සුවසැරියට ගත් ගිලන් රථ 25 රේගු බද්දෙන් නිදහස් වුවත් විකුණුම් මිල කෝටි එකහමාරක් වීම අසාමාන්‍යයයි!

206

වැඩි දියුණු කරන්න මුදල් නොදී තාමත් සැපයුම්කරු භාරයේ
විගණනයෙන් හෙළි වෙයි

ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් 1990 සුවසැරිය පදනම සඳහා කල්බදු ක්‍රමය යටතේ මිලදී ගෙන තිබූ ගිලන්රථ 25 ලියාපදිංචි සහතිකයට අනුව ආනයන රේගු බදුවලින් නිදහස්ව තිබියදී ගිලන්රථයක විකුණුම් මිල රුපියල් එක්කෝටි පනස් නවලක්ෂ පනස්දහසක් වීම (15,950,000) අසාමාන්‍ය තත්ත්වයක් බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

එමෙන්ම තාක්ෂණික පිරිවිතරයන් හා අනිකුත් අවශ්‍යතාවන් පිළිබඳව කිසිදු සොයාබැලීමකින් තොරව මෙම ගිලන්රථ මිලදී ගෙන තිබූ බවද විගණනය මගින් හෙළි කොට ඇත. මේ නිසා රෝහල් සත්කාරක සේවාවලට සුදුසු අයුරින් ගිලන් රථ වැඩිදියුණු කිරීම සඳහා රුපියල් හාරකෝටි අනුදෙලක්ෂ පනස්දහසක (49,250,000) පිරිවැය ඇස්තමේන්තුවක් සකස්කොට තිබුණි. එහෙත් එම මුදල භාණ්ඩාගාරය විසින් ලබා නොදීම හේතුවෙන් මෙම වසරේ (2022) මැයි මස 26 වැනිදා වනවිටත් ගිලන්රථ 25 වෙනස්කම් සිදුකිරීමකින් තොරව සැපයුම්කරු භාරයේ රඳවාගෙන ඇති බව ද විගණන කාර්යාලය පෙන්වා දෙයි.

මේ නිසා ගිලන්රථවල වගකීම් කාලය මෙම රථ භාවිතයට ගැනීමට පෙරම අවසන් වීමේ අවදානමක් පවතින බව විගණනය මගින් අවධාරණය කොට ඇත. මිලදී ගත් මෙම ගිලන්රථ 2021 වර්ෂයේ දෙසැම්බර් මස 30දා ලියාපදිංචි කර පදනම වෙත සංකේතාත්මකව භාරදී තිබුණි.

මේ පිළිබඳව සුවසැරිය පදනමේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ පදනමේ ඉල්ලීමකින් තොරව මෙම ගිලන්රථ ලබාදීම සිදුකොට ඇති බවත් පූර්ව රෝහල් සත්කාරක සේවාවලට සුදුසු ආකාරයෙන් ගිලන්රථ අවශ්‍ය පරිදි ප්‍රමිතීන්ට අනුව පිළියෙල කිරීම සඳහා අමතර ප්‍රතිපාදන ලබාදෙන බව දන්වා සිටියද ප්‍රතිපාදන නොලැබුණු බවය. පූර්ව රෝහල් සත්කාරක සේවාවලට අනුකූල වන පරිදි ගිලන්රථ සකස් නොකර ගිලන්රථ ධාවනයට යෙදවිය නොහැකි බව හා ඒ සම්බන්ධව භාණ්ඩාගාරයට හා අමාත්‍යාංශයට ලිපි මගින් දන්වා ඇති බවත් සුවසැරිය පදනමේ කළමනාකාරිත්වය පවසයි. 1990 සුවසැරිය පදනම සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාළව මෙකී විගණන වාර්තාව සකසා තිබුණි.

ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment