද අප සිහිපත් කරන ප්‍රේමකීර්ති සහෘදයාට ද එම තර්ජනය පොදු එකක් විය.

එදා ජූලි 30 වැනිදා රාත්‍රියයි. මැදියම් රෑ පසුවී තිබිණි. අප නිවසේ දුරකථනය නාද වන්නට විය. මගේ බිරිඳ චිත්‍රා දුරකථනය වෙත යන අඩි ශබ්දය මට ඇසිණි. සැනෙකින් මා වෙත පැමිණි ඇය හෝමාගම පොලිස් ස්ථානාධිපති මා අමතන බව කියා සිටියා ය. විගස රිසීවරය වෙත පියනැඟූ මා හලෝ මම වික්ටර් මොකද මේ මහ රෑ කියා ඇසුවෙමි.

රත්නායක මහත්තයා කලබලවෙන්න එපා. ඔබට මේ ආරංචිය දෙන්නේ ඉතාම කනගාටුවෙන්. ඔබේ හිතවත් ප්‍රේමකීර්තිට වෙඩි තියල මරා දමලා (තත්ත්පර කිහිපයක නිහැඬියාවකින් පසු)

එතුමාගේ බිරිඳත් පුතාත් අප සමග ඉන්නවා. ඔබට දැන් හෝමාගම පොලිසියට එන්න පුළුවන්ද?

මම හෝමාගම එච්. කියු. අයි. සුනිල් කණ්ඩම්බි මේ වදන් මා සවන් වැකුණේ යාන්තමිනි.

මේ ඇඳිරි නීතිය වෙලාවේ මං එන්නේ කොහොම දැයි මගේ මුවින් නිතැතින්ම ගිලිහෙද්දී සොරි මට ඒ බව අමතක වුණා. මේ ආරංචිය ඉස්සෙල්ලම ඔබතුමාට දෙන්න කීවේ ප්‍රේමකීර්ති මහත්මියයි. දරුවා සමග මේ දැන් ඔහේ එන්න ඕනෑ බව කියනවා.

මගේ ඉල්ලීම අනුව කණ්ඩම්බි මහතා ප්‍රේම්ගේ බිරිඳ නිර්මලා සහ සිඟිති පුතු සම්පත් ජීප් රියක නංවා අප නිවසට එවනවිට 31 වැනිදාට එළිවන පාන්දර 3.00 පමණ ඇත. ප්‍රේම්ව රැගෙන යෑමට රාත්‍රියේ පිරිසක් ආ හැටිත් ඔවුන් සියලු දෙනා කළු මුඛවාඩම් බැඳ ගිනි අවි දරා සිටි බවත්, ඇය හා දරු පැටියා විලාප දෙමින් හඬද්දීත් ඒ රුදුරු පිරිස් ගිනි අවි දිගුකොට බියවද්දා ප්‍රේම්ව රැගෙන ගිය හැටිත් කඳුළු සලමින් විස්තර කරද්දී එතෙක් අවදියෙන් සිටි මගේ පුතුන් දෙදෙනා හා දියණියන් දෙදෙනා දෑස් කඳුළු පිය දමමින් හෙමිහිට ඉකි ගසනවා මම දුටුයෙමි. එම ඝාතකයන්ගේ විධානයත් එවකට රජැයූ කැලෑ නීතිය නිසාත් අසල කිසිවෙක් උදව්වට නොපැමිණි අතර මඳ වේලාවකින් ඇසුණු වෙඩි හඬ නිසා කිසියම් අනපේක්‍ෂිත කම්පනයකින් තැතිගත් නිර්මලා පස් මස් වියැති සිඟිති පුතු ද තුරුලු කරගෙන නිවසින් බැහැරවී අන්ධකාරයේම ප්‍රේම් සොයමින් පැමිණ හෝඩුවාවක් නොලත් තැන හෝමාගම පොලිස් ස්ථානයට සේන්දු වූවාය.

ඉතින් සබඳිනි එවකට සතළිස් සත්විය සපුරා සිටි මා දිවි මගෙහි ගතින් හා සිතින් විඳ දැරිය නොහැකි වූ ශෝකය හා වියෝ දුක මේ සංසිද්ධියයි. 1989 ජූලි මස 31 දා වූ මේ සිදුවීම මා කෙතරම් සලිත කළා ද යත් එම සාහසිකයනට සාප කළේ සියලු දෙවි දේවතාවුන් යදිමින්ය.

එනමුත් එවක් සිට තවත් විසි වසරකින් වියපත්ව මුහුකුරා ගොස් ඇති මා බෞද්ධ චින්තනය අනුව බොදුනුවකු වශයෙන් සිතන්නේ අකුසලයට අකුසල කර්මානුරූපව පව් ඵලදෙන න්‍යායත් කුසල කර්මානුරූපව පිං ඵලදෙන හේතු ඵලවාදයත් පමණි. නිවන් අවබෝධ ලැබ භව මතක සහ ජාති ස්මරණ ඥානය පහළ කැරගන්නා තුරු අප අපව හඳුනානොගන්නවා ඇති. මගේ ළබැඳි මිතුරා පැවසූ පරිද්දෙන්ම

ඊළඟ භවයේ හමුවන්නේ අපි
කොහොමද කොතැනද කවුරු ලෙසේ
හඳුනා ගන්නේ කෙලෙස ද අපි
අප සතුරන් මිතුරන් නැදෑයෝ

සංගීතවේදී වික්ටර් රත්නායක

ගීතනාත් කුඩලිගම මහතා විසින් සංස්කරණය කළ
‘ප්‍රේමකීර්ති 20 වසරක මතක සුවඳ’ පොතෙන් උපුටා ගන්නා ලද ලිපියකි.

advertistmentadvertistment
advertistmentadvertistment