සූරියවැව ප්‍රා.සභා ලේකම් අල්ලස් දැලේ

197

සූරියවැව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා රුපියල් 50,000ක අල්ලස් මුදලක් ලබා ගනිමින් සිටියදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඊයේ (07) පෙරවරුවේ සූරියවැව ප්‍රාදේශීය සභාවේදීම අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සූරියවැව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කළ කේ.එච්. අබේනායක නමැති අයයි.

2021 වසර සඳහා අම්බලන්තොට පදිංචි පුද්ගලයන් දෙදෙනකු විසින් සූරියවැව නගරයේ පිහිටි සතිපොළ භූමියේ ටෙන්ඩර් ලබාගෙන තිබූ අතර ඔවුන්ගේ නියමිත ටෙන්ඩර් කාලය අවසන් වීම හේතුවෙන් ඔවුන් විසින් ප්‍රාදේශීය සභාවේ තැන්පත් කර තිබූ ඇප මුදල ලබා ගැනීමට අදාළව ප්‍රාදේශීය සභාවට ගොස් ඉල්ලීමක් කර තිබේ. එම අවස්ථාවේදී ලේකම්වරයා විසින් අදාළ ඇප මුදල නිදහස් කිරීමට රුපියල් 50,000ක මුදලක් ටෙන්ඩර්කරුවන්ගෙන් ඉල්ලා තිබේ.

2021 වසරට අදාළව පොළ භූමියේ ටෙන්ඩරය ලබා ගත් පුද්ගලයන් දෙදෙනා විසින් ප්‍රාදේශීය සභාවට රුපියල් ලක්ෂ 47ක මුදලක් ඇප වශයෙන් තබා තිබේ. මීට පෙර අවස්ථාවක එම ඇප මුදලින් රුපියල් ලක්ෂ 23ක මුදලක් ටෙන්ඩර්කරුවන් විසින් ලබාගෙන තිබේ. ඉතිරි ලක්ෂ 24ක මුදල ලබා ගැනීමට සභාවට ගොස් ලේකම්වරයා හමු වූ අවස්ථාවේ ලේකම්වරයා විසින් ටෙන්ඩර්කරුවන්ගෙන් මෙලෙස අල්ලස් මුදල ඉල්ලා තිබේ. පසුව ටෙන්ඩර්කරුවන් දෙදෙනා විසින් මේ පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව ඊයේ (07) දින පෙරවරුවේ ටෙන්ඩර්කරුවන් දෙදෙනා විසින් සභාවට ගොස් තමන්ට ප්‍රාදේශීය සභාවෙන් අය විය යුතු රුපියල් ලක්ෂ 24ක චෙක්පත ලියා ගැනීම සඳහා සභාවේ ලේකම්වරයාට රුපියල් 50,000ක අල්ලස් මුදලක් ලබා දුන් අවස්ථාවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබේ.

ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට පත් ලේකම්වරයා හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මත්තල දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment