සෙනසුරු මාරුවෙන් ප‍්‍රභූ මරණයක් ?

2063

ශනි හෙවත් සෙනසුරු ග‍්‍රහයා 2022 අපේ‍්‍රල් මස 29 වැනි කිවි දින පෙරවරු 07.52 ට තම ස්වක්ෂේත‍්‍ර හා මූල ති‍්‍රකෝණ රාශිය වන කුම්භයට ප‍්‍රවිශ්ට වීමට නියමිතය.

අංශක 360 රාශි වළල්ල වටා යෑමට සෙනසුරුට දළ වශයෙන් වසර 30 ක් පමණ ගතවේ. සෙනසුරු අවසන් වරට කුම්භයට පැමිණ ඇත්තේ 1993 මාර්තු 04 වැනිදාය. ඊටත් පෙර සෙනසුරු කුම්භයේ ගමන් කර ඇත්තේ 1964 ජනවාරි 24 වැනි දිනයි. ඊටත් පෙර 1934 මාර්තු 15 වැනිදාත් සෙනසුරුගේ කුම්භ රාශි ගෝචරය සිදුව ඇත.

ඉහත කී අයුරින් සෙනසුරුගේ කුම්භ රාශි ගෝචරය පැවැති සෑම අවස්ථාවකදීම ලෝකයට අමතක නොවන විශේෂ සිදුවීම් රැසකට මුහුණ පෑමට සිදු විය. විශේෂයෙන් සෙනසුරුගේ කුම්භ රාශි ප‍්‍රවේශය සිදුවූ අවස්ථාවලදී අප රටටත්, ජනතාවටත්, පාලක කාරකාදීන්ටත් දැඩි අපල තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වූ බව ඉතිහාසය විමසා බැලීමේදී පැහැදිලිව දැක ගත හැක.

අප රට ලංකා කේන්දරයේ ලග්නය කුම්භයයි. කුම්භය වූ ලග්න භාවයට සෙනසුරුගේ පැමිණීම, යහපත් තත්ත්වයක් උදා කරතැයි කිසිසේත් බලාපොරොත්තු වීමට නුපුළුවන. ඒ බව සනාථ කරමින් 1993 මාර්තු 04 වැනි දින සෙනසුරුගේ කුම්භ රාශි ප‍්‍රවේශයෙන් මාස දෙකක් ඉක්ම යෑමටත් පළමුව 1993 මැයි 01 වැනි දින ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මැතිඳුන් එදින පැවැති මැයි දින රැලිය අතරතුරදී කොළඹ ආමර්වීදිය මංසන්ධියේදී ඝාතනයට ලක් විය.

එක් රාශියක වසර දෙකහමාරක පමණ කාලයක් ගමන් කරන සෙනසුරු ග‍්‍රහයා 1993 මාර්තු 04 වැනිදා ලංකා කේන්දරයට ආ ගමන්ම සිදු කරන ලද්දේ ජනාධිපති පේ‍්‍රමදාසයන් ගොදුරු කර ගන්නට පෙර, ලලිත් ඇතුලත්මුදලි අමාත්‍යවරයා බිල්ලට ගැනීමය. 1993 අපේ‍්‍රල් මස 23 වැනිදා කිරුලපන මහජන කී‍්‍රඩාංගණයේ පැවැති පළාත් සභා ඡුන්ද රැස්වීමේදී සාහසිකයකුගේ වෙඩි පහරින් එතුමා මරණයට පත් විය.

1993 දී සිදු වූ රටේ අර්බුදකාරී වාතාවරණයන්ට මංපෙත් විවර වන්නට වූයේ 1990 මාර්තු 19 වැනිදා සෙනසුරු, මකරයේ ගමන් ආරම්භ කිරීමත් සමගය. මකරය යනු අප රට කේන්දරයේ 12 වැන්නය. එය මෙලොවින්, එලොව ජීවිතයට ජන්මියාව යොමු කරවන ස්ථානයයි. වැය ස්ථානය නමින් හඳුන්වන මෙය දුක, ඊර්ෂ්‍යාව, වධ බන්ධන, හිර අඩස්සි, රහස් කටයුතු, ආත්ම විනාශය වැනි නරක දේට බලපවත්වන ස්ථානය ලෙස සෘෂීන් නම්කර ඇත.

සෙනසුරු මකරයේ ගමන අරඹන විට, ඉදිරියේදී කුම්භයට ගිය පසු සිදු කිරීමට බලාපොරොත්තු වන කි‍්‍රයාවන්හි සැලසුම සාදා ගන්නා බව අප අතීතය ඇසුරින් දුටුවෙමු. 1990 මාර්තු 19 වැනිදා මකරයට පිවිසි සෙනසුරු 1991 අගෝස්තු 29 වැනිදා පේ‍්‍රමදාස ජනාධිතිතුමා ධුරයෙන් ඉවත් කිරීම සඳහා ජනාධිපතිට විරුද්ධව දෝෂාභියෝගයක් ඉදිරිපත් කෙරිණි. එය ලංකා දේශපාලනයට නුපුරුදු අලූත්ම අත්දැකීමක් විය.

චෝදනා 15 ක් මුල් කර ගනිමින් 127 දෙනකුගේ අත්සනින් යුතුව ඉදිරිපත් කරන ලද දෝෂාභියෝග චෝදනාවට අත්සන් තැබූවන් අතර ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක යන මහත්වරු පෙරමුණ ගෙන සිටියහ. අවසානයේ දෝෂාභියෝගය ජනපති පේ‍්‍රමදාස ජයගත් අතර දෝෂාභියෝගය ඉදිරිපත් කළ ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක ඇතුළු කණ්ඩායම එජාපයෙන් නෙරපා හැරීමට පේ‍්‍රමදාස ජනාධිපතිතුමා කටයුතු කරනු ලැබීය.

1991 දී ඇරඹි දේශපාලන විරසකය, සෙනසුරු මකරයේ ගමන් කරද්දී පටන්ගෙන ටිකෙන් ටික මෝරා විත්, 1993 වසරේ කුම්භයේදී පුපුරා ගියේ අප රටේ අනාගත නායකත්වය අවිනිශ්චිත තත්ත්වයකට ඇද දමමිනි. විරසකය කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා දේශපාලනයට අහිමි වූයේ කි‍්‍රයාශීලී දේශපාලනඥයකු හා බුද්ධිමත්, උගත්, නැණවත් නායකයන් දෙදෙනෙකි. එම අඩුව අදටත් අප රටට දැනෙන බව රහසක් නොවේ.

මේ වන විටත් සෙනසුරු ගමන් කරනුයේ මකරයේය. 2020 ජනවාරි මස 24 වැනිදා සෙනසුරු මකරයට පැමිණි පසු අප රට තුළ මෙතෙක් සිදු වූ හා සිදුවෙමින් පවතින දේ දෙස බැලීමෙන් බොහෝ දේ තේරුම් ගත හැකි නොවේද? සෙනසුරු තම නෛසර්ගික ගුණය නිසි ලෙස පෙන්වමින් අඳුරු යුගයක් නිර්මාණය කර ඇත. ගෑස් නැත. ඉන්ධන නැත. විදුලිය නැත. ආහාර නැත. කිරිපිටි නැත. ජනතාව කුසගින්නේය. මුළු රටම අඳුරේය. විරැකියාව හා දරිද්‍රතාව මුළු රටම වෙළාගෙන ඇත. සාගතයක පෙරනිමිති පහළ වෙමින් පවතී. පාලකයෝ මර නින්දේය.

අපේ‍්‍රල් 29 වැනිදා සෙනසුරු කුම්භයට පැමිණෙන්නේ දැඩි තීරණ රැසක් රැගෙන බව නොඅනුමානය. වසර දෙකහමාරක් මුළුල්ලේ ජනතාව පීඩාවට පත් කළ රාජ්‍ය පාලකයන් හා නායකයන්ගෙන් මහජනතාව ගලවා ගැන්මේ මෙහෙයුම ඇරඹීම සඳහා සෙනසුරු දැනටමත් පිඹුරුපත් සකස් කර අවසන්ය.

1964 ජනවාරි 24 වැනි දින සෙනසුරු කුම්භයට පැමිණ සිදු කළ දේ අප රටට අමතක නොවේ. ශී‍්‍ර ලංකාවේ පැරණි වම දියකර හැරීමට සෙනසුරු කටයුතු කළ අතර 1964 දෙසැම්බර් 03 වැනිදා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ පළමු පෙළ සාමාජිකයකු වූ සී. පී. ද සිල්වා විසින් රාජාසන කතාව පරාජයට පත්කරමින් විපක්ෂය සමග එක් විය. එය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට දරාගත නොහැකි පාඩුවක් වූ අතර 1964 දෙසැම්බර් 17 වැනිදා ආණ්ඩුව විසුරුවා හරින ලදී. එයට මූලික හේතුව වූයේ ශී‍්‍ර ලංකා පුවත්පත් පනත පිළිබඳව පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටලූ සහගත තත්ත්වයයි.

1965 මාර්තු 22 වැනිදා පවත්වන ලද මහ මැතිවරණයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පරාජය කිරීමට සෙනසුරු කටයුතු යොදන ලදී. එහිදී එක්සත් ජාතික පක්ෂය, ෆෙඩරල් පක්ෂය, ශී‍්‍ර ලංකා නිදහස් සමාජවාදී පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ලංකා ද්‍රවිඩ සංගමය යන පක්ෂ එකතු වී හවුල් ආණ්ඩුවක් පිහිටුවිය. කුම්භයට පිවිසුණු සෙනසුරු තම නිසග ගුණ ජනතාව වෙත මුදා හරින ලද්දේ එලෙසින් ආණ්ඩු පෙරළා දැමීමෙනි.

අතීතයේ සිදුවූ සමහර සිදුවීම් වර්තමානයේදීත්, අනාගතයේදීත් නැවත නැවත සිදු වේ. එම න්‍යායට අනුව 1965 දී හා 1993 දී සිදු වූ එම කි‍්‍රයාදාමයන් 2022 දී හෝ 2023 දී සිදු නොවෙතැයි කිව හැක්කේ කාටද? ඒ සඳහා අවශ්‍ය පසුබිම හා වටපිටාව සෙනසුරු දැනටමත් නිර්මාණය කරමින් සිටින බව සැක හැර පැවසීමට පුළුවන.

සෙනසුරුගේ නීතිය කාහටත් එකය. නෛකශී‍්‍රයෙන් විරාජමානව සිටි රජවරුන්, බලවතුන්, ධනවතුන් හිටි හැටියේ බිම ඇද දමා, හොට බිම ඇන්නවීමට සෙනසුරු තරම් දක්ෂයකු ග‍්‍රහ ලොව තවත් නැත. තමා සතු ධනය හා බලය පෙන්වා සමහරු රාජ නීතියෙන් ගැලවෙති. නමුත් සෙනසුරුගේ දේව නීතියෙන් නම් ඔවුන්ට ගැලවෙනු බොරුය. එවැනි ජගතකු මෙලොව හා එලොව ද නැත. ඊට හොඳම උදාහරණය ලෙස පෙන්වා දිය හැක්කේ සෙනසුරු විසින් විෂ්ණු දෙවියන්ට බටකොළ කැවීමයි.

සෙනසුරු තමා නියෝජනය කරන ජනතාවට අකටයුතුකම් කරන ඕනෑම පාලකයකු, බලවතකු විනාශ කර දමන්නට මොහොතකටවත් මැළි වන්නේ නැත. ඉර හඳ උලාකමින් රටත් ජනතාවත් මුළා කරමින්, ජනතාව ගොනාට අන්දවන්නටත්, බොරුවෙන් රට රවටන්නටත් උත්සාහ කරන දේශපාලනඥයන්ගේ කෙරුම් මෙම සෙනසුරු මාරුවෙන් තාවකාලිකව සීමා වුව ද, අවුරුදු දෙකහමාරෙන් දෙකාහමාරට එන සෙනසුරු ඒරාෂ්ටක අපල කාලයේදී නම් කිසිවකුටවත් ගැලවී පැන යන්නට නොහැකි වනු ඇත.

සමහරු තමන් කළ අපරාධවලින් බේරී වෙනත් රටවලට පැන ගිය ද, සෙනසුරුගේ ශාපය ඔවුන් පසුපස, ඔවුන් සොයා යන්නේ ගොනා පසුපස කරත්තය ඇදී යන සේය. වීදුරු පෙට්ටියක සැඟවී, මහ මුහුද මැද සිටියත්, ජනතාව විනාශ මුඛයට ඇද දැමූ කාලකන්නි දේශපාලනඥයනට සෙනසුරුගෙන් නම් සමාවක් නැත. මෙම ධර්මතාවය පක්ෂ, විපක්ෂ සෑම දේශපාලනඥයකුටම පොදුය.

වත්මන් පාලකයන් තවදුරටත් ජනතාව පීඩාවට පත් කරමින් බලයේ රැඳී ඉන්නට කැසකවමින් සිටින බව පැහැදිලිව පෙනේ. අපේ රට දේශපාලනඥයනට මහඟු ඉල්ලමකි. කෙතෙක් ගැරුවත්, කෙතෙක් වස්තුව හා ධනය සූරාකෑවත් ඔවුන් සෑහීමකට පත් වන්නේ නැත. වෙරළට රැලි කොතෙක් ආවත් වෙරළ එපා කියන්නේ නැත. එලෙස අප රටේ දේශපාලනඥයන් හට ඉන්දියන් සයුරේ මුතු ඇටය වු අප රට පරාදීසයකි. නමුත් රටවැසි ජනතාවට මෙය ඉන්දියාවේ කඳුළු බිංදුවක් වී හමාරය.

මස්කඬේ මුදලාලි කටුව පමණක් ඉතිරි වන්නට මස් ටික සූරා ගන්නාක් මෙන්, අප රටේ සිටින හා මත්තට ඒමට අදහස් කරන සියලූම දේශපාලනඥයන්ගේ ඒකායන අරමුණ වී ඇත්තේ ශී‍්‍ර ලංකාව නමැති මස් කැබැල්ල හැකි තරම් කා දමා ඉතිරි වූ කටු ටික ද අමාරුවෙන් හෝ සූප්පු කරමින් එහි ඇටමිඳුළු අස්සේ රැදුණු ‘මැරබෝන්’ ටික ද උරා බීමය.

මේ සියලූ දේ සෙනසුරු නොදැක්කා නොවේ, නොදන්නවාද නොවේ. මෙම අපේ‍්‍රල් 29 වැනිදා සිදුවන සෙනසුරු මාරුව අඩුවෙන් තක්සේරු කළ නොහැක. කුම්භය සෙනසුරුගේ මූල ති‍්‍රකෝණ රාශිය බව අප අමතක නොකළ යුතුය. සෙනසුරු කුම්භයට පැමිණීමට පෙර හා පසුත් විවිධාකාරයේ සිදුවීම් රැසක් සිදුවීමට ඉඩ ඇත. ඒ අතර හවුල් ආණ්ඩුවක් පිළිබඳව යෝජනාව තුළින් තවදුරටත් බලයේ රැඳී සිටීමට වත්මන් පාලකයන් කටයුතු කිරීමට උත්සාහ දරනු ඇත. එමෙන්ම පක්ෂ ප‍්‍රභූ දේශපාලනඥයකුගේ හදිසි මරණයක් පිළිබඳ අන්දෝලනාත්මක සිදුවීම් ද මෙම කාලය තුළදී අසන්නට බොහෝ දුරට ඉඩ තිබේ.

සෙනසුරු මාරුවෙන් තුන් මසකට පසු අප රට ජනතාවට තරමක් දුරට සහනයක් දැනෙන නමුත් එය පූර්ණ සහනයක් යැයි වරදවා තේරුම් නොගත යුතුය. ජනතාව දෙවියන්ට භාරදී පාලකයන් රොත්ත පිටින්ම සාතන් වෙත යැවීමට සෙනසුරු කටයුතු කරන බව නම් නොඅනුමානය. සෙනසුරු ග‍්‍රහයා 2025 අපේ‍්‍රල් 01 වැනිදා දක්වා කුම්භයේ ගමන් කරනු ඇත.

පාරම්පරික ජ්‍යොතිෂවේදී
දිවුලපිටියේ ඩග්ලස් ගුණවර්ධන
දු.අංකය 0776 283 097

advertistmentadvertistment
advertistmentadvertistment