සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ට බැංකු ණය සහ අමුද්‍රව්‍ය  සඳහා සහනයක් දෙන්න – මහ බැංකු අධිපතිට ඉල්ලීමක්

63

රටේ ණය ගෙවීමට සහන කාලයක් ලබාගත් ආකාරයට මෙරට බැංකුවලින් ණය ලබාගත් සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ට සහන ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමයේ උප සභාපති නෙවිල් පෙරේරා මහතා මහ බැංකු අධිපතිවරයාගෙන් පෙරේදා (07 දා) ඉල්ලීමක් කළේය.

ඇමරිකන් ඩොලර් නොමැතිවීම ඇතුළු ගැටලු නිසා රටේ ණය ගෙවීමට නොහැකි වී ඇති ලෙසින් ඩොලර් නොමැති වීම නිසා අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට නොහැකිව සිය නිෂ්පාදන කටයුතු ද ඇනහිටින තත්ත්වය හමුවේ මෙරට බැංකු වලින් ණය ලබාගත් සුළු හා මධ්‍ය පරිමාන නිෂ්පාදකයන්ට ණය ගෙවීමට අපහසු තත්ත්වයක් මතුව ඇතැයි ද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවසීය.

2019 පාස්කු ප්‍රහාරයත්, 2020, 2021 කොවිඩ් අර්බුදයත් හමුවේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කඩා වැටීමට ආසන්නයේ තිබුණත් ඩොලරය රුපියල් 203 ක් තිබියදී විවෘත වෙළෙඳ පොළෙන් රුපියල් 250 වැනි මිලකට පාවහන් අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට හැකිවීමෙන් කර්මාන්ත ශාලා ඉතා අපහසුවෙන් පවත්වාගෙන ගිය බවද ඒ මහතා පැවසීය.

එහෙත් මේ වන විට විවෘත වෙළෙඳ පොළ හරහා අමුද්‍රව්‍ය ගෙන්වීම නතර කිරීම නිසා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ලක්‍ෂ 55 කගේ පමණ ව්‍යාපාර නතර වන තත්ත්වයට පත්ව ඇතැයි කී ඒ මහතා මේ ව්‍යාපාර නතර වුවහොත් ලක්‍ෂ 150 ක පමණ පිරිසක් මහමගට වැටෙන බවද කීය.

බැංකු හරහාම අමුද්‍රව්‍ය ගෙන්වා ගන්නා ලෙස ප්‍රකාශ කළත් බැංකු මගින් ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා අමුද්‍රව්‍ය ගෙන ඒමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් ඩොලරයේ මිල නොහිතූ ලෙස ඉහළ යාම හමුවේ පසුගිය මාර්තු මාසයේදී රුපියල් 26,000 ක් වැනි මිලකට ලබාගත් සපත්තු කර්මාන්තයට අවශ්‍ය ගම් ලීටර් 25 බඳුනක් මැයි මුලවන විට රුපියල් 62,500 ක් ලෙස ඉහළ ගොස් ඇතැයිද ඔහු කීය.

සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් රජයට බදු ගෙවීම, සේවක වැටුප්, ඊ.පී.එෆ්., ඊ.ටී.එෆ්. ඇතුළු සියලු ගෙවීම් සිදුකරන බවත් එම නිසා මහ බැංකුව මැදිහත් වී අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට සහ ණය ගෙවීමට සහනයක් ලබාදෙන ලෙසත් නෙවිල් පෙරේරා මහතා වැඩිදුරටත් ඉල්ලීමක් කළේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment