සෙනසුරු මාරුව හෙට

8936

සෙනසුරු ග්‍රහයා ජනවාරි 17 වැනිදා සවස හයයි තුනට මකර රාශියේ සිට කුම්භ රාශි ගතවෙයි. මේ වූ කලී ඉතා වැදගත් ග්‍රහමාරුවකි. රාශි චක්‍රයේ එක් වටයක් යෑමට සෙනසුරුට අවුරුදු තිහකට ආසන්න කාලයක් ගතවේ. මෙවර මෙම ග්‍රහයා කුම්භ රාශිගත වූයේ 2022 අප්‍රේල් 29 වැනි දා ය. එහෙත් වක්‍රවීම නිසා නැවත වරක් ජූලි 12 දා මකරයට ම ආපසු ගියේය. ඉන්පසු ලබන 17දා නැවතත් කුම්භ රාශිගත වන්නේ ය. ගතවූ වසර ඇතුළත අපේ රටේ ආණ්ඩුවලට සිදුවූ දේ අමුතුවෙන් මතක් කර දියයුතු යැයි අපි නො සිතමු.

සෙනසුරු, ජ්‍යොතිෂයේ දී වැඩ කරන ජනතාව නිවේදනය කරයි. ගොවීන්, කම්කරුවන් වැනි ජීවිත පන්තිය සංකේතවත් කරන සෙනසුරු ශනි වශයෙන් ද හැඳින්වේ. සෙනසුරු කුම්භ රාශියේ දී ස්වක්‍ෂේත්‍ර නම් බලය ලබයි. යමෙකුට දුර ගමනක් ගොස් තමන්ගේ ම නිවසට පැමිණි විට දැනෙන සැනසීම කවුරුත් දනී. ග්‍රහයෙකු ද ස්වක්‍ෂේත්‍ර වන්නේ තමන්ගේම රාශියට පැමිණිවිට ය.

ජනවාරි 17 සිදුවන්නේ එය යි. රටේ පොදුජනතාවට බලය ලැබෙන බවක් මේ නිසා හිතාගත හැකි ය.

පසුගිය අවුරුදු සියය ගැන විමසනවිට ශනි කුම්භ රාශිගතවූයේ 1934 මාර්තු 15 දා ය.

එහෙත් 1948 පෙබ 04 දා නිදහස ලැබීම පදනම් කරගනිමින් ශ්‍රී ලංකාව කුම්භ ලග්නය හිමි රටක් ලෙස පිළිගැනේ. කුම්භ රාශියේ සංකේතය වන්නේ කළයක් කර තබාගත් මිනිසකු ගේ රූපය යි. මේ කළයේ ඇතුළේ තිබෙන්නේ මොනවාදැයි කිසිවකු නොදනී. මේ සංකේතයෙන් බර දරා ගැනීමේ ශක්තිය මෙන්ම ඇතුළේ ඇති දේ හෙළි නොකරන ගුප්ත බව ද ප්‍රකට වේ.

ශනි බලවත්ව කුම්භ ලග්නය හිමි කේන්ද්‍රයේ බලවත්ව ගමන් කරනවිට බලවත් ආණ්ඩු බිහිවී තිබේ. එමෙන් ම සෙනසුරුගේ ශුභ දෘෂ්ටි ලබනවිට ද එසේම විය. 1956, 1960, 1965 1970, 1988, 1994, 1999 යන වර්ෂ කුම්භ රාශියට සුබ දෘෂ්ටි ශනිගෙන් ලැබුණු අවස්ථා ද වේ.

තවද ශනි දුර්වලව පැවැති විට ලැබූ ආණ්ඩු ඉනිමකින් නිමවූ බව ද පෙනේ. 1952 ශනි අටවැන්නේ ගමන් කරද්දී බලය ලැබූ ඩඩ්ලි සේනානායක රජය එක වසරකට සීමා විය. 1959 බලය ලැබූ ඩබ්ලිව් දහනායක රජය ද එක වසරකට සීමා විය. උක්ත ජ්‍යොතිෂ පර්යේෂණය තවදුරටත් අධ්‍යයනය කළ හැකි වන අතර ආණ්ඩු හදන මෙන්ම පෙරළන ද සෙනසුරුගේ ගමන ලෝකායන ජ්‍යොතිෂයේ ද ඉතා වැදගත් බව පෙනේ.

ජන්ම පත්‍ර පරීක්‍ෂාවේ සෙනසුරු ගැන කියැවෙන්නේ දුක් කරදර ගෙන දෙන ග්‍රහයකු ලෙස වුවද මෙම ග්‍රහයා ලග්නයේ 3, 6, 11 ආදී භාවවල සිටින අයට ද තුලා රාශියේ හෝ ශනි, මකර, කුම්භ යන රාශිවල සිටි අයට ද බරපතළ අපල ඇති කරන්නේ නැත. සමහරවිට සුබපල ද දෙයි. උපතේ දුර්වලව සිටි අයට ඒරාෂ්ටකව ගමන් කරන කාලයේ අපල ඇති කරයි. සෙනසුරු වැඩ කරන ජනතාව නිවේදනය කරන බව ඉහත සඳහන් කළෙමු. කුමන ග්‍රහයෙකුගේ හෝ අපල හෝ සුබපල ලෙස හඳුන්වන්නේ පෙර කරන ලද කසශලාකුසල කර්මවල ප්‍රතිඵල වේ. එවිට ශනි අපල ඇතිවන්නේ තමා යටතේ සේවය කරන ලද සේවක පිරිසට නිසි ලෙස වැටුප් නොදුන් හා දුගී මගී අයට උපකාර කිරීම ප්‍රතික්ෂේප කළ නිසා ය. සමහරු අනුන් ගේ දුකට සවන් දීමට කැමැති නැත. බිහිරන් සේ සිටී. වැටුප් නොගෙවා සේවකයින් පන්නා දමන දුෂ්ට පාලකයන් සිටී. සමහරු ජීවිතය ජය ගන්නට තැත් කරන්නේ අණවින හදි හූනියම් කිරීමෙනි. මෙහි ප්‍රතිඵල ලෙස සෙනසුරු අපලය උදාවෙයි.

අංශභාග, වාතාබාධ, කොරවීම, බිහිරිවීම, ධන හානිවීම, ව්‍යාපාර බිඳවැටීම, භූත දෝෂ, ප්‍රේත දෝෂ ආදිය මේ නිසා ඇති වේ. නිසි ලෙස කරනු ලබන ශාන්ති කර්ම මගින් එය පාලනය කළ හැක. කළු නිල් වර්ණ භාවිතය ද ඉතා අසුබ ය. ජන්ම පත්‍රයට ගැළපෙන සේ සුබ වර්ණ හෝ මැණික් පැළඳීම කළ යුතුවේ.

‘සෙනසුරුගේ දුක දිනන්න – අනුන්ට දුක් නොදී ඉන්න’ යන්න අනුගමනය කිරීම සුදුසුම පිළිවෙතයි.

සෙනසුරු මාරුව හෙට

කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්

advertistmentadvertistment
advertistmentadvertistment