සුවිශේෂී වූ අසමසම බලයක් සහිත කාලත්‍රයේ අපූරු එකම නිමැවුම වජ්‍රායුධයයි

559

වජ්‍රය යනු විශ්ව ශක්තීන් ඒකරාශීකොට එම ශක්තීන් පරිවර්තකයක් ලෙස යොදාගත හැකි දිව්‍යමය මහා බලගතු ආයුධයකි. හින්දු දහමට අනුව චතුර්වේදය වූ සෘග්, යජූර්, සාම හා අථර්වන් යන සතර වේදයෙන් සෘග් වේදයේ සඳහන් ලෙසට සමස්ථ දේව මණ්ඩලයේ ප්‍රධානියා වන ඉන්ද්‍ර දෙවිදුන්ගේ ආයුධය වජ්‍රයයි. එසේම බුදු දහමට අනුව චාතුම්මහාරාජිකය හා තාවතිංසය යන දෙදෙව් ලොවට අධිපති වනුයේ සියලු දෙව් බඹුන්ගේ නායක වනුයේද ශක්‍ර දේවේන්ද්‍රයන්ය. සක් දෙවිදුන් එසේ සියලු දෙව් බඹුන්ගේ නායක වන්නේ බලයෙන් හා පිනෙන් අසමසම ලෙස බලවත් වීමෙනි. එසේ වූ අසමසම බලයෙන් යුතු සක්දෙවිදුන් අත දරන්නේද වජ්‍රායුධයයි.

වජ්‍රය නමැති සුවිශේෂී දිව්‍යමය ආයුධය දෙව්ලොව මැවුම්කරු වූ විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාගේ දෘෂ්‍යමාන ස්වරූපය ලෙසට පිළිගැනෙන “ත්වාස්ථ” දෙවිදුන්ගේ තවත් අපූරු නිමැවුමකි. ජය කොන්තය, වශී බෝලය, වශී ගෝලය ආදී වූ පර්යාය නාමයන් මගින් හඳුන්වනු ලබන වජ්‍රය සමස්ථ ලෝකයේ ඇති ප්‍රබලම බලවේග දෙකෙහෙි සංකලනය සංඛේතවත් කරයි. සංස්කෘත භාෂාවෙන් වජ්‍රය යනු අකුණ, දියමන්තිය හා සෞභාග්‍ය යනුයි. වචනාර්ථයෙන්ම අකුණ යනු නිසි ලෙසකට කවර අයුරකින්වත් නවතා වලකාලීමට නොහැකි බලවේගයකි. එසේම ලෝකයේ හඳුනාගෙන ඇති ශක්තිමත්ම පාෂාණය වනුයේ දියමන්තියයි. මේ අරුත් දෙකටම හිමිකම් කියන වජ්‍රය ඉතා ප්‍රබල බල සම්පන්න ශක්තිමත් කිසිදු බලවේගයකට මැඬලිය නොහැකි දිව්‍ය ආයුධයකි.

මුගුරක හැඩයක් ගන්නා වජ්‍රය කොටස් කීපයකින් නිර්මිතය. වජ්‍රයේ මැද ගෝලයකි. එම ගෝලයෙන් පෙති අටක නෙළුම් මල් පොහොට්ටු දෙකක් දෙපසට මතුවී තිබේ. එනම් වජ්‍රයේ පද්ම පාද දෙකකි. මෙකී කොටස් මගින් නිරූපිත දේ පිළිබඳ විවිධ අර්ථ කථනද එමටය. ඒ අතුරින් වජ්‍රය දෙපස ඇති නෙළුම් පොහොට්ටු දෙක විශ්වයේ හා භූමියේ ශක්ති අවශෝෂණය සඳහා නිර්මිත ලෙසට දැක්වේ. එලෙස අවශෝෂණය කරගන්නා ශක්තීන් මැද ඇති ගෝලය තුළ ගබඩා වී වජ්‍රය අතදරන්නාට එම ශක්තිය නිසිලෙස සම්ප්‍රේෂණය වන අයුරින් මෙය නිර්මිතය. සාමාන්‍යයෙන් වජ්‍රය රන්, රිදී, පිත්තල ආදී විවිධ ලෝහ වර්ග යොදාගනිමින් නිර්මාණය කරගත හැකි අතර එහි සම්මත දිග පළල පිළිබඳ විවිධ මත පවතී. කෙසේ නමුත් සෘෂි නියමයන්ට අනුව වජ්‍රය නිර්මාණය කරගැනීම ඉතාම යහපත්ය.

ධනය, බලය, සුවසම්පත උදාකරදීමේ සමත් ඉන්ද්‍ර දෙවිදුන් සතු වජ්‍රායුධයේ අනුරුවට සමානව තැනූ වජ්‍ර ඉතා දුර්ලභය. ඉන්ද්‍ර දෙවියන් වජ්‍රය අතදරා සිටින බැවින් වජ්‍රය කරණකොට ගෙනම ඉන්ද්‍ර දෙවියන් පර්යාය පද කීපයකින්ම හඳුන්වනු ලබයි. ඒ අතර වජ්‍රබාහු, වජ්‍රහීන්, වජ්‍ර දක්‍ෂිණ, වජිරන්, වජ්‍රාෂ්ට්‍ර, වජි්‍රවාන් යන පර්යාය පද මූලිකය. විශේෂයෙන් අකුණු ගැසීම් ඇතිකර පහරදිය හැකි විනිවිධ දැකිය හැකි ආයුධයක් වන වජ්‍රය මන්ත්‍ර විද්‍යාවේදී සර්වජන වශියක් ලෙස භාවිතා වේ. සම්මත ලෙසට දකුණු අත මහපට ඇඟිල්ලට හා දබර ඇඟිල්ලට මැදිවන සේ තබා රඳවාගත යුතු ලෙස පිළිගැනෙන වජ්‍රය වජ්‍ර ශක්ති මන්ත්‍රයකින් සිද්ධි කරගත්විට එතුළින් ලැබිය හැකි ඵල බොහෝය. එසේ නොමැති වුවද එනම් මන්ත්‍ර ආදියෙන් ප්‍රාණ පුට, පලිප්පු, සිද්ධි ආදිය නොකළද උතුම් දිව්‍ය ආයුධයක්වූ වජ්‍රයට නිරතුරු සක් දෙවිදුන්ගේ බැල්ම වැටේ.

වර්තමානයේ බලවතුන් අතර බොහෝ ජනප්‍රිය වී ඇති වජ්‍රය සංඛේතාත්මක උපකරණයකි. මෙවලමකි. එයට අදෘෂ්‍යමාන විශ්වශක්තීන් ළඟාකරගත හැකිය. ඉහතදී සඳහන් කළ සේම හිංදු දහමේ අකුණු වලට අධිපති ඉන්ද්‍ර දෙවියන් භාවිතා කළ විශ්ව ශක්ති හැසිරවීමේ ආයුධය වජ්‍රය වේ. මහායාන බුදුදහම අනූවත් වජ්‍රසත්ත්ව බෝසතාණන් වහන්සේ ධර්මයේ සංඛේතය ලෙස වජ්‍රය තම දකුණු අත දරා සිටී. මෙම විශ්ව ශක්ති පාලනය කේන්ද්‍රගත කළහැකි ජා්‍යාමිතික හැඩතල නිර්මාණයක් වූ වජ්‍රය තුළින් යහපත්වූ ශක්තීන් පාලනය කළ හැක. එනිසා යහපත්වූ සිතුවිලි ඇත්තෙකුට මින් ලද හැකි ඵල එමටය.

දෙවියන්ගේ දිව්‍ය ආයුධයක්වූ වජ්‍රය කිසිවිට නරක, අයහපත යටත්කිරීමට විනා එය ඉස්මතුකර නගා සිටුවීමට අවස්ථාව සලසා නොදේ. ධර්මානුධර්ම ප්‍රතිපත්ති රකින ධර්මානුකූල ජීවිත ගතකරණ ධර්මයේ හැසිරෙන යහපත් පුද්ගලයන්ට තම යහපත් අරමුණ සාක්ෂාත් කර ගැනීමට වජ්‍රය අතහැරීම මහත් ආශිර්වාදයක් ලෙස පෙන්වාදිය හැකිය.

එලෙසම යමෙකු වජ්‍රය නිවැරදි ලෙසට සුචරිතවත් අත දරන්නේ නම් තමන් වෙත එල්ල වන අශුභ බලපෑම් මග හරවා මැඬපැවැත්වීමට සමත්ය. විශේෂයෙන් අත්‍යන්ත දුර්ලභ අවස්ථාවක්, පිහිටීමක් ලෙස මනුෂයන්ගේ දකුණු අත අත්ලේ රවි මණ්ඩලය ආශ්‍රිතව ඉතා පැහැදිලිව මෙම වජ්‍ර සංඛේතය සුවිශේෂී හස්ත රේඛා පිහිටීමක් ලෙස හඳුනාගත හැකිය. යමෙකු මෙම සුවිශේෂී දුර්ලභ හස්ත රේඛා පිහිටීම දරන්නේ නම් ඔහු ඉතාම සුවිශේෂී ධාර්මික, ආධ්‍යාත්මික බල සහිත, උගත්, ප්‍රසිද්ධ, අවංක සත්‍යවාදී සුචරිතවත් පුද්ගලයෙකු බව කිව යුතුමය. පස් පවෙන්, දස අකුසලයෙන් වැලකෙන එවන් පුද්ගලයෝ සදා සැමගේ යහපත පතයි. එනිසාම එවන් අයට එම පිහිටීම තුළින් ලැබෙන සක් දෙවිදුන්ගේ රැකවරණය ආරක්‍ෂාව අපමණය.

කරුණු කාරණා එසේ මුත් වජ්‍රය කිසිවිට ග්‍රහ අපල නිවාරණ සමහන් මෙවලමක් ලෙස භාවිතා නොවන බවද සඳහන් කළ යුතුමය. කෙසේ නමුත් සමස්ථ විශ්වයේ ඇත්තේ එක් ප්‍රමිතිගත වජ්‍රායුධයක් පමණි. ඒ විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා මැවූ වජ්‍රායුධයයි. එහි එකම හිමිකරු අන් කවරෙකු නොව ඉන්ද්‍ර හෙවත් සක් දෙවිදුන්ම වේ. අසීමිත බලයකට හිමිකම් කියන වජ්‍රායුධය කිසිවෙකුට දර්ශනය කළ නොහැක. එය දර්ශනය කළ හැක්කේ ශක්‍ර දේවේන්ද්‍රයන්ට පමණි. එසේ නොමැති කිසිදු දෙවි කෙනෙකුට හෝ බ්‍රභ්මයෙකුට වජ්‍රය දර්ශනය කළ නොහැක. සක් දෙවිදුන්ට අවශ්‍ය නම් අන් අයට වජ්‍රයද දර්ශනය කළ හැකිය. එපමණක් නොව කිසිදු බ්‍රහ්ම, දිව්‍ය, මනුෂ්‍ය, යක්‍ෂ, අසුර, ගාන්ධර්ව, කින්නර ආදී මෙකී නොකී කිසිවෙකුට වජ්‍රායුධයට ළඟාවීමට වත් ස්පර්ෂ කිරීමටවත් හැකියාවක් නැත. සාමාන්‍යයෙන් සක් දෙවිදුන් වජ්‍රායුධය නොදරන අවස්ථාවන්හිදී එය දෙව්ලොව සුධර්මා නම් දිව්‍ය සභාවේ වූ සක් දෙවිදුන්ගේ පාණ්ඩු කම්බල ශෛලාසනයේ දකුණු බාහුව මත වේ යැයි කියැවේ.

මේ අයුරින් හඳුන්වා දිය හැකි ඉතාම සුවිශේෂී දිව්‍ය ආයුධයක්වූ වජ්‍රය සම්බන්ධ තවත් තොරතුරු බොහෝය. එම තොරතුරු බොහොමයක් පුරාණ පොතපතේ බොහෝ සවිස්තරව අන්තර්ගතය. එනිසා ඔබත් ඔබට හැකිනම් මෙම මහානුභාව සම්පන්න වජ්‍රය භාවිතා කර යහපත් මනුෂයකු ලෙස ජීවිතය සැපවත් කර ගැනීම සඳහා අවශ්‍ය ධනය, බලය හා සුව සම්පත උදාකර ජීවිතය ජයගන්න.

සුවිශේෂී වූ අසමසම බලයක් සහිත කාලත්‍රයේ අපූරු එකම නිමැවුම වජ්‍රායුධයයි

ජ්‍යොතිෂවේදී, දේශබන්දු, ආචාර්ය මංජුලා පල්ලෙබැද්ද,
පානදුර.
දු. අංකය 0779-282653

advertistmentadvertistment
advertistmentadvertistment