සූරියවැව මන්දපෝෂණ කතාව – ඇත්ත රටට කියන්න – රෝහිණී ප්‍රශ්න කරයි

215

දොස්තරගේ පෞද්ගලික  වුවමනාවට කළ එකක් – ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල

එතකොට මේ රටේ  මන්දපෝෂණ ප්‍රශ්නයක් නැද්ද – රෝහිණී කුමාරි විජේරත්න


හම්බන්තොට, සූරියවැව දරුවන්ගෙන් සියයට 80කට මන්දපෝෂණය යන මැයෙන් දිවයින පුවත්පත වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා කරන ලද ප්‍රකාශයක් පාදක කර ගනිමින් ඊයේ (21) පළ කළ ප්‍රධාන පුවත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ඊයේ (21) දැඩි කතාබහට ලක්විය.

සූරියවැව මන්දපෝෂණ කතාව - ඇත්ත රටට කියන්න - රෝහිණී ප්‍රශ්න කරයි

එහිදී සමගි ජන බලවේගය මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය ‘දිවයින’ පුවත්පත පෙන්වමින් සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතාගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කළ අතර එහිදී ඇමැතිවරයා විටෙක ආවේගයෙන් පුවත්පත්වලට දොස් කියමින් ද අදහස් පළ කළේය.

එහිදී ඇතිවූ සංවාදය මෙසේය.

රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය- මන්දපෝෂණය පිළිබඳව මම යුනිසෙෆ් වාර්තාව අරගෙන කතා කළහම එදාම සෞඛ්‍ය ලේකම් නිකුත් කළා එම වාර්තාව බොරුයි කියලා. දැන් අද දිවයින පත්තරයේ මුල් පිටුව බලන්න. හම්බන්තොට, සූරියවැව දරුවන්ගෙන් සියයට 80කට මන්දපෝෂණය කියලා එහි තියනවා. එතකොට මේ වාර්තාවත් බොරුද. ඒ වගේම බලන්න අරුණ පත්තරයේත් 06 වැනි පිටුවේ තිබෙනවා බෙදාදුන් ත්‍රිපෝෂවල විෂකාරක අඩංගුයි, ඒ නිසා මේවා නැවත එකතු කරනවා කියලා. දැන් මේවා ආහාරයට ගත්තු අම්මලාට, දරුවන්ට වුණු හානියට වගකියන්නේ කව්ද. එහෙම නැත්නම් මේවාට නියාමනයක් නැද්ද කියලා මම අහනවා. මේ ගැන සෞඛ්‍ය ඇමැතිතුමා ගන්න ක්‍රියා මාර්ගය මොකක්ද?

සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා-

ඔබතුමිය කලින් කියපු යුනිසෙෆ් වාර්තාව සම්බන්ධයෙන් මම ඒ කණ්ඩායම මගේ කාර්යාලයට කැඳවා එවැනි ප්‍රකාශයක් කළේ ඇයි කියලා ඇහැව්වහම ඒ අය කනගාටුව ප්‍රකාශ කළා. මොකද 2016 වාර්තාවක් තමයි ඔවුන් ඉදිරිපත් කළේ. ඒ වාර්තාව ඒ විදිහටම යළිත් මාධ්‍යයට නිකුත් කළා. අවාසනාවකට ඔබතුමියත් ප්‍රකාශ කළා ඒ ගැන. අපි කියන දේවල් නොවෙයි මාධ්‍යයේ යන්නේ. මාධ්‍ය නිදහස නිසා ඕනෑ දෙයක් ප්‍රධාන පුවත විදිහට දාලා පසුව 06 වැනි පිටුවේ කනගාටුව ප්‍රකාශ කරලා දානවා. ඒ 06 වැනි පිටුවේ ගිනි පෙට්ටියක ප්‍රමාණයක දාන කොටස ඔබතුමියට කියවන්න ලැබෙන්න නැතුව ඇති.

හැබැයි එහෙම කියන අතරතුරේ මෙහෙම ප්‍රශ්නයක් නෑයි කියන්න මම සූදානම් නෑ. පැහැදිලිවම ප්‍රශ්නයක් තියෙනවා. ඔය විෂ කාරක ගැන කියද්දී බඩ ඉරිඟු ගැන ප්‍රශ්නයක් තිබෙනවා. ඔය ප්‍රශ්නය ගැන මම කතා කළා. ඒක අමූලික බොරුවක් කියලා මම කියනවා. ඒකට සම්බන්ධ වෙලා තිබෙන අයට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්න කියලා මම දන්වලා තිබෙනවා. ඒක හරි අසාධාරණ කතාවක්. හැබැයි ත්‍රිපෝෂ සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙනවා. ඔය බුද්ධ පූජාව කෑවා කියන එක සිදුවීමක් අරගෙන පත්තරවලින් ගහනවා. මේ අසාධාරණය කරන්න එපා. මුළු රටේම දරුවන් බුද්ධ පූජාව කන්නේ නෑ. මේක මානුෂික ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය විසඳන්න වැඩපිළිවෙළ මොකක්ද කියලා අපි බලන්න ඕනා. මොකද පත්තරවල මුල් පිටුවෙන් ගහලා පස්සේ 06 වැනි පිටුවෙන් කනගාටුව ප්‍රකාශ කරනවා නම් ඒ ගැන අපේ අවධානය යොමුවෙන්න ඕනා. ටොන් දෙකකින් ග්‍රෑම් දෙකක් අරගෙන පරීක්ෂා කරලා ඒ වාර්තාව අරගෙන පත්තරවලින් ගහනවා නම් ඒක ප්‍රශ්නයක්. ප්‍රශ්න නැතුව නොවෙයි. ඒත් ප්‍රශ්නවල පරිමාණය නම් බොහොම පොඩියි. මේ ආර්ථික අවපාතයත් එක්ක පැන නගින ප්‍රශ්න අපි කළමනාකරණය කරනවා. මේ ප්‍රශ්නය මානුෂිකයි. මේ ප්‍රශ්න ටික විසඳගන්න වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා.

රෝහිණී විජේරත්න මහත්මිය-

මේ ප්‍රවෘත්තිය පත්තරයේ ගියා කියන එක නොවෙයි ප්‍රශ්නය. උපුල් රෝහණ මහත්තයා කියලා තිබෙනවා මේ ත්‍රිපෝෂවල ඇෆලටොක්සින් කියලා පිළිකා කාරකය තිබෙනවා, ඒ නිසා ඒවා නැවත එකතු කරනවා කියලා.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා-

උපුල් රෝහණ ගැන, ඒ ප්‍රකාශය ගැන, ඒ විද්‍යාත්මක පදනම මොකක්ද කියලා මේ මොහොතෙත් ප්‍රශ්න කරලා තිබෙනවා. ඒ ගැන උත්තරය ලැබුණහම මම ඉදිරිපත් කරන්නම්.

රෝහිණී විජේරත්න මහත්මිය-

ඒ කියන්නේ මේ ප්‍රවෘත්තිය බොරු, ත්‍රිපෝෂවල ප්‍රශ්නයක් සහ මේ රටේ මන්දපෝෂණ ප්‍රශ්නයක් නැද්ද. මන්දපෝෂණය තිබෙනවා නම් ඒක පත්තරයේ ද ගියේ, රේඩියෝ එකේද ගියේ කියනවාට වඩා මේ ආර්ථිකයත් එක්ක මෙහෙම වෙන්න පිළිවන්. මේ වෛද්‍යවරයෙක් තමයි කියන්නේ හම්බන්තොට මන්දපෝෂණය ගැන. මේ ගැන විධිමත් පියවරක් ගන්න. මොකද පාසල්වලට හාල් බෙදුවා. ඒවා ගන්න බෑ.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා-

මේක දේශපාලන ප්‍රශ්නයක් කරගෙන. මම උත්තරයක් දුන්නා. මම මේ ගැන සම්පූර්ණ උත්තරයක් දෙන්නම්.

අපේ නියෝජ්‍ය කථානායකතුමා දැන් හම්බන්තොට එම්.ඕ.එච්.ට කතා කළා කිව්වා. ඒ කිසිම ප්‍රශ්නයක් නෑ. සම්පූර්ණයෙන්ම මේ වෛද්‍යවරයෙක්ගේ පෞද්ගලික අවශ්‍යතාවයක් උඩ ප්‍රකාශයක් කරලා තිබෙන්නේ කියලා මෙතුමා වගකීමකින් ප්‍රකාශ කළා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment