සුවබර නින්දක රහස

1916

වටිනා ඇඳක් මිල දී ගතහැකිය. එහෙත් සුවබර නින්දක් මිලටගත නො හැකිය. මේ අනුව නින්ද යනු මිල කළ නොහැකි සැපතක් බව කිව යුතුය. මේ අමිල වටිනාකමකින් යුතු සුවබර නින්දක් ලබාගැනීමේ රහස් මේ ලිපියෙන් සාකච්ඡා කරමු.

 සුවබර නින්දක් ලබාගැනීම උදෙසා සැලකිය යුතු අංශ කිහිපයක් තිබේ. මානසික තත්ත්වය, ශාරීරික සෞඛ්‍යය, නිදන යහන, නිදන කාමරය පිහිටි දිශාව, හිස දැමිය යුතු දිශාව, ඉන් කිහිපයකි. කය වෙහෙසා වැඩ කරන කෙනෙකු දිනකට පැය හයක්, අටක් අතර කාලයක් නිදා ගැනීම අවශ්‍ය වේ. නින්දට බාධා ඇති වුවහොත් පසුදින කටයුතු කාර්යක්‍ෂමව කර ගැනීමට ද බාධා වනවා ඇත.

 නින්ද පිළිබඳව වටිනා කරුණු රාශියක්, ජ්‍යොතිෂයේ ද වාස්තු විiාවේ ද, බුද්ධ ධර්මයේ ද සඳහන්ය.

 ධර්මයේ සඳහන් වනනේ මෛත්‍රිය වැඩීමෙන් සුවසේ නිදා ගැනීමට හැකිවන බවයි. මෛත්‍රිය වැඩීමේ ආනිශංස එකොළහක් මෙත්තානිශංස සූත්‍රයේ සඳහන් වෙයි. මෙහි පළමුවැන්න සුවසේ නින්ද යන බවයි. (සුඛං සුපනි) එමෙන්ම සුවසේ අවදිවන බව ද (සුඛං පටිබුජ්ඣති) මෛත්‍රිය වැඩීමේ ආනිශංසයකි. මේ නිසා සුවපත් නින්දක් ලැබීමට බලාපොරොත්තු වන්නේ නම් වෛරී සහගත සිතුවිලිවලින් තොරවීම අත්‍යවශ්‍ය වෙයි. නිරන්තරව හිතට එන තරහ, වෛරය, නින්දට ඇති කරවන්නේ මහත් බාධාවකි. නින්දට පෙර මෛත්‍රිය භාවනාව ටික වේලාවක් කර නිදා ගන්නා ඉරියව්වෙන් ද මෙත් වඩමින්ම නිදාගත හැකිවේ. මෙයින් ඉක්මනින්ම නින්ද යනවා ඇත. පාපකාරී නපුරු සිහින පෙනීම ද සුවදායක නින්දට බාධාවක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙත් වඩාන්නා නපුරු සිහින නොදිකන බව ද (නපාපතං සුපිතං පස්සති) එම සූත්‍රයේම සඳහන් කර තිබේ. මේ අනුව ඔබට නින්ද නොයයි නම් සියලු සත්ත්වයෝ සුවපත් වේවා යන සිතිවිල්ල ඇතිව නින්දට යන්න. ඉක්මනින්ම සුවබර නින්දකට වැටෙනු ඇත.

 ● හිස දමන දිශාව

 කෙසේ නමුදු උතුරට හිස දමා නිදා ගැනීම සුදුසු නොවන බව ජ්‍යොතිෂයේ සඳහන්ය. දකුණට හිස දමා නිදා ගැනීමෙන් සැප ලබන බව ‘දක්‍ෂිණේ සුඛ සම්පදා’ යන ශ්ලෝකයෙන් පෙන්වා ඇත. පෘථිවියේ උත්තර ධ්‍රැවය හා හිස එකම දිශාවකට තැබීම සෞඛ්‍ය ගැටලු ඇති කරන බව වාස්තු නියමයකි. උතුරට හා බටහිරට හිස දමා නිදා ගැනීමෙන් වංශයට හා දරුවන්ට රෝග පීඩා ඇති කරන බව ඉසිවර නියමයයි. ළමයින් නැඟෙනහිරට හිසදා නිදා ගැනීමෙන් ඔවුන්ගේ ඥානය වර්ධනය වේ. එමෙන්ම උතුරට හිස දමා නිදා ගැනීමෙන් ඇතිවන සෞඛ්‍ය ගැටලු නම් හෘද රෝග හා මොළයේ ස්නායුගත ආබාධ ඇති වීමට ඇති ඉඩ කඩයි. මේ කරුණු අනුව දකුණට හෝ නැඟෙනහිරට හිස දමා නිදා ගැනීම සුදුසු බව තීරණය කළ හැකිය.

 ● පාද

 හිස දමන දිශාව මෙන්ම පාද පිහිටන දිශාව ගැනත් සැලකිලිමත් විය යුතුවේ. ඔබ නිදාගන්නාවිට පාද පිහිටන්නේ පූජා කාමරය, බුද්ධ ප්‍රතිමාව හෝ දේව ප්‍රතිමා දිශාවට ද යන්න දැනගන්න. එසේ වීම සුදුසු නොවේ. මේ පිළිබඳව නිදසුනක් බෞද්ධ සාහිත්‍යයෙන් දැක්විය හැකිය. අගසව් සැරියුත් හිමියන්ට ධර්මාවබෝධය ලැබීමට හේතු වූයේ මහා කාශ්‍යප හිමියන් මුණගසුණුවිට පැවසූ ගාථාවකි. ‘යේ ධම්මා හේතුපබ්බතා’ යන ගාථාව පැවසූ කාශ්‍යප හිමියන් කෙරෙහි සැරියුත් හිමියන් තුළ වූයේ මහත් ගෞරවයකි. උන්වහන්සේ කිසි දිනෙක කාශ්‍යප හිමියන් සිටින දිශාවට පාද දමා නිදාගන්නේ නැත. එබැවින් බුද්ධ රූප, දේව රූප මෙන්ම මවුපිය ගුරුවරුන් සිටින දිශාවකට පාද දමා නිදා ගැනීම ද එවැනි අය පහත මාලයේ සිටින විට ඒ කෙළින්ම උඩුමහලේ නිදා ගැනීමද සුදුසු නැති බව සලකන්න.

 ● නිදන කාමරය

 කෙසේ නමුත් නිදන කාමරය පිහිටා ඇති දිශාව ද මෙහිදී සැලකිල්ලට ගත යුතුවේ. ගෙදර ප්‍රධානියාට සුදුසු වන්නේ නිරිත දිශාවේ පිහිටි කාමරය වේ. නිරිත භාවිත කළ නොහැකි නිවසක ඊළඟට ශුභ වන්නේ දකුණ හෝ බටහිර දිශාවන් වේ. උතුර හෝ ඊසාන දිශාවල නිදන කාමරය ගෙදර ප්‍රධානියාට විශේෂයෙන් අශුභඵලදායක වේ. මේ අනුව ශුභ දිශාවක පිහිටි කාමරයක, සුබ වූ නැඟෙනහිර, දකුණ යන දිශාවකට හිස දමා නිදාගත හැකි වනසේ නිදන ඇඳ සකස් කර ගැනීම මැනවි.

 අවිවාහක තරුණියන් නිදා ගන්නා විට තම පාද දෙක කාමරයේ දොර දෙසට දමා නිදා ගැනීම, අසුබ බව සැලකිය යුතුය. එමෙන්ම නිදන කාමරය තුළ නිදා සිටින විට පෙනෙන අන්දමට කණ්ණාඩි තිබීම ද අසුබ ඵලදායක වේ. අවිවාහක අය පාද දෙක දොර දෙසට නොදමන ලෙස හිස ශුභ දිශාවකට හැරෙන ලෙසත් තම නිදන කාමර සකස් කරගන්න. විවාහක යුවළකට වුවද කණ්ණාඩි තිබීම ශුභ නොවේ. ඉක්මන් විවාහයක් පතන තරුණියන් හෙවත් විවාහ ප්‍රමාදයට ලක්වූ යුවතියන්ගේ කාමරවල පිරිමි සංකේත, යුවළකගේ රූප, යුවළකගේ ප්‍රතිමා ආදිය තැන්පත් කර තැබීම මැනවි.

 නිදන කාමරය වාස්තු විiානුකූලව පිළියෙල විය යුතුවේ. මේ අනුව ඔබේ නිදන කාමරයේ ඊසාන දිශාව හිස්ව තැබීමත් ඇඳ නිරිත දිශාවට හෝ එසේ නැති නම් දකුණ බටහිර යන දිශාවන්ට බරව තැබීමත් ඉතා සුබවේ. ඊසාන දිශාවේ ඇඳ තැබීම අශුභඵලදායක බව සලකන්න.

 ● නිදන ඇඳ

 නිදා ගන්නා ඇඳ නිර්මාණය විය යුතු ආකාරය ද වාස්තු විiාවේ සඳහන්ය. එම ඇඳ එකම ගසක ලීවලින් සාදා ඇති නම් ධනවත් වන බව ද ලී වර්ග දෙකක් නම් එය ද සුබ බව ද කියැවේ. ගස් තුනකින් ගත් ලී නම් දරු සම්පත් වර්ධනය ද හතරක නම් කීර්තිය ද ලැබේ. එහෙත් ගස් පහක ලීයෙන් සාදන ලද ඇඳක නිදා ගැනීම මරණය පමුණුවන බව ද ඊට වැඩිනම් පරපුරේ විනාශය ද ඇතිවන බව ද කියා තිබේ.

 ● ඇඳ සෑදීමට සුදුසු දැව

 අකුණු වැදුණු ගස්වලින් ලබාගත් ලී ඇඳ සාදාගැනීම ඉතා අශුභය. එමෙන්ම පූජනීය වෘක්‍ෂවන බෝ, නුග, නා ආදී ලී ද සොහොන් භූමි හා මහා මාර්ගවල පිහිටි ගස්වල ලී ද සුබ නොවේ. එමෙන්ම ලෝහ වර්ගවන යකඩ ආදියෙන් සාදන ලද ඇඳන් ද ශරීර සෞඛ්‍යයට අහිතකර ලෙස බලපානවා ඇත. ඇඳ සෑදීමට සුබ ලී ලෙස නිර්දේශකර ඇත්තේ ඇද්දෙමට, මොර, තිඹිරි, ඇට්ටේරියා, සඳුන්, බුරුත, කළුවර, සල්, මහරිය යන ලී වර්ග වේ. ඇඳක් සාදන විට මෙම සුබ ලී වර්ග සපයා ගැනීමට සැලකිලිමත් වන්න.

 ● නිඳන ඇඳේ ප්‍රමාණය

 මෙකල නිදන ඇඳක් මිලයට ගැනීමේදී තනි හෝ යුගළ යනාදී වශයෙන් පමණක් සලකා බැලුව ද ඇඳක් නිපදන විට ගතයුතු මිමි ගැන වාස්තු ශාස්ත්‍රයේ සඳහන් කරුණු සැලකිල්ලට ගැනීම අගනයේ. පුරාණ ගෘහ භාණ්ඩවල මෙම මිනුම් භාවිත කර ඇති බව පෙනේ. වාස්තු ශාස්ත්‍රයේදී සියලු මිනුම් ගනු ලබන්නේ අඩි අඟල් ආදී සම්මත මිමිවලින් නොව, එය අයිතිකරුගේ ශරීරයට අදාළ හා ගැළපෙන ලෙසය. මේ අනුව සාදන සයනයේ දිග දෙකට බෙදා ලැබෙන ප්‍රමාණයෙන් අටෙන් එකක් අඩු කළවිට ලැබෙන ප්‍රමාණය ඇඳේ පළල විය යුතුවේ. දිගින් තුනෙන් එකක් ඇඳේ උස විය යුතුවේ. ඇඳක කකුල් සාදන විට එම දැවයේ අග මුල මැද නොවීමට වගබලා ගත යුතුවේ. එසේ අග, මුල මාරුවීම ද සෞඛ්‍ය ගැටලු ඇති කරයි. අඩි 6 ක් දික ඇඳක් අඩි 2ක් උස විය යුතු බව මෙයින් පෙනේ.

 ඔබ නිදාගන්නේ ඇඳක නොව බිම නම් තවත් කරුණු කිහිපයක් සැලකිය යුතුවේ. බිම නිදාගන්නා විට කොන්දේ ආබාධවලට සහනයක් ලැබේ. එහෙත් ඔබ නිදාගන්නේ තවත් කෙනෙකු නිදන ඇඳ අසලම නොවිය යුතුය. එවිට ඇඳේ සිටින අය ප්‍රාශ්වාස කරන අපිරිසිදු වාතය ඔබට ආශ්වාස කිරීමට සිදුවේ. එමෙන්ම මෙකල ලස්සන ගැන පමණක් සලකා බිම සිටම තබන ජනේලවලින් ද අපිරිසිදු වාතය ආශ්වාස කිරීමට සිදුවේ. කෘමීන් වැනි සතුන්ගෙන්ද බිම නිදාගන්නා කෙනෙකු ප්‍රවේශම් විය යුතුවේ.

 මේ අතර නිදන කාමරයට පිරිසිදු වාතය හා සූර්යා ලෝකය ලැබෙන ලෙස පිළියෙළ කර ගැනීම අත්‍යවශ්‍යය. ස්වභාවිකත්වයට බාධා කරන විදුලි රැහැන්, කාන්දම් සහිත ගෘහ භාණ්ඩ, යකඩ ස්ප්‍රීං සහිත මෙට්ට, විදුලි පංකා, ජංගම දුරකථන, විදුලි උපකරණ තිබීම ද සෞඛ්‍යයට හිතකර නොවේ. උවමනාවට වඩා භාණ්ඩවලින් කාමරය පිරී තිබීම ද සුබ නොවේ. නිදන කාමරයක බුද්ධ ප්‍රතිමා දේව ප්‍රතිමා තිබීම ද සුදුසු යැයි කිව හැකි නොවේ. යුවළකගේ කාමරය විශේෂය.

 ඔබ නිදාගන්නේ ඉහළ මාලයක නම් ඊට හරියට ම පහත මාලයේ ඇඳක මවුපියන් හෝ උසස් අය සිටීම අශුභ වනවා මෙන්ම පූජා කාමරය හෝ බුද්ධ රූප ඇති ස්ථානයකට ඉහළ මාලයේ හරි කෙළින්ම නිදා ගැනීම ද ඉතා අශුභ වේ. අපගේ පරීක්‍ෂාවට ලක්වූ එවැනි නිවසක සැමියා හා බිරිඳ නිදාගන්නේ හරියට ම බුද්ධරූප හා දේවරූපවලට කෙළින්ම උඩු මහළේය. මෙය වෙනස් කරන ලෙස උපදෙස් දුන්නද එය සැලකිල්ලට ගත්තේ නැත. මේ නිවස අතහැර දැමීමට ඔවුන්ට සිදුවූ අතර එතරම් පරණ නොවූ මෙම නිවස කඩා බිඳ දමා අලුත් ගොඩනැඟිල්ලක් සාදා තිබෙන බව මෑතක දී දුටිමි. ඒ ඉඩමේ අලුත් අයිතිකරු විසිනි.

 එමෙන්ම නිදාගන්නා ඇඳට ඉහළින් හරස් අතට සිටින සේ තලාඳ බාල්ක පිහිටා තිබීමද අසුබඵලදායක වේ. එය සෞඛ්‍ය ගැටලු ඇති කරවයි. මේ අතර නිදාගන්නා ඇඳට යටින් බිම ජල පහර හෝ ජල නළ තිබීම ද භයානකය. ජල නළයක් තුළින් ගමන් කරන ජලය කාමරයේ ආපෝ ධාතුවේ බලය අනවශ්‍ය ලෙස වර්ධනය කරයි. ජල නළ මෙන්ම ළිඳ කරා ගමන් කරන ජල උල්පත්ද ගැන සැලකිලිමත් වෙන්න. කොන්දේ ආබාධ, බරපතළ රෝගවල මූලික හේතුව මෙම ජල මාර්ග හෝ විදුලි රැහැන් වීමට ඉඩ තිබේ.

 ● යුවළකගේ කාමරය

 විවාහක යුවළකගේ සමගියට නිදන කාමරය ප්‍රබල සාධකයක් වෙයි. එබැවින් විවාහක යුවළක් මේ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුවේ. විවාහක යුවළක් ද හිස සුබ දිසාවකට දමා නිදාගත යුතු අතර බිරිඳ සිටිය යුත්තේ සැමියාගේ වම්පසිනි. නව යුවළ මඟුල් පෝරුව මත සිටින ආකාරය ම නිදා ගැනීමේදී ද අනුගමනය කළ යුතුවේ. මෙයින් දෙදෙනා අතර ආදරය හා සෙනෙහස වර්ධනය වනවා ඇත. එමෙන්ම විවාහක යුවළක් නිදන ඇඳ මෙට්ටා දෙකක් එකතු කර තිබීම ද සුබ නොවේ. තනි මෙට්ටයක් භාවිත කිරීම උචිතය. මේ අතර ඇඳ යට පරණ සපත්තු ලටපට කිසිවක් නොතිබිය යුතුය. දිනපතා පිරිසිදු කිරීම ද කළු නිල් වැනි වර්ණ නොව රෝස, සුදු වැනි සුබ වර්ණ ද ඇඳ ඇතිරිලිවලට භාවිත කරන්න.

 ● බාහිර කරදර

 බොහෝ අය ජංගම දුරකථනය තබා ගැනීමට පුරුදුවී ඇත්තේ නිදාගන්නා ඇඳ අසලම නැතහොත් ඇඳේමය. ජංගම දුරකථන හා පරිගණකවලට එන අනේකවිධ විiුත් තරංග නින්දට බාධාවකි. නින්දේදී නිසලවන ශරීරය භූමියට ආකාර්ශනය වේ. ඉහත උපකරණ මේ සමතුලිත බවට බාධා කරයි. මේ හැර මානසික ආතතිය ජනනය කරන ප්‍රධාන හේතුවක් ලෙස ජංගම දුරකථනය සලකනු ලැබේ.

 සුවපත් නින්දක් ලැබීමට බලාපොරොත්තුවන ඔබ ඉහත කරුණු සැලකිල්ලට ගෙන ඔබේ නිදන කාමරය සැලසුම්කර ගන්න. යාබද නිදන කාමර හා වැසිකිළිවල දොර වසා තබන්න. නිදා ගැනීමට ආසන්නව උත්තේජක ආහාර පාන ගැනීම වළක්වා ගන්න.

 නින්දට පෙර තම ආගම සිහිකරන්න. බෞද්ධයන් නම් බුදුගුණ සිහිකරන්න. ඉන්පසුව තම ජීවිතයේ ඉලක්කය, අරමුණ සිහිකරන්න. අනතුරුව සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා යනුවෙන් මෙත් වඩන්න. මෙය නිදාගන්නා ඇඳේ වාඩිවී දෑස් පියාගෙනම කරන්න. ඉන්පසුව ඇඳේ ඇලවීමෙන් පසුව ද ‘සුපත් වෙත්වා’ යන වදනම මෙනෙහි කරන්න. ඉතා ඉක්මනින් ඔබ සුවබර නින්දකට පත්වනු නියතය. එමෙන්ම ඔබ සුවදායක ලෙස පිබිදෙනවා ද ඇත.

සුවබර නින්දක රහස

කෑගල්ලේ  සුනිල් කුමාර ගම්ලත්
 දු.අංකය – 0771 234 313

advertistmentadvertistment
advertistmentadvertistment