සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල්වලට ගැසූ නව බද්දෙන් සේවකයන් ලක්‍ෂ දෙකකගේ රැකියා අනතුරේ!

203

බද්ද ඉවත් කරන තෙක් වී ගන්නේ නෑ
කුඩා මෝල් සියයට 75 ක් වසා දමලා

– තිස්සමහරාම සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති

සහල් නිෂ්පාදකයන්ට රජය පනවන ලද 2.5%ක නව බද්දෙන් නිදහස් කරන තෙක් වී මිලදී ගැනීම හම්බන්තොට දිස්ත්‍රික්කයෙහි සුළු හා මධ්‍යම පරිමාණ මෝල් හිමියන් විසින් නතර කර ඇති බව තිස්සමහරාම සහල් නිෂ්පාදකයන්ගේ සංගමයෙහි සභාපති ඩබ්ලිව්. එච්. ගාමිණී මහතා ඊයේ (20 දා) පැවසීය.

රජය විසින් පනවා ඇති 2.5% නව බද්දෙන් සුළු හා මධ්‍යම පරිමාණයේ සහල් නිෂ්පාදකයන් නිදහස් කිරීම, වී සඳහා සාධාරන මිලක් නියම කිරීම, එම වී මිලට සරිලන පරිදි සහල් සඳහා සහතික මිලක් නියම කිරීම, පිටරටින් සහල් ගෙන්වීම සීමා කිරීම යන කරුණු කෙරෙහි රජයේ අවධානය යොමු නොකරන්නේ නම්, සහල් නිෂ්පාදනය කිරීම හා වෙළෙඳ පොළට සහල් නිකුත් කිරීමේ ක්‍රියාවලියෙන්ද බොහෝ පිරිසක් ඉවත් වීමේ අවධානමක් පවතින බවද සභාපතිවරයා සඳහන් කළේය.

මෙරට ජනතාවගේ පරිභෝජනයට අවශ්‍ය සහල් ප්‍රමාණයෙන් 60%ක් නිෂ්පාදනය කරනු ලබන්නේ සුළු හා මධ්‍යම සහල් නිෂ්පාදකයන් විසිනි.

සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදනය කරනු ලබන වී මෝල් 75% ක් පමණ දිවයින පුරා මේ වනවිට වැසී ඇති පසුබිමක පාඩු පිට පවත්වාගෙන යන සහල් නිෂ්පාදකයන්ට ඔක්තෝබර් මස සිට ක්‍රියාත්මක වන පරිදි 2.5% ක අමතර බද්දක් ගෙවීමට සිදුව ඇති බවද පැවසීය.

එම නව බද්දට අනුව සහල් කිලෝවක් නිෂ්පාදනය කිරීමේදී රුපියල් 5 ක මුදලක් රජයට ගෙවීමට සිදුව ඇති බව පැවැසූ සභාපතිවරයා, නිෂ්පාදනය කරන ලද එම සහල් වෙළෙඳ පොළට නිකුත් කිරීමේ දීද එම බද්ද අනුව සහල් කිලෝවකට තවත් රුපියල් 5 ක බද්දක් රජයට ගෙවීමට සිදුව ඇති බවද කීවේය.

ආදායම් බදුවලට අමතරව අසීමිත ලෙස රජය මෙසේ බදු අයකිරීම තුළින් සහල් නිෂ්පාදන කර්මාන්තය වැසී යෑමෙන් ගත් බැංකු ණය ගෙවීමට පවා නොහැකි වන බවද පැවැසූ සභාපතිවරයා සහල් නිෂ්පාදන කර්මාන්තයේ නියැලී සිටින දිවයින පුරා සිටින සේවකයන් ලක්ෂ දෙකක පමණ පිරිසගේ රැකියා අහිමි වීමේ අවධානමක් පවතින බවද කීවේය.

දෙබැවැව – ඒ. ඒ. පේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment