සුළඟට ගසාගෙන නො යන සරුංගල් පේ‍්‍රමිය

381

මේ වන විට 2020 ගොඩගේ අත් පිටපත් තරගයේ අවසන් වටය සඳහා නිර්දේශිත කාව්‍ය සංග‍්‍රහයක් ලෙස ඇගයීමට ලක්ව තිබෙන වින්‍යා මැණිකේ ජයසේකර කිවිඳියගේ ‘‘සරුංගල් පේ‍්‍රමිය” කාව්‍ය සංග‍්‍රහය සාමාන්‍ය කාව්‍ය සංග‍්‍රහයකින් වෙන් වූ රසවත් සංග‍්‍රහයකි. කාව්‍ය ප‍්‍රිය රසිකයාට මේ කිවිඳිය ගෙන එන සංග‍්‍රහය එකවර විඳ අවසන් කිරීම උගහට ය. එය වරින් වර කිහිප වතාවක් විඳිය යුතු ය.

තමාගේ දයාබර තාත්තාගේ මරණය අරභයා දරුවෙකු අත්විඳින කම්පනය අත්දැකීමක් කරගත් කවි සිත්තමකි ‘‘වේලාසනින් නික්මීම” මැයෙන් අපට හමුවන කවිය. කවියේ අවසානය කියවා ගන්නා තුරු කවියේ අන්තර්ගතය රසිකයාගෙන් සඟවා තබන්නට තරම් සූක්ෂ්ම වීම කිවිඳියගේ කවිකාරකමේ හුරුපුරුදු ලක්ෂණයකි.

වසන්තය ළඟම බව දැන දැන
වාරු දිය යුතුම මොහොතක
වේලාසනින් මා කුඩා අත අතැර
ඔබ නික්මීම වරදකි”

අපගේ අවධානය මීළඟට දිනා ගන්නා කවිය ‘‘රාත‍්‍රිය ඇවිත්” යන හිසින් හමුවෙයි. එක්තරා හැන්දෑවක නිවසට මේ කවෙහී කථකයාට සිය ‘‘සරතැස නිවන මදහස ගෙයි දොරකඩ දක්නට නොමැත. ගෙදර ඇති දේව රූප බුදු රූප පවා බිම බලාගෙනය සිටින්නේ”. ඒ මදහසට කුමක් සිදු වී දැයි කවියා අපට සෘජු ව හෙළි නොකරයි. එය රසිකයාට කවිය විවිධ අරුතින් වටහා ගැනීමට ඉඩ හසර ලබා දීමකි.

සුළඟට ගසාගෙන නො යන සරුංගල් පේ‍්‍රමිය

‘‘කාලයා නතර වෙයි

අවුල් දිවි අතැරිලි” – සාමාන්‍යයෙන් අවුල් වන්නේ ඇඳ ඇතිරිලි වූවත් සිදුව ඇත්තේ කුමක්ද

‘‘යටි කුරු හැළි වළං
දොරඟුළු හරියි

තනි බත් පැකැට්ටුවට” – හැළි වළං යටි කුරු ව ඇති නිවසට ඇතුළු වන්නේ ‘‘තනි බත් පැකැට්ටුවකි” දහවල් බත මෙන් නොව රාත‍්‍රියේ දී ‘‘තනි බත් පැකැට්ටුව” තුළ ඇත්තේ තනිකඩ ජීවිතයක අධි මාත‍්‍රාවේ ලූණු රස පමණි. කිවිඳිය ඒ අපුල රසය අපූර්වත්වයෙන් ස්පර්ශ කරන්නට රසිකයා වෙත පිරිනමන්නීය.

අනේ සුළෙඟ්
රැගෙන යන් මා පණිවිඩ
කුරුළු පැටවුන් වෙත
‘‘ගුරු කිරිල්ලිය සොවින් වග”

කාලයක් තිස්සේ පැවති මිතුරුකමක් එහි පදනම වූ විශ්වාසය කඩවීම නිසා බිඳී යෑමෙන් තනි වූ මිතුරෙකු අවන්හලක බීර බිඳක් විඳිමින් ඈත් වී ගිය මිතුරා අමතන අවස්ථාවක් පිළිබඳව කියැවෙන කවියක් ‘‘විස කටු” මැයෙන් හඳුනාගත හැකි ය. මේ මිතුරන් හෝ ඔවුන්ගේ මිතුරුකම කුමක්දැයි කියා හෝ විශ්වාසය පළුදු වූයේ කුමක් නිසාදැයි ආදී හෝ කාරණා කවිය තුළ අපට හෙළි නොවේ. රසිකායාගේ නැණ පමණට වටහා ගැනීමට දොර කවුළු විවරව තබා ඇත. එහෙත් කවිය පුරාම හීන් සෝකී ගීත රාවයක් මෙන් ගලා යන්නේ මිතුරු හිත පෙළන වේදනාවයි. කවියේ අවසන මේ ලෙස ය.

‘‘නිශා සුළෙඟහි වැළපුමව
ස්වර පටලා පුරුදු තනුවෙහි මා වයන
වියෝලාවේ තත් මත හිඳ ගත්
මගේ ඉපැරණි මිතුර

‘‘ඉතින් ඔබ ඔය තනිවම ද” මානව සබඳතා වලට ගැහැනු පිරිමි බේදයක් නොමැත. සෑම සබඳකමක්මත් ලිංගික ආකර්ෂණය නිසාම විය යුතු ද නොවේ නමුත් මේ කවිය තුළ යම් කිසි සම රිසි පේ‍්‍රමයක විරහා වේදනාවක් රාව නගන බව කීමේ ද වරදක් නැත.

දකුණු ආසියාතික කුටුම්භගත ජීවිතයක සිය එකම කාරිය ‘‘බත් තැම්බීම” කරගත්

ගෘහණියකගේ සිතිවිලි විමසන කවියකි ‘‘උයන ගෙයි හදවත” යන සිරසින් හමුවන කවිය. එහිම දිගුවක් ලෙස ඒ ගෘහණියගේ හදවතට ඇන පහුරු ගා ඈ සිත පොපියන පේ‍්‍රමාන්විත ආශාවන් කියවන්නට විවාහය තුළ ඇය විසින් ඉල්ලා සිටින ආදරය සෙනහස, ලිංගිකත්ත්වය ඉදිරිපත් කරන්නට සමත් වූ කවි සිත්තමකි

‘‘ඔබ ඇහෙරෙයි ද

මට හිතයි ඉඹින්නට” කිවිඳිය ඒ තරමට ම ප‍්‍රවේශම් ය. නමුත් ඇය ගැන රසික අනුකම්පාව ගලා යන්නේ කවියේ අවසාන පද පේළි අතර ය.

රාත‍්‍රිය ඇවිළී
නිවෙයි
සඳ දියෙහි ඵල නැත
සුහද ඔබ නිදිගත් පසුව

කාලාන්තරයක් පුරා ඥාති පවුල් දෙකක් අතර පැවති ඉඩම් ආරාවුලක් තේමා කරගත් ‘‘ඉතින් ආයුබෝවන්” නම් කවිය කීමේදි කිවිඳිය පරම්පරාගත ඉඩකඩම් හා සමඟ බැඳී ඇති මිනිස් සබඳකම් දෙස සානුකම්පිතව බලන්නීය. එහිදී ඇය යොදා ගන්නා කාව්‍යෝක්තීන් අගය කළ යුතුය.

‘‘රැයක් තිස්සේ පැළක් දැවේ”
‘‘ලේ සබඳකම් දෙපලූ කළ පොරව”

ඉතින් ආයුබෝවන් විසාලාවට – ‘‘ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු” යන අපට හුරු පුරුදු කවි පදය හා තුන් බියෙන් ඇවිලී ගත් විසාලා නුවර එකට එක් කර කිවිඳිය කරන ප‍්‍රකාශය ලේ සබඳකම් දෙපලූ කළ පොරවක් ඇති පවුලක ඛේදාන්තය මොනවට පැහැදිලි කරයි.

පාලම් තනන්නෝ, කඩුව අතින් ගත් සිංහයාගේ බිරිඳ කී කව, අවතැන් වීම එබඳුය ආදී කවි සිත්තම් දේශපාලන අරුතින් වටහා ගැනීමට රසිකයාට පුළුවන.

ගෙයි පහන, ලිලී මල් කෙල්ල, ඉඩෝරයේ පහස, දාසි රහස්, ගැහැනු තරු, සරුංගල් පේ‍්‍රමිය ආදී කවි සිත්තම් ද අගය කළ යුතු කාව්‍යතා ගුණයෙන් අනූන කාව්‍ය සිත්තම් බව කිව යුතුය. මහගම සේකර කවියා කී පරිදි කෙනෙක් කවියක් දෙස මූර්තියක් දෙස බලන්නාක් මෙන් එක් එක් පැතිවලින් බැලීම කෙතරම් වටින්නේ දැයි වින්‍යාගේ සමහර කවි සිත්තම් සාක්ෂි දෙන බව කිව යුතුය. ඇගේ කවි ‘‘සරුංගල්” මෙන් සුළං හමන අතට නො යන කවි වීම වැදගත් කාරණයකි. ඒ කවි තුළ ජීවාත්මයක් පණ ගසනු දැනේ. කවියෙන් කෙරෙන රසික ආමන්ත‍්‍රණය කාලාන්තරයක් පුරාවට රසික මනසේ තැම්පත් වී තිබෙනු ඇත.

‘‘සරුංගල් පේ‍්‍රමිය” සමඟ සිංහල කාව්‍ය කෙතට සරු බිජුවට දෝතින් ගෙන ආ වින්‍යා මැණිකේ ජයසේකර කිවිඳියට ඇගේ කාවය ගමන් මගේ සරු අස්වනු ඉදිරියේදි තවතවත් නෙලාගනු නොවනු මානය.

නිරෝෂ ප‍්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment