සෙම්ප‍්‍රතිශ්‍යාවෙන් පෙළෙන හරි අඩකට ඔමික්‍රෝන්: එංගලන්ත වෛද්‍ය පර්යේෂකයෝ අනතුරු අඟවති

410

මෙම දිනවල සෙම්ප‍්‍රතිශ්‍යාවෙන් පෙළෙන අයගෙන් හරි අඩකට වැළඳී ඇත්තේ කොරෝනා ආසාදනය විය හැකි බවට එංගලන්ත වෛද්‍ය පර්යේෂකයන් විසින් අනතුරු අඟවා තිබේ.

යමෙකු මෙම දිනවල උගුරේ රිදීම, නාසයෙන් සොටු දියර ගැලීම හා හිසරදය යන රෝග ලක්ෂණවලින් පෙළෙන්නේ නම් ඔහු හෝ ඇය ඔම්ක්‍රෝන් කොරෝනා වෛරස් ප‍්‍රභේදය ආසාදනය වූ අයෙකු විය හැකි බැවින් සෙම්ප‍්‍රතිශ්‍යා රෝග ලක්ෂණවලින් පෙළෙන්නන් වහාම කොරෝනා පරීක්ෂණයක් කරා යොමු විය යුතු බව ‘‘සෝ කොවිඞ් අධ්‍යයන කණ්ඩායමේ ප‍්‍රධාන විද්‍යාඥ මහාචාර්ය ටීම් ස්පෙක්ටර්’’ පවසා තිබේ.

‘‘ඔමික්‍රෝන්’’ ප‍්‍රභේදයේ ශීඝ‍්‍ර පැතිරීම හේතුවෙන් ඉකුත් සතියේ සිට එංගලන්තයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාවේ විශාල වැඩි වීමක් සිදුවෙමින් පවතින අතර මෙම ආසාදිතයන්ගෙන් එකතු කරගත් විස්තර වාර්තා විශ්ලේෂණය කිරීමේදී ඔවුන්ගෙන් හරි අඩකට වැළඳී තිබුණේ කොරෝනා ආසාදනය බව අනාවරණය වී තිබෙන බව මහාචාර්ය ස්පෙක්ටර් සඳහන් කර තිබේ.

දැනට ලොව පුරා රටවල් 100කට අධික සංඛ්‍යාවකට පැතිර ගොස් ඇති ඔමික්‍රෝන් වෛරසය පිළිබඳව සඳහන් කර ඇති මහාචාර්ය ස්පෙක්ටර් එම වෛරස් ප‍්‍රභේදය ආසාදනය වූවන්ට මුලදී සුළු රෝග ලක්ෂණ මතු වුවද ඇතැමුන්ට එය දරුණු සංකූලතා මතු කළ හැකි බව අවධාරණය කර තිබේ. ඔමික්‍රෝන් ප‍්‍රභේදයට මේ වන විට එක් ලක්ෂ හතළිස් හතරදහසක් පමණ දෙනා දෛනිකව ගොදුරු වන බව අනාවරණය වී තිබෙන අතර මේ සම්බන්ධයෙන් සෑම රටක්ම සිය ජනතාව කඩිනමින් නිසි පරිදි දැනුවත් කිරීමෙන් ජීවිත රැුසක් බේරාගත හැකි වනු ඇති බව ඔහු සඳහන් කර ඇත.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment