සෙබස්තියනයිට්ස් සහ ටැමිල් යුනියන්  අවසන් මහ තරගය ලබන 22 වැනිදා

149


අන්තර් ක්‍රීඩා සමාජ නැඟී එන ක්‍රිකට් තරගාවලියේ

 අන්තර් ක්‍රීඩා සමාජ නැඟී එන කණ්ඩායම් අතර පැවැත්වෙන තුන්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජය පෙරේදා (10 වැනිදා) සමත්විය. පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කර ගත් සෙබස්තියනයිට්ස් කණ්ඩායම අවසන් මහ තරගයේදී ටැමිල් යුනියන් කණ්ඩායමේ ප්‍රතිවාදීන් බවට පත්විය.

 තරගයේ තෙවැනි දිනය පුරා ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් අවසන් දිනයේදී එකම පන්දුවක් හෝ යැවීමට අවස්ථාව හිමි නොවීය. එබැවින් පළමු ඉනිමේ ජයග්‍රහණය පරිදි අවසන් මහ තරග අවස්ථාව සෙබස්තියනයිට්ස් පිලට හිමිවිය.

 දෙපිළේම කඩුලු 25 ක් බිඳ වැටුණු දෙවැනි දිනයේදී ලකුණු 29 ක පළමු ඉනිමේ වාසියත් සමඟින් දෙවැනි ඉනිම ඇරැඹූ සෙබස්තියනයිට්ස් පිළේ කඩුලු 4 ක් ලකුණු 05 ක් ඇතුළත බිඳ වැටීම නිසා දැඩි අසීරුතාවයකට මුහුණ දුන්නේය. එහෙත් තරූෂ ප්‍රනාන්දු සහ ළහිරු ප්‍රනාන්දු එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් එක් කරන ලද ලකුණු 39 ක සම්බන්ධතාවයත් සමඟම දිනය අවසන් වන විට කඩුලු 6 කට ලකුණු 53 ක් ලබා දැඩි අසීරුතාවයකට මුහුණ දුන්නේය. පන්දු යැවීමේදී කැපී පෙනුණු ජෙහාන් ඩැනියෙල් දැවී ගිය කඩුලු 6 න් කඩුලු 5 කම හිමිකරුවා බවට පත්වූවේය.

 පළමු ඉනිම ක්‍රීඩා කළ සෙබස්තියනයිට්ස් පිල සියලු දෙනා දැවී ලකුණු 142 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස කෝල්ට්ස් පිලට රැස් කරගත හැකි වූයේ ලකුණු 113 ක් පමණි. මෙවර තරගාවලියේ තරග 6 කට සහභාගි වුණු කෝල්ට්ස් පිල එහිදී පූර්ණ තරග ජයග්‍රහණ 5 ක් වාර්තා කරමින් අවසන් කණ්ඩායම් 4 අතරට සුදුසුකම් ලැබුවද ලකුණු 143 ක් තරම් පහසු ඉලක්කය සපුරා ගැනීමට අසමත්වීම කැපී පෙනිණ.

 ඒ අනුව මෙම තරගාවලියේ අවසන් මහ තරගය ටැමිල් යුනියන් කණ්ඩායම සහ සෙබස්තියනයිට්ස් කණ්ඩායම අතර ලබන 22 වැනිදා සිට 24 වැනිදා දක්වා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

 සෙබස්තියනයිට්ස් පළමු ඉනිම 142 යි – (සඳුන් ප්‍රනාන්දු 46, ළහිරු ප්‍රනාන්දු 28, රොහාන් සංජය 09.3, කවිශ්ක අංජුල 20/3, ජෙහාන් ඩැනියෙල් 36/2, ඩිල්ෂාන් මදුශංක 51/2) සහ දෙවැනි ඉනිම කඩුලු 6 ට ලකුණු 53 යි – (තරූෂ ප්‍රනාන්දු 24, ජෙහාන් ඩැනියෙල් 27/5)

 කෝල්ට්ස් පළමු ඉනිම ලකුණු 113 යි – (මුදිත ලක්ෂාන් 35, ජෙහාන් ඩැනියෙල් 31, තරිඳු රත්නායක 34/4, ටෙහාන් ශාෆ්ටර් 25/3, තරූෂ ප්‍රනාන්දු 44/3)

advertistmentadvertistment
advertistmentadvertistment