සෙත් කවි මිස  වස් කවි නොකී  රතුවිතාන

445

ආචාර්ය පියසේන රතුවිතාන මහතා වෘත්තීමය වශයෙන් ගුරුවරයෙකි. කලක් කොළඹ නාලන්දා විiාලයේ ගුරුවරයෙක් වශයෙන් සේවය කළ අවදියේ එතුමාගෙන් සිප් සතර හැදෑරු දරුවන් රැසකි. එතුමා සැබෑම විශිෂ්ට ගණයෙහිලා සැලකිය හැකි දක්ෂ ගුරුවරයෙකි. එතුමාගෙන් සිප් සතර හැදැරූ අය පසුකාලයේ රජයේ උසස් ඉහළ තනතුරු හෙබවිය. ඒ දැක ආචාර්ය පියසේන රතුවිතාන මහතා අමුතු සතුටක් ලැබීය. ඒ පිළිබඳව නිතරම සතුටෙන් කථා කළේය.

 ආචාර්ය පියසේන රතුවිතාන මහතා දක්ෂ කවියෙකි. විශේෂයෙන් හාස්‍ය දනවන අයුරින් හිටිවන කවි කීමටද දක්ෂය. ඊට අවශ්‍ය පරිදි පද පබැඳුමටද දක්ෂය. ඒ එතුමා තුළ පැවති නිසඟ හැකියාවය. කලක් ප්‍රධාන ළමා පුවත්පතක “වැලි බත” යන කාව්‍ය නිර්මාණය කළේද රතුවිතාන මහතාය. අගනුවර තරුණ කවි සමාජය ආරම්භ කිරීමට ද විශාල මෙහෙයක් කළේය. සමාජ ගත කරුණු අලලා හාස්‍ය උපදවන හිටිවන කවි තරග පැවැත්විය. ඒවායේ මුලසුන ද හෙබවූහ.

 ගුරුවරයෙක්, කවියෙක් මෙන්ම ලේඛකයෙකි. ඔහු අතින් ලියැවුණු පොත් පත් සංඛ්‍යාව 150 කට වැඩිය. සමාජයේ පවත්නා විවිධ දුර්වලතා මෙන්ම සාරධර්ම වලින් පිරිපුන් මෙන්ම අභියෝගාත්මක චරිත මෙන්ම ඔවදන් පිරිපුන් හා ජ්‍යොතිෂ්‍ය ග්‍රන්ථ රැසක්ම ඊට අයත්ය. විශේෂයෙන් ජ්‍යොතිෂ්‍ය හදාරන්නෙකුට මෙන්ම සාමාන්‍ය පුද්ගලයෙකුට ද ජ්‍යොතිෂ්‍ය පිළිබඳව අවබෝධයක් ලැබීමට සරල සුගම භාෂා ශෛලයකින් ඉදිරිපත් කළ විශිෂ්ට ගණයෙහිලා ග්‍රන්ථ රැසක් ඊට අයත්ය. එමෙන්ම විශේෂාංග ලිපි මෙන්ම කාව්‍ය නිර්මාණ හා ජ්‍යොතිෂ්‍ය ලිපි ද ප්‍රධාන පුවත්පත්වලට ලියා ඇති ප්‍රවීණ ලේඛකයෙකි. ජ්‍යොතිෂ්‍ය පුවත් පතක් වූ “සුබසෙත” පුවත්පතේ ප්‍රධාන උපදේශක වශයෙන්ද කලක් කටයුතු කළේය. ඇත්ත ඇති සැටියෙන් ද සත්‍ය නිවැරදිව කිසිවක් නොසඟවා ඉදිරිපත් කළ බැවින් ඉන් අවාසියක් ඇතිවනු ඇතැයි සිතා සමහර අය උරණ වූහ. “පෙරමග” සඟරාවේ කතුවරයා වශයෙන්ද රතුවිතාන මහතා කලක් කටයුතු කළේය.

 ජ්‍යොතිෂ්‍යයට අනුව අපල උපද්‍රව වලට සෙත් කවි ලිවීමටද රතුවිතාන මහතා දක්ෂය. මේ නිසා විශාල පිරිසක් විශ්වාසනිත්වයෙන් එතුමා හමුවීමට පැමිණියහ. අලුයම් කාලයේ හෝ මධ්‍යම රාත්‍රියට ආසන්නව අෂ්ඨ ඵල බෝධියක සෙත් කවි කීමටද එතුමා ගිය අවස්ථා ද ඇත. ඉන් පිහිට ලැබූ පිරිස අතිමහත්ය. ප්‍රාණජීව සෙත් කවි තුළින් මරණාසන්න ජීවිත පවා රැක දුන්නේය. රතුවිතාන මහතා සෙත් කවි ලියා දුන්න ද වස් කවි ලියුවේ නැත. එතුමා සෙත් කවි කිව්වා මිසක් කිසිවිටෙකත් වස් කවි කිව්වේ නැත. රතුවිතාන මහතා රුපියල් ශත පසුපස හඹා නොගිය සාර ධර්මවලින් පිරිපුන් චරිතයකි.

 දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ජ්‍යොතිෂ්‍ය උපදේශක ලෙසද කටයුතු කළේය. රණසිංහ ප්‍රේමදාස මහතාගේ අපල කල් ඇතිව දැනසිටි රතුවිතාන මහතා ප්‍රවේශම් වන ලෙස දැනුවත් කළ ද ඊට පිටුපා කටයුතු කිරීම නිසා අකල් මරණයකට ගොදුරු විණ. එතුමාගේ උපදෙස් පිළිනොගත් බොහෝ දෙනෙකුට මෙවන් අවාසනාවන්ත සිදුවීම්වලට මුහුණ දීමට සිදුවූ අතර ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවිණ. එහෙත් උපදෙස් පිළිගත් අය දිවි රැක ගත්හ. සමහර අයට වාහනයක ඉදිරිපස අසුනේ පවා ගමන් කරන්නට එපා කියා උපදෙස් දී තිබිණි. එවන් නරක අපල කාලයක් ඇති බව රතුවිතාන මහතා කල් ඇතිව කියා සිටියද එය නොසලකා හැරීම නිසා දිවියෙන් සමුගත් අය ද සිටී.

 වරෙක රතුවිතාන මහතා ගීත රචකයෙකි. නීලා වික්‍රමසිංහ, චන්ද්‍රිකා සිරිවර්ධන යන ගායිකාවන් ගේ ගීතවලට පද රචනයෙන් දායක වී ඇත. ජාතිකානුරාගයෙන් යුත් රණබිම මැරුණේ සිංහලයෙකු නම් පපුවේ වෙඩි සලකුණ ඇත්තේ යන ගීතයේ නිර්මාණකරුවාද වන්නේ රතුවිතාන මහතාය. දරුවන්ට නම් තැබීම, අකුරු කියවීම, ව්‍යාපාරික ආයතනවලට මෙන්ම චිත්‍රපටිවලට ආර්ථිකමය වාසිදායක වන අයුරින් නම් ලබාදීමේ කටයුතු ද එතුමා අතින් සිදුවිණ. බුදුදහමට අනුව පහන් තිරයත් තෙල් ද නිමවී

 නිවිගිය පහනක් මෙන් ගෙන ආ ආයුෂය හා කර්ම ශක්තිය යන දෙකම නිම වූ උභයක්ඛය මරණයක් එතුමාට හිමිවිණ. වනයේ කොතෙක් ගස් ඇතත් සඳුන් ගස් විරලය. එහි සුවඳ දසතම විහිදෙන්නේය. සැබැවින්ම රතුවිතාන මහතා ද එවන් විරල සුවඳැති ගසක් මෙන්ම පොළොවට බරක් නොවූ චරිතයකි.

 ඇදුරුතුමනි, ඔබතුමාට අමා මහ නිවන් සුව පතමි.

 අමල් වික්‍රමතුංග

advertistmentadvertistment
advertistmentadvertistment