සූරියවැව වඩු හිච්චි මාමා තේක්ක ලීයෙන් හැදූ ත්‍රීවිලරය ලෝකෙටම එකයි

840

වසර 40කට වැඩ කාලයක් තිස්සේ වඩු කර්මාන්තය සිය ජීවනෝපාය කරගත් 60 හැවිරිදි බටගොඩගේ විමලසිරි නොහොත් හැමෝම දන්නා හඳුනන වඩු හිච්චි මාමා වඩු කර්මාන්තය සඳහා උපන් හපනෙකි. සූරියවැව වැවේගම පදිංචි වඩු හිච්චි මාමා ආදරණීය දරුවන් දෙදෙනකුගේ පියෙකි. අද වන විට ඔහු 60 වැනි වියේ පසු වුවත් තරුණ පහේ කොලු ගැටයන් හා හරි හරියට ලී කොටන් එක්ක ඔට්ටු වෙන්නේ හරියට තරුණයකු මෙනිය. අද මෙන් එදා වඩු කර්මාන්තයේ නියැළුණු වඩු හිච්චි මාමාට අලුත් අලුත් පන්නයේ උපකරණ කිසිවක් නොවීය. එදා වඩු කර්මාන්තයෙන් හපන්කම් දක්වන්ට ඔහුට තිබුණේ බුරුමය, අතකොලුව, යතුකැටය, නියන, අත්කියත, වරක්කලය වැනි ඉතා සිමිත උපකරණ කිහිපයක් පමණකි. මේ කුඩා උපකරණ භාවිතා කර එදා වඩු හිච්චි මාමා දැක්වූ හපන්කම් සූරියවැව අවට පමණක් නොව හම්බන්තොට දිස්ත්‍රික්කයේම බහුතරයක් දෙනා හොඳහැටි දනී.

වඩු හිච්චි මාමා ගැන අද අප ඔබට කියන්නට හිතුනේ ඔහු සිදු කළ අපූරු නිර්මාණයක් නිසාය. ත්‍රී රෝද රථය නිර්මාණය කළ ඉන්දියාවට ද බැරි වූ අපූරු ත්‍රී වීල් හුඩ් එකක් නිර්මාණය කිරීමට වඩු හිච්චි මාමා අද වන විට සමත් වී තිබේ. ලංකාවටම ඇති එකම තේක්ක ලීයෙන් නිර්මාණය කළ ත්‍රී රෝද රථය ඇත්තේ වඩු හිච්චි මාමා සතුවය. මෙය ලංකාවටම පමණක් නොව ලෝකයටම ඇති එකම නිර්මාණය ද බව නොරහසකි. මෙම අපූරු නිර්මාණයේ නිර්මාතෘ වන්නේ වඩු හිච්චි මාමාය. කොතැනටත් සුදු සරමත් බැනියමත් අඳින ඔහු ඉතා නිරහංකාර පුද්ගලයෙක් බව නම් නොරහසකි. කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වාම ඉතා නිවුණු ස්වරයෙන් කතා කිරීම වඩු හිච්චි මාමාගේ පුරුද්දක්ය. ඔහු තුළ ඇති මෙම කුසලතාවය නිසාවෙන්ම අප ඔහු සොයාගෙන සූරියවැව වැවේගම පිහිටි ඔහුගේ නිවසට ගියේය. එහිදී වඩු හිච්චි මාමා අපත් සමග පැවසුවේ මෙවන් කතාවකි.

මගේ නම බටගොඩගේ විමලසිරි. හැබැයි විමලසිරි කියලා හොයාගෙන ආවට කවුරුවත් මාව අඳුරන්නේ නෑ. නමුත් වඩු හිච්චි මාමා කියලා ඇහුවොත් නොදන්න කෙනෙක් නෑ. මගේ තාත්තා හොඳ වඩු කාර්මිකයෙක්. තාත්තගේ මෙම කර්මාන්තය අපි පවුලේ සියලුම දෙනා ඉගෙන ගත්තා. මට අවුරුදු 20 ඉඳන් තමයි මෙම වඩු වැඩ කරගෙන යන්නේ. මට මේ නිර්මාණය කරන්න හිතුනේ මගේ ත්‍රී වීල් එක මීට මාස හයකට පමණ කලින් ඇළකට පෙරළිලා අනතුරට ලක් වුණා. ඒ වෙලාවේ ත්‍රී වීල් එකේ කූඩුව (හුඩ් එක) සම්පූර්ණයෙන්ම හානි වුණා. ඒ වෙලාවේ මං ඒක හදා ගන්න කීප තැනකටම ගිහින් ගණන් හිලව් ඇහුවා. හැමෝම මහා ලොකු ගණන් කිව්වා. එහෙම තියෙද්දී මං කල්පනා කළා මේකට ලීයෙන් හුඩ් එකක් ගහන්න පුළුවන්ද කියලා. මොකද මගේ ළඟ ලී හා ඒවා ඕනි විදියට සකස් කරන්න පුළුවන් උපකරණත් තියෙන නිසා. එහෙම හිතලා මං පෑනකුයි කොළේකුයි අරගෙන ඊට අවශ්‍ය සැලැසුමක් ඇන්දා. ඒ ඇඳලා මගේ අයියගේ පුතා නිලංගට කිව්වා මේකට අවශ්‍ය ලී සකස් කළ යුතු විදිය. එහෙම තමයි මේක හදන්න පටන් ගත්තේ. ඇත්තටම මේක හදන්න මට සති තුනක් විතර ගියා.

මේ නිර්මාණය සඳහා අරගෙන තියෙන සෑම ලීයක්ම අඟල් භාගයට වඩා ඝනකම අඩුයි. මේ සඳහා යොදාගෙන තියෙන්නේ තේක්ක ලීය. හැම තේක්ක ගහකින්ම ගන්න ලී මේ සඳහා හරියන්නේ නෑ. ඒ සඳහා වගා තේක්ක ලී තමයි ඉතාමත් යෝග්‍ය වෙන්නේ. අනික ලී බර අඩු කරන්න අවශ්‍ය තාක්ෂණයත් මං මේ සඳහා භාවිතා කරලා තියෙනවා. මේ සම්පූර්ණම කූඩුවේ බර කිලෝ 30කට අඩුයි. අනික මේකේ කිසිම කෑල්ලක් වාහනයෙන් පිටතට පැනලා නෑ. සවි ශක්තිය අතිනුත් ඉතා හොඳයි. ඒ වගේම ඉතා අනර්ඝ මට්ටමේ දැව ආරක්ෂණ ක්‍රමයක් මේ සඳහා භාවිතා කරලා තියෙනවා. මට මේ සඳහා රුපියල් ලක්ෂ දෙක හමාරක් විතර වැය වුණා.

මුලින්ම මං මේ ත්‍රී රෝද රථය හදලා පාරේ යනකොට පොලිසියෙන් පවා නැවැත්තුවා. මේකේ ඇති නීතිමය තත්ත්වය කොහොමද කියන්න නම් මං දන්නේ නෑ. නමුත් මේක හොඳ නිර්මාණයක්. අපේ රටට ගැළපෙන අලුත් දෙයක්. බොහෝ දෙනෙක් මේ වෙනකොට මේ සඳහා කැමැත්ත පළ කරලා තියෙනවා. අද වෙනකොට මේ අලුත් නිර්මාණය සඳහා ලොකු ඉල්ලුමක් තියෙනවා. ඕනැම කෙනෙකුට මේ නිර්මාණය කර ගන්න ඕනැ නම් 0705087650 යන දුරකතන අංකයට ඇමතීමෙන් විස්තර දැනගන්න පුළුවන් යැයි හිච්චි මාමා අපත් සමග පැවසීය.

මෙම අපූරු නිර්මාණය සඳහා නීති රීති කොතරම් හරස් වේවිද යන්න පිළිබඳව ද කිව නොහැකිය. කෙසේ නමුත් වගකිවයුතු බලධාරීන් කළ යුත්තේ මේ අපූරු නිර්මාණය සඳහා සහයෝගය දැක්වීමය. බොහෝ වෙලාවට සිදුවන්නේ අලුත් නිර්මාණයක් සිදු කළ පසු සිදුවන්නේ කුමක් හෝ නීති අණපනත් දමා නිර්මාණකරුවන් උපන්ගෙයිම මරා දැමීම ය. එනිසා මෙවැනි නිර්මාණ සිදුකරන පුද්ගලයන් සඳහා අතහිත දී ඒ සඳහා සහාය නොමඳව වගකිවයුත්තන්ගෙන් ලැබේවි යැයි අප ද විශ්වාස කරමු.

සටහන හා සේයා රූ –
මත්තල දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment