සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට – ප්‍රියමාලි – ඉසුරු 2 වැනිදා දක්වා යළිත් රිමාන්ඩ්

210

ප්‍රියමාලිගේ ගිණුම් ගැන විස්තර නිලධාරීන්ට දෙන්නයි බැංකු කීපයකට නියෝග

ව්‍යාපාරික කටයුතු සඳහා ආයෝජනය කර වැඩි මුදලක් ලබාදෙන බව පවසා ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන් ඇතුළු විශාල පිරිසකගෙන් රුපියල් කෝටි ගණනාවක් ලබාගෙන වංචා කිරීම සහ ඒ සඳහා ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන සිටි තිළිණි ප්‍රියමාලි නමැත්තිය සහ ඇගේ පෙම්වතා යැයි කියන ඉසුරු චාමික බණ්ඩාර නමැත්තා ලබන 2 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව වැඩබලන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය ඊයේ (19 දා) නියෝග කළාය.

සැකකාරියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුදල් වංචා කිරීම, මුදල් සාවද්‍ය පරිහරණය ඇතුළු චෝදනා යටතේ වෙන් වෙන්ව නඩු තුනක් ගොනු කර තිබූ අතර සැකකාර ඉසුරු බණ්ඩාරට එරෙහිව කොටුව පොලිසිය විසින් ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ එක් නඩුවක් ගොනු කර තිබිණි.

එම සැකකාරිය සහ සැකකරු විවෘත අධිකරණය හමුවට ඉදිරිපත්කොට නොතිබූ අතර ‘සූම්’ තාක්ෂණය ඔස්සේ ඔවුන් නිරීක්ෂණය කළ වැඩබලන මහෙස්ත්‍රාත්වරිය එම නියෝග කළාය.

එම සැකකාරියගේ නමින් පවතින ගිණුමක පසුගිය ජනවාරි මාසයේ සිට ජුනි මාසය දක්වා කාලයේ පමණක් රුපියල් මිලියන 3000ක පමණ මුදලක් තැන්පත් කර පසුව ඉවත් කරගෙන ඇති බවත් ඇයට එරෙහිව මූල්‍ය වංචා සම්බන්ධයෙන් මහාධිකරණ හා මහෙස්ත්‍රාත් අධිකරණ හමුවේ වෙනත් නඩු කටයුතු හතක් පවතින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට පැවසීය.

ඇයගේ කාර්යාලය පවත්වාගෙන යන ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ නඩත්තු කටයුතු සඳහා මසකට රුපියල් ලක්ෂ 41ක මුදලක් වැය වන බවත් එහි ආයතන හතක් පවත්වාගෙන යන නමුත් ආදායමක් ලැබෙන කිසිදු ආකාරයක් මෙතෙක් අනාවරණය වී නැති බවත් විමර්ශන නිලධාරීහු අධිකරණයට වැඩිදුරටත් පැවසූහ.

මේ වනවිට ඇයට එරෙහිව තම දෙපාර්තමේන්තුවට ලැබී ඇත්තේ ඉතා සුළු පැමිණිලි ප්‍රමාණයක් බවත් ඇයගේ වංචාවට හසුවූ සුප්‍රකට පුද්ගලයක් විශාල පිරිසක් ඇතත් ඔවුන් ඇයට එරෙහිව පැමිණිලි කිරීමට මැලිකමක් දක්වන බව පෙනී යන බවත් එහිදී පැවසූ විමර්ශන නිලධාරීහු බන්ධනාගාරය තුළදී නොයෙකුත් ආකාරයෙන් ජංගම දුරකථන භාවිත කිරීමේ අවස්ථාව ඇයට හිමිවීම මගින් තම දෙපාර්තමේන්තුව කරන විමර්ශනවලට බාධා එල්ලවීමේ තර්ජනය මතුව ඇතැයි පැවසූහ.

ඇය නමින් බැංකු හා මූල්‍ය ආයතන කිහිපයක පවතින ගිණුම් සම්බන්ධයෙන් සියලුම තොරතුරු විමර්ශන නිලධාරීන්ට ලබාදෙන ලෙස එහිදී බැංකු ආයතන කිහිපයකට නියෝග කළ වැඩබලන මහෙස්ත්‍රාත්වරිය විමර්ශන නිලධාරීන්ට බන්ධනාගාරය තුළදී විමර්ශන සඳහා අවශ්‍ය ප්‍රකාශ ලබාගැනීමට අවසර ලබාදෙන ලෙසට ද බන්ධනාගාර බලධාරීන්ට නියෝග කළාය.

සිය සේවාදායකයා පළමු සැකකාරියට අයත් සමාගම් සමූහහයේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරනා බව විමර්ශන නිලධාරීන් චෝදනා කළත් ඒ බව සනාථ කළ හැකි කිසිදු ලේඛනයක් ඉදිරිපත් කර නැතැයි සැකකාර ඉසුරු බණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ රොෂාන් දෙහිවල මහතා අධිකරණයට පැවසීය. නීතිඥ දුලාන් මිරිහාන මහතා එම සැකකරු වෙනුවෙන් පෙනී සිටියේය.

නීතිඥ රචිත රාජපක්ෂ මහතා සමග නීතිඥ දසුන් නාගහවත්තත මහතා සැකකාරිය වෙනුවෙන් පෙනී සිටියහ.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment