සෙල්ලම් නැත වැඩ නයිස් මෙන්න “ටොම් බෝයිස්” කොල්ලන්ට අඳින කෙල්ලන්ගේ කතාව

698

පැරාපීලීයා තත්ත්වයක්
පිරිමි නැකතක ඉපදුණු ගැහැනු
‘චණ්ඩි අක්කලා’ සමාජයේ හැම තැනම

“ මෙම ව්‍යවස්ථාවට කරන්නට බැරි පිරිමියෙක් ගැහැනියක කිරීමත් ගැහැනියක පිරිමියෙක් කිරීමත් පමණකැයි” රාජ්‍ය ව්‍යවස්ථාව පිළිබඳව වර්ණනා කරමින් වරක් අප රටේ දේශපාලනඥයෙකු ප්‍රකාශ කළ බව අපි සැවොම දනිමු. ඇත්තටම එය එම ව්‍යවස්ථාවට පමණක් නොව වෙනත් කිසිම අයෙකුට වුවද කරන්නට තබා හිතන්නටවත් බැරි දෙයක් බව බොහෝදෙනා සිතුවත් උප්පත්තියෙන්ම තමුන් ලද පිරිමිකම හෝ ගැහැනුකම යටපත් කර විරුද්ධ ලිංගිකයෙකු මෙන් හැසිරෙන, රඟපාන අය අද අපට සමාජය තුළ නිතර මුණගැසේ. එවන් අය අතරින් ගැහැනුන්ට අඳින පිරිමින් නොහොත් කාන්තා වෙස් ගෙන කාන්තාවන් මෙන් හැසිරෙන පිරිමින් ගැන අපි මෙයට පෙර දිනෙක සමාජ විමර්ශන ලිපියෙන් කතා කර ඇත්තෙමු.

එය දුටු සමහර ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ සමිති, සංගම්, සංවිධාන, ආයතන සහ වෙබ් අඩවි දණ්ඩෙන් පහර කෑ නාගයින් එසේත් නැත්නම් ගල්වැදී ඇවිස්සුනු වදයකින් එළියට පියඹා එන දෙබරුන් මෙන් අපට විවිධ මාධ්‍ය ඔස්සේ එලව එලවා පහර දෙන්නට පටන් ගති. සමලිංගික සේවනය ප්‍රවර්ධනය කරන, එයට උඩගෙඩි දෙන සම කාමුකත්වය යනු හොඳ සාධාරණ දෙයක් බව කියන සමහර වෙබ් අඩවි අපව ඉතා තදබල ලෙස විවේචනය කරමින් අපට චෝදනා කළේ අප විසින් එම අයගේ මානුෂීය අයිතීන් උල්ලංඝනය කර ඇති බවයි.

බහුතරයක් සිංහලයන් සහ බෞද්ධයන් වෙසෙන මෙම ධර්මද්වීපයේ කුමනාකාර හෝ වැරදි වැඩ සිද්ධවුවත් සමලිංගික සේවනය යනු බොහෝදෙනා විසින් පිළිකුලෙන් ඉවතලන අපුල දෙයක් බව අප කිවයුතු මනාය. පංචසීලයේ එන කාමයේ වරදවා හැසිරීම යන්නට මෙම සමලිංගික සේවනයද අයිති වන බව අපි දනිමු.

ඉස්ලාම් හා හින්දු දහමේ මෙන්ම කිතු දහමට අනුවද සමලිංගික සේවනය තහනම් දෙයකි. පුරුෂයන් සමග පුරුෂයන් හැසිරීමද කාන්තාවන් සමග කාන්තාවන් හැසිරීමද මහත් පාපයක් බව ශුද්ධ ලියවිල්ලේ මෝසස් විසින් ලියන ලද නීති සංග්‍රහයේ හෙවත් පංච පුස්තකයේ පවසයි. එවන් අය අල්ලා එවේලේම ගල් ගසා මරන්නට මෝසස් විසින් අණකර තිබුණි. එසේම සිපිලිස්, ගොනෝරියා හෝ ඒඩ්ස් ආදී විවිධ නම් වලින් දැන් හැමතැන ලිංගාශ්‍රිත සමාජ රෝග වලට මුල මෙකී සමලිංගික සේවනය බව ශුද්ධ ලියවිල්ල වන බයිබලයේ රෝම පොත මෙසේ පවසයි.

“ඔවුන්ගේ ස්තශ්‍රීහු ස්වාභාවික පුරුෂ සේවනය වෙනුවට තම තමන් අතර අස්වාභාවික ස්තශ්‍රී සේවනයෙහි යෙදුනහ. එසේම පුරුෂයෝද ස්වාභාවික ස්තශ්‍රී සේවනය වෙනුවට තම තමන් අතර කාම තෘෂ්ණාවෙන් දැවුණෝය. පුරුෂයන් පුරුෂයන් සමඟ නින්දිත ක්‍රියාවල යෙදී තමන්ගේ දුරාචාරයට සුදුසු දඬුවම් ලැබූහ.

ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ වැරදි පිළිබඳ චක්‍රගත ප්‍රකාශනයේ 365 වගන්තියේ සහ 365 (අ) වගන්තියේ සඳහන් වන අන්දමට අස්වාභාවික වැරිදි සහ පුරුෂයන් අතර තදබල අස්වාභාවික ක්‍රියාලෙස හඳුන්වන්නේ මේවාය. වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගත හැකි ඇප නොදෙන අවුරුදු දහයකට වැඩි සිරදඬුවමක් මේ සඳහා අධිකරණයෙන් නියම කළ හැක. ගැහැනුන් මෙන් හැසිරෙන පිරිමින් ගැන මෙන්ම පිරිමින් මෙන් හැසිරෙන ගැහැනුන් ගැනද බොහෝ දේ අප විමර්ශනය කර ඇත්තෙමු. ඒ බොහෝ දේ පොදු පුවත් පතකින් කිව නොහැකිය. නමුත් නොකිය හැකි දේ ඉවත් කර ප්‍රසිද්ධියේ කිවහැකි ඒ අයගේ සමාජ ජීවිතය, ඇඳුම, පැළඳුම, භාෂා විලාසය, ආකල්ප ආදී දේ ගැන කතා කරන්නට මා තීරණය කළේ කවර හෝ අවස්ථාවක ඔබට එවන් අයෙකු මුණ ගැසුණොත් ඔවුන් කැමැති නම් ඔවුන්ව යළි සම්මත ප්‍රවාහයට හරවාගැනීම සඳහා ඔබට පහසු වන පිණිසත් යම් හෙයකින් ඔබේ දියණිය හෝ සොයුරිය සාමාන්‍ය ජන සම්මතයෙන් මිදී අසම්මත ලෙස විරුද්ධ ලිංගිකයෙක් මෙන් හැසිරෙනවා නම් එකී තත්ත්වය තේරුම් ගැනීමටත්, ඇයව ඉන් මුදා ගැනීමටත්ය.

අප වැනි ආසියාතිකයන් බහුතරයක් මෙය අසම්මත තත්ත්වයක් ලෙස දැක්කත් යුරෝපය, අමෙරිකාව, කැනඩාව වැනි රටවල සමලිංගික සේවනය සහ ලිංග මාරුකිරීම ගැන සිතන්නේ සාමාන්‍ය හෝ මානව අයිතිවාසිකමක් ලෙසිනි. මා කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ කිංස්ටන් නගරයේ පිහිටි ක්වීන්ස් විශ්වවිද්‍යාලයේ උගද්දී එහි මානව විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරියක් ලෙස සේවය කළ කැනේඩියානු කතකගේ නව යොවුන් එකම දියණිය අසාමාන්‍ය ලෙස කොල්ලෙකු විලස අඳින පළඳින අයුරුත්, තවත් ඇයගේ වයසේම යුවතියක් සමඟ ප්‍රසිද්ධියේ ප්‍රේමාලිංගනයේ යෙදෙන අයුරුත් දුටු අප හිතවත් ඉන්දීය සිසුවියක් එකී කථිකාචාර්යවරියගෙන් ඉතාම යටහත් ලෙස පෞද්ගලිකව එයට කරුණු විමසා සිටිද්දී ඇය ප්‍රසිද්ධියේම කියා සිටියේ විරල වුවත් එය එතරම් ගණන් ගත යුතු කරුණක් ලෙස ඇයත්, එම රටේ අන් අයත් නොදකින බවත්, එසේ හැසිරීමට ඕනෑම අයෙකුට අයිතියක් සහ ස්වාධීන කැමැත්තක් තියෙන බවත්ය.

අසාමාන්‍ය මනෝ විද්‍යාවේ (Abnormal Psychology) උගන්වන අසම්මත චර්යාවක් (Sexual Disorders) වන පැරපිලියාව (Pharaphilias) නම් තත්ත්වයට මෙකී ස්තශ්‍රීන් හෝ තරුණියන් ඇතුල් වෙයි. ක්‍රියාකාරී ලෙස ශාරීරික කටයුතු වල නොයෙදුණත් ඔවුන් බොහෝ විට හැසිරෙන්නේ, ක්‍රියාකරන්නේ, ඇසුරු කරන්නේ විරුද්ධ ලිංගිකයන් නොව ස්වපාර්ශවයේ අය සමඟ පමණි. ලෙස්බියන්ස් (Lesbian) ලෙසින් පසුවට වර්ධනය වන මෙම ක්‍රියාවලියේ මුල්ම අවධිය සමහර විට ටොම් බෝයි (Tom boy) හෙවත් “දඟකාර කොලු කෙල්ල” තත්ත්වයෙන් පැවැතිය හැක. ටොම් බෝයි යනු අප සමාජයේ දකින්නට ලැබෙන කොල්ලන් මෙන් අඳින, හැසිරෙන, දඟලන, දුව පනින, ගස් නඟින, දඟකාර කෙල්ලන්ට කියන වචනයකි. සෑම ටොම් බෝයි කෙනෙක්ම අනාගතයේ සමලිංගික සේවනයට යොමු වන අසම්මත චර්යා රටාවක් සහිත පිරිමි ගෑනියෙක් වන බවට කාටවත් නිගමනය කළ නොහැක. කුඩා අවධියේ කොණ්ඩය කොටට කපාගෙන, කොට කලිසම් අඳිමින්, ගස් නැග ගඩාගෙඩි කඩමින්, හරක් දක්කමින්, කොලු චරිත රඟපෑ කෙල්ලන් අද බොහෝම චාම් ලෙස සාරියෙන්, ඔසරියෙන් සැරසී හොඳ රස්සා කරමින් විවාහ වී, දරු මල්ලන් ලැබ, සමාජයේ ආදර්ශමත් අයුරින් දිවි ගෙවනු අපට දකින්නට ලැබේ. අද අප රටේ සිටින ජනප්‍රිය නිළියන්, වෛiවරියන්, නීතිඥවරියන් දේශපාලනයට බට කතුන් කීපදෙනෙක්ම තම අතීතය ගැන කියද්දී තමා කුඩාකල ගත කළේ විසේකාර කොල්ලෙකු ලෙසින් බව කියනු මා අසා ඇත.

බොහෝ කාලයක් තිස්සේම මාද මෙකී කුඩා ටොම් බෝයිස්ලා සමග ලංවී ඔවුන් සමඟ සෙල්ලම් කරමින් ඒ අය ගැන නිරීක්‍ෂණය කර ඇත්තාසේම වයසට යන විටත් පිරිමි මෙන් හැසිරෙන, ඒ වගේ අඳින නමුත් වැඩිපුරම ගැහැනුන් සමග පමණක් ගනුදෙනු කරන කාන්තාවන් ඇසුරු කර තොරතුරු සොයාගෙන ඇත්තෙමු. එවන් බොහෝ මිතුරියෝ මට තවමත් සිටිති. අප මෙහිදී අදහස් කරන්නේ විවිධ හෝර්මෝන තත්ත්වයන් යටතේ පිරිමින් මෙන් කතා කරන, අත පයේ මවිල් වැඩුණු, හැඩි දැඩි අඟ පසඟ ඇති කාන්තා පාර්ශවයන් ගැන නොව ස්ව කැමැත්තෙන්ම බාහිර ඔපය පවා වෙනස්කර ගෙන පිරිමින් මෙන් හැසිරෙන්නට වෙර දරන එසේ කරන ගැහැනුන් ගැනය.

ඇඟලුම් සහ නිමි ඇඳුම් ව්‍යාපාරයට සෘජු දායකත්වයක් මගේ භාර්යාවට ඇති නිසා මටද සමහර විට ඇයගේ ව්‍යාපාර ස්ථානයේ කාලය ගත කරන්නට සිදුවෙයි. රෙදිපිළි මිලදී ගැනීම සඳහා එතැනට එන පාරිභෝගිකයන් වන බාල, මහලු, තරුණ, ළමා ළපටි දෙපාර්ශවයේම අය මට එහිදී බොහෝ දේ උගන්වති. ඇත්තටම සමාජ විමර්ශන කටයුතු වලදී විවිධ පුද්ගල භාවයන් හඳුනා ගැනීමටත්, ඔවුන්ගේ ආකල්ප සහ හැසිරීම් රටා නිරීක්‍ෂණය කරන්නටත් මෙම ස්ථානය මට බොහෝ විට උපකාරී වෙයි.

ඇඳුම් මිලදී ගැනීම සඳහා මාසයකට වරක් අනිවාර්යයෙන්ම මෙහි එන එක් පවුලක් මම දනිමි. ඒ තුරුණු දෙමාපිය යුවළට නව යොවුන් පුතෙක් සහ ඉතාම මෑතකදී මල්වර වුණා යැයි සිතිය හැකි ගැටිස්සියක් සිටී. පුතා තමාට රිසි ගැළපෙන ඩෙනිම් කලිසම්, බැගී ෂෝට් ආදිය තෝරාගනිද්දී දියණිය ඉල්ලන්නේද එවැනිම පිරිමි ඇඳුම්ය. ඇය කිසිදාක අන් ගෑනු ළමයින් ආසාවෙන් අඳින බෝරිච්චි මල් ගවුම්, සායවල්, මල් වැටුණු කාන්තා ඩෙනිම් කලිසම් හෝ තුන්කාලේ කලිසම් අඳින්නේ වත් ඉල්ලන්නේ වත් නැත. ඇයට අවශ්‍ය රස්තියාදුකාරයන් වැනි අය අඳින අරුමෝසම් වැඩ දැමූ සාක්කු කලිසම්, ඩිසයින් වැඩි ටීෂර්ට්, කැප්, කොල්ලන්ගේ ෂෝර්ට්ස් ආදියයි. මෙහිදී කිසිම පැකිළීමකින් තොරව ඇයගේ මව සහ පියා දියණිය ඉල්ලන පිරිමි ඇඳුම් මිලදී ගනී.

“කිව්වට අහන්නේ නැහැ මහත්මයා. අපේ දුව ඉපදිලා තියෙන්නේ කොලු නැකතක මයෙ හිතේ! එහෙම නැත්නම් ගිය ආත්මෙ කොල්ලෙක් වෙන්න ඇති..! කොල්ලෙක් වගේමයි අඳින්න ආසා, එයා උත්සාහ කරන්නේ ඒ වගේ හැසිරෙන්න”

තම දියණියගේ ආසාවන් ගැන මෙම මව ඉතාම සැහැල්ලුවෙන් එසේ කීවද අනාගතයේ තම දුවට ඇති තර්ජනය ගැන මා ඇයටත් ඇගේ පියාටත් තේරුම්කර දීමට තීරණය කළෙමි.

ඉතාම අපහසුවෙන් පැය භාගයක් පමණ කළ අරගලයකින් පසු මා ඒ දියණියව කතාවට අල්ලාගෙන ඇගේ කතාවට සවන් දුනිමි. ඇය කියන අයුරින් ඇගේ ජීවිතේ වීරයා වී සිටින “ටයිනි අක්කා” අනුගමනය කරන්නට ඇති ආසාව නිසා මුලදී ඇය මෙසේ අඳින්නට, පළඳින්නට, ඇවිදින්නට, කතා කරන්නට පෙළඹී ඇත.

“ටයිනි අක්කා තමයි අපේ නෙට්බෝල් කෝච්, හරිම ස්ට්‍රෝං, එයාගෙ කොණ්ඩෙ හරියට ජැමෙයිකන් සොකර් ප්ලේයර් කෙනෙක්ගෙ වගේ. අත පය මාර ෆිට්, කාටවත් බය නැහැ. එයා තමයි මගේ හීරෝ, ඒ නිසා මං කැමතියි එයාව ෆලෝ කරන්න.”

දැන් කාලේ ඉන්නා සංකර නාගරික කෙලි කොල්ලන් බහුතරයක් කතා කරන සිංහල හා ඉංගශ්‍රීසි වදන් මුසු වුනු අමුතු විදියේ කොලු භාෂාවකින් ඇය ඇගේ ඇතුළාන්තය හිරකරගෙන සිටි පෙට්ටගමේ අගුලු මුදාහැරිය අතර ඇය කී තව තව දේවලට අනුව ටයිනි අක්කා සහ ඇය අතර තව බොහෝ දේ සිදුව ඇති බවත් මට සිතාගත හැකි විය.

“හැමදාම ප්‍රැක්ටිස් ඉවරවෙලා ටයිනි අක්කයි මමයි තමයි අන්තිමට ග්‍රවුන්ඩ් එකෙන් එළියට එන්නේ. ටොයිලට් එක පිටිපස්සට ගිහින් සමහරදාට එයා සිගරට් එකක් එහෙමත් බොනව, මට ආසයි උගුරක් බොන්න, එත් එයා බොන්න දෙන්නෙ නැහැ.”

මෙම කතාව මේ අයුරින්ම මා එදා එම දැරියගේ දෙමාපියන්ට කියා ඔවුන්ගේ සිත් භ්‍රන්ත කරන්නට නොගිය අතර සිදුවන දේ ගැන නොකියා කියා තම දියණිය ගැන සොයාබලා වහාම බාහිර වැඩ, කශ්‍රීඩා ආදිය අඩුකර ඇගේ අධ්‍යාපන කටයුතු පැත්තට වැඩි අවධානයක් ලබාදෙන ලෙස උපදෙස් දුනිමි.

“අපි ඒ පැත්ත ගැන හිතුවෙම නැහැ. අපට ඕනි වුණේ දරුවන්ගේ සතුටයි..! කවුද දන්නෙ ලෝකෙ මෙච්චර භයානකයි කියල. මහත්තයට පින්සිද්ධ වෙන්න දැන් දරුව ගොඩක් වෙනස්. අපි එයාව අරයගෙන් කඩල වෙන ඉස්කෝලෙකට දැම්ම”

මෑතකදී මට හමුවූ ඒ මව එසේ තුති කළ අතර ප්‍රඥාවන්ත ලෙස වැඩකිරීම තුළින් අසම්මත මාර්ගයේ යන දරුවන් යළි සම්මත මගට ගත හැකි බව ඇය ඔප්පු කර පෙන්වා ඇත. ඈත ගමකින් නගරයට පැමිණ සිය ගැමි අක්මුල් සිඳගෙන නගරයේ විෂම බව නොදැන නව දලු දාන්නට වෙර දරන එකී යුවළ වැනි තව බොහෝ අය අපට හමුවෙයි.

මා දකින තවත් මෙවැනි මවක් සහ දියණියක් සිටී. ඒ මව කරන්නේ දියණිය ඉල්ලන්නටත් පෙර ඇයට පිරිමි ඇඳුමක් සොයාදීමයි. මා එකල මෙම තත්ත්වයන් ගැන කරුණු සොයමින් සිටි නිසා වක්‍ර මාර්ගයෙන් එකී මව සමගද කතාවට වැටී කරුණු සොයන්නට වීමි.

“අපිට පුත්තු නැහැ මිස්ටර්. මෙයා තමයි කෙල්ලො තුන්දෙනාගෙන් බාලයා. ඒ කියන්නෙ අපේ රත්තරන් පුතා” කියා ඇය ආදරයෙන් එම සුරතල් දියණියගේ හිස අතගෑවාය.

නව ආරේ කොලු කුරුට්ටෙක් ලෙස හිස බාගෙට බූ ගාගෙන සිටි ඒ දැරිවියගේ කන් පෙති දෙක කිසිදාක කරාබුවක පහස අත්විඳ තබා හිලක් විදලාවත් නැති බව පෙනේ. පිරිමි ළමයි දාන සපත්තු, කොට කලිසම හා අත් නමන ලද කමිසය ඇයට ගෙන දෙන්නේ ඇත්තටම පුතෙකුගේ පෙනුමකි.

හැදෙන දරුවන්ගේ ආකල්ප පමණක් නොව, පිට පෙනුම පවා වෙනස් කිරීම තුළින් වැඩිහිටියන් කරන්නේ එම දරුවන්ට අගතියක් විනා සුගතියක් නොවන බව තේරුම් ගැනීමට ඒ මව තාම අපොහොසත් සෙයියාවකි. ඇය මගෙන් උපදෙස් නොපතන්නියක බව මට මුල් වචන කීපයෙන්ම වැටහුනි.

කොල්ලන්ට අඳින ලාබාල කෙල්ලන්ගෙන් මෙම ලිපියේ මුල් කොටස පුරවමින් ඉන් ප්‍රවේශයක් ලබාගන්නට මා අදහස් කළේ වැඩි වයසට යන්න යන්න තත්ත්වය වඩා බැරෑරුම් වන බැවිනි.

වැඩිහිටියන් නැණවත්නම් අවම වශයෙන් සාමාන්‍ය දැනීම හෝ තිබේ නම් නියපොත්තෙන් කඩා ගන්නට හැකිදෙය පොරවකින් කැපිය යුතු තත්ත්වයට ගෙන ආ යුතු නැත.

ජානමය බලපෑම් වලට වඩා මෙවන් තත්ත්වයක් ඇතිවීමට බොහෝ ලෙස බලපාන්නේ සමාජ බලපෑමයි. අන් අයව අනුගමනය කරන්නට යෑම හෝ ඒ සඳහා බලහත්කාරයෙන් හුරුකරවා ගැනීමට කටයුතු කිරීමයි. කුමන හෝ හේතුවක් නිසා තම දරුවා අසම්මත දෙයක් කරන්නට පෙළඹෙද්දී එයට තවත් අනුබල නොදී මුල් කාලයේදීම තරවටු කර හෝ එය නවත්වා ගැනීම යහපත් වැඩිහිටියෙකුගේ වගකීමයි. මෙහිදී දුකට කරුණ වන්නේ දැන් ජීවත් වන බහුතරයක් දෙමාපියන්ද යථා තත්ත්වය හෝ සමාජය පිළිබඳ මනාලෙස නොදැන සිටීමයි.

“පියකරු තරුණියක දෙස නොබලන තරුණයෙක් සිටීනම් ඔහු කුහකයෙකි. නැත්නම් රෝගියෙකි” යනුවෙන් සමාජයේ කියමනක් පවතී. අද බහුතරයක් තරුණයෝ පියකරු නොවූවත් කැත නැත්නම් ඕනෑම කෙල්ලෙක් දෙස බලන්නට කැමැතිය. නමුත් කොල්ලන් මෙන් හැසිරෙන පිරිමි ඇඳුම් අඳින පිරිමින් මෙන් කතා කරන කෙල්ලන්ට කොල්ලන් ආසා නැත. ඔවුන් ඒ අය පිළිකුල් කරති අපහාසයට ලක් කරති. අප සිසුවන්ව සිටි කාලයේ පාසල් බස් රියේ පාපුවරුවේ වවුලන් මෙන් එල්ලී යද්දී කාන්තා පාසල් අසල බස් නැවතුමේ සිටගෙන සිටින පිරිමි ලකුණු බලෙන් ආරෝපණය කරගෙන ඇති සිසුවියන්ට කරන විහිළු, අපහාස අපට තාම මතකය. “මල්ලි නංගි” කියා අන්වර්ථ නාමයකින් අති ප්‍රසිද්ධ යුවතියක් එකල බම්බලපිටිය කාන්තා පාසලක උගත්තාය. ඇය දිගටම අනුගමනය කළේ පිරිමි ආවේශයකි. පාසල් සමය නිමවූ පසු රාතශ්‍රී සමාජශාලාවල, හෝටල් වල මෝටර් රේස් පැදීමට වැනි දේට වැඩි ආශාවක් දැක්වූ ඇය පසුව ගංජා වලටත් ඉන් අනතුරුව හෙරොයින් පානයටත් යොමු වුණාය. ධනවත් පවුලක උපන් ඇය අද වන විට සවසට ගාලු පාරට බසින වැඩි ඉල්ලුමක් නැති වීථි ගණිකාවකි. ඇයට වැඩි ඉල්ලුමක් නැතිවීමේ මූලික හේතුව වන්නේ ඇගෙන් දිස්වන පිරිමි පෙනුමයි. තාම ඈ අඳින්නේ පිරිමියෙකු ලෙසිනි. පිරිමියෙකු මෙන් පෙන්වීමට ඇයට ඇති රුචියට හේතු කිමදැයි වරක් මා ඇසූ විට ඇය සාපකරමින් දොස් පැවරුවේ ඔවුනගේ නිවසේ ඉදිරිපස කාමරයක් කුළියට ගෙන සිටි තනිකඩ අවිවාහක ඥාති කාන්තාවකටය. ඇය මෙම තරුණියට චිත්‍ර හා වයලීන් වාදනය උගන්වා ඇත.

“චණ්ඩි අක්කා” අපට හමුවන්නේ කැසිනෝ ශාලාවලදීය. සැර පරුෂ නියම පිරිමි වේශයක් ඇති ඇය වෘත්තියෙන් මෝටර් රිය පැදවීම පුහුණු කරන්නියකි. පැරණි මොරිස් මයිනර් වර්ගයේ කාර් කීපයක් සහ වෑන් දෙකක් යොදාගෙන ලර්නස් එකක් පවත්වාගෙන යන ඇය සුවිශේෂී වන්නේ නගරයේ සුකුමාල තරුණ ගැහැනුන්ටත් තරුණියන්ටත් වාහන පදවන අයුරු ඉගැන්වීමටය. ඒ සියලුමදෙනා චණ්ඩි අක්කාගේ ගොදුරු බවට පත්වන බව තතු දන්නෝ පවසති. බූට්ස් සපත්තු පැළඳ, පිරිමි කලිසම් ෂර්ට් ඇඳ, රෞද්‍ර වේශයෙන් හැමදාම රාත්‍රියේ යක්කු ගස් යන වෙලාවට රූමත් තරුණියක් සමඟ (එක එක දාට එක එක තරුණියන්ය) කැසිනෝ ශාලාවට එන මැය “රුලේ මේසයේ” ඔට්ටු අල්ලන ගමන්ම හොඳ හැටි විස්කිවලින් සප්පායම් වෙයි. එක නිවෙන්නට එක සිගරට් පත්තු කරයි. සූදු කෙළින ගැටයන් හා සුපවයිසර්වරුන් සමඟ සණ්ඩු සරුවල් ඇතිකර ගනී. එහෙත් වමතින් කිටි කිටියේ ඇඟට හිරකරගෙන ඉන්න තරුණියව මොහොතකටවත් අත් අරින්නේ වත් ඒ අය සමඟ අන් අයට කතා කරන්න දෙන්නේ වත් නැත. චණ්ඩි අක්කා ආවදාට ඒ කැසිනෝ එකේ හැමදාම වලියකි. ඇය වාතයක්ම බව බොහෝ සේවකයෝ පවසති.

රාතශ්‍රී සමාජ ශාලා යන උසස් යැයි සම්මත පන්තිය නියෝජනය කරන චණ්ඩි අක්කලා එසේ කැසිනෝ යද්දී කරුළපන කූඹිකැලේ “චූටක්ක” ගෙන දෙන්නේ වෙනත් වර්ගයේ පෙනුමකි. ඇයගේ ප්‍රියතම ඇඳුම සරමක් සහ අත්දිග කමිසයයි. ඇත්තටම මේවා වස්ත්‍ර නොව කඩමලුය. ඇය සරම ඇඳගෙන ඉන්නවාට වඩා පිරිමියෙක් මෙන් එය කරේ පටලවාගෙන ඇවිදියි. වලාපොට ගසාගෙන මේසන් බාසුන්නැහැලාට අත් උදව් දෙයි. විල් බැරැක්ක තල්ලු කරයි. චණ්ඩි අක්කා මෙන්ම චූට අක්කාත් දුම්පානය කරයි. අරක්කු බොයි. ඊට අමතරව ගංජා සහ කුඩුද උරයි. ඇය නිතර නිතර සිරබත්වල රස බලන බන්ධනාගාරයට ආගන්තුක නොවන සිර කිරිල්ලියකි. සිරගෙදරින් නිදහස්ව එන විට චූට අක්කා තනිවම එන්නේ නැත. ඇය තහඩු ගසා වටකර ඇති ඇගේ ලෑලි මාලිගාවේ තනිය මකන්නට මෙන් කොහෙන්දෝ සොයාගත් තරුණියක්ද කැන්දාගෙන එයි. සමහරදාට ඇය නිදහස්ව ඇවිත් දින කීපයකින් මෙවැන්නියක් චූටා අක්කාව සොයාගෙන කූඹි කැලයට එයි. බොහෝ විට මෙසේ එන්නේ චූට අක්කාට සිරගෙදරදී හමුවූ තවත් නන්නත්තාරේ ගොස් හව්හරණක් නැතිව ගිය අසරණියකි. නැතිනම් මතට යොමුවූ එකියකි. එවැනි අයව තම කාමරයේ රඳවා තබා චූට අක්කා කුලී වැඩක් කර හෝ කන්න බොන්න අරන් එන අතර ඇගේ ඇඟ සම්බාහනය කර ගැනීම, කකුල් මිරිකා ගැනීම ආදී ඒ අය ලවා ලෑලි කාමරයේ දොරකඩ අබියසදීම ප්‍රසිද්ධියේම කරගනී. ඒ කෙසේ වෙතත් මොවුන්ගේ පවුල් කෑම වැඩිම වුණොත් සති කීපයකි. කොස්සෙන් හෝ දොරට හේත්තු කරන පොල් ලීයෙන් පන්න පන්නා පහරදෙමින් එලවන ලද තරුණියන් ගැන අදටත් අසල්වැසියෝ හිනාවෙමින් කතා වෙති.

චණ්ඩි අක්කා මෙන්ම චූට අක්කාත් පිරිමියෙකු මෙන් සිය කමිසයේ ඉදිරිපස බොත්තම් දෙක පියවන්නේ නැත. කිසිදාක බැනියම් හෝ යට සායවල් අඳින්නේ නැත. අන් කාන්තාවන් මෙන් තිසර පටවල් වලින් ළැමට උත්තුංග බවක් ලබාදෙන්න උත්සුක නොවෙයි. කෙසේ වෙතත් නිතරම පිරිමියෙක් මෙන් සරමට යටින් කොට කලිසමක් ඇඳ සිටිනු දකින්නට ඇත.

හිරගෙවල් වල කාන්තා අංශ වලද මෙවන් චණ්ඩි අක්කලා චූටක්කලා බොහෝය. ගෑනු වාට්ටුවල “අයියලා” මොවුන්ය. මත්ද්‍රව්‍ය ජාවාරම, මුදල් පරිහරණය ආදි මාෆියාවන් පවතින්නේ මේ අයගේ අතයි. කළු නූල්, රිදී දංවැල්, මාල එල්ලාගෙන, අතේ වළලු ආදිය පුරවාගෙන සිරගෙදර තුළ කටෙන් රජ කරන “කොල්ල කෙල්ලන්” මා අනන්තවත් දැක ඇත. කාන්තා අංශයේ එක් කාලයක් මෙවැනි අය කීපදෙනෙක්ම සිටියාය. ඔවුන් එකල හිරගෙදර තුළ පූසන්, පරවියන් වැනි සතුන් ඇති කළාය. සැබෑ පිරිමින් ලෙස ඇඟිලි දෙකක් වක්‍රව නමා දිව යටින් තබා විසිල් පාරක් ගසා ඈත අහසේ තිත් කා සිටින පරවියන් බිමට බාගන්නා කාන්තා අංශයේ සුදම්මා නම් තරුණියක දැක මා මුල් කාලයේ විස්මිත වූ අයුරු මතකය. මෙවැනි අයව හිරගෙදර ඇමතන්නේ අම්මා, අයියා, තාත්තා, ඩැඩී, පපා, මමා, බොස්, චීෆ් ආදී ගෞරවාන්විත නම් වලිනි. අප කළ විමර්ශන වලට අනුව මෙවැන්නියෝ සමලිංගික සේවයට වැඩි රුචියක් දක්වති. කුමන හෝ වරදක් කර හුරුබුහුටි කෙල්ලක් අලුතින් බන්ධනාගාර ගතවූවොත් ඒ අයව කූඨ ක්‍රමෝපායන්ගෙන් හෝ බලහත්කාරයෙන් හෝ තම ග්‍රහණයට ගන්න මොවුන් ඉතා ශූරය. බුලත්විට, දුම්වැටි ආදියට ලොල් තරුණියන් ඒවා ලබාගන්නා පිණිස මේ “කොල්ල කෙල්ලන්ගේ” ගොදුරු බවට පත්වෙයි.

මෑතකදී මා දින කීපයක් වවුනියාවේ සරණාගත කඳවුරු ආශ්‍රිතව සහ සිදම්බරපුරම්හි ළමා නිවාසයක සංචාරයක යෙදුනු අතර, නැවත එන අතරතුරේදී මැදවච්චිය, ආරක්‍ෂක මුරපොළේ මද වේලාවක් ගත කරන්නට අවස්ථාව ලදිමි. එහිදී මිතුරු වූ සෙබළුන් සමග මා මෙවන් “කොල්ල කෙල්ලන්” පිළිබඳ කරන විමසුම ගැන කරුණු බෙදාගත් අතර ඉන් එක් අයෙක් මට කීවේ මෙම මුර පොලෙන්ද එවන් එකියක් දෙකක් ඉඳහිට එහා මෙහා යන බවයි. ඒ අය අසාමාන්‍ය බව දැනගෙන ඇත්තේ ඔවුන්ගේ ගමන් මලු පරීක්‍ෂා කරද්දී එහි තිබූ පිරිමි යට ඇඳුම් ගැන සැක සිතී ප්‍රශ්න කළ විටයි.

“අපි හිතුවෙ බොස් ඒ කෙල්ල කාටහරි අරන් යන ඇඳුම් හරි හොරකම් කරපු පිරිමි ඇඳුම් හරි කියලයි. බලාන ගියාම ඒකි කියපි… නැහැ. මේ මං අඳින ඒවා කියල. එදා දවසම අපි කතා කළේ මේ ගැනයි”

එළිපිට කතා කරන්නට එතරම් යෝග්‍ය නොවූ මාතෘකාවක් වූවත් අසාමාන්‍ය මනෝ විද්‍යාවට අනුව මෙකී තත්ත්වය අසම්මත චර්යාවකි. වැඩිය ඔඩු දුවන්නට පෙර ළාබාල කාලයේම හොඳින් උපදේශනය ලබාදීම තුළින් එම දැරියන්ව සම්මත මාර්ගයට ගත හැකි බව අපේ විශ්වාසයයි. එසේ නොකර එවන් දේ කිරීම සඳහා තව තවත් දිරිදීම හෝ පෙළඹවීම තුළින් ඇගේ ජීවිතය සමහර විට යන්නේ අන්ධකාරයට හෝ ආගාධයකටය. මෙවන් තත්ත්වයන් නිසා නිසි කලට විවාහ වන්නට නොලද තරුණියන් සහ විවාහ වූවත් සැමියාට නොරුස්සන පිළිකුල් තත්ත්වයට පත්වුණ අය ගැනද අපි දනිමු. ඔබ දන්නා ගැහැනු දරුවෙක් කුඩාකල සිටම මෙසේ පිරිමි ඇඳුම් ඇඳ කොල්ලෙකු මෙන් හැසිරෙන්නට තැත් කරන්නේ නම් පොරව අතට ගන්න නොතියා නියපොත්තෙන්ම එය කඩා දමන්නට උත්සාහ කරන්නේ නම් එය මහඟු පිනකි.

මිත්‍ර ශ්‍රී කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment