සෙලාන් බැංකුවේ තවත් පිරිසක් ‘ලීන් සික්ස් සිග්මා යෙලෝ බෙල්ට්’ සහතික ලබයි

68

සෙලාන් බැංකුවේ ලීන් සික්ස් සිග්මා යෙලෝ බෙල්ට්ස් (Lean Six Sigma Yellow Belts) වැඩසටහනේ දෙවැනි කණ්ඩායමේ සාමාජික සාමාජිකාවෝ 19 දෙනෙක් පසුගියදා තම පුහුණුව සාර්ථක ලෙස අවසන් කර සහතික ලබාගත්හ.

මෙම අවස්ථාවට සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රමේෂ් ජයසේකර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) මලික් වික්‍රමනායක, කාඩ්පත් ප්‍රධානී රුචිත් ලියනගේ සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරු (ව්‍යාපාර ක්‍රියාවලි ප්‍රතිසැකසුම්) රැන්මෝ වැන්ඩොර්ට් යන මහත්වරු ද සහභාගී වූහ.

තම ආයතනික මෙහෙයුම්වල කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් සෙලාන් බැංකුව විසින් 2019 වසරේදී, ලීන් සික්ස් සිග්මා වැඩසටහනේ යෙලෝ බෙල්ට් මට්ටම සඳහා සාමාජික සාමාජිකාවන් පුහුණු කිරීම ආරම්භ කරන ලදී. සේවා ලබාදීමට ගතවන කාලය අඩු කිරීම මගින් පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීම, සම්පත් කාර්යක්ෂම ලෙස භාවිතා කිරීම, වැරදි අවම කිරීම මගින් සේවා තත්ත්වය වැඩිදියුණු කිරීම, කාර්යමණ්ඩලයේ කාලය ඉතිරි කිරීම සහ තිරසාර ව්‍යාපාර වර්ධනය සඳහා පවතින හැකියාවන් පුළුල් කිරීම වැනි ප්‍රධාන පැතිමාන කිහිපයක් කෙරෙහි මෙම ව්‍යාපෘතිය තුළදී මූලික වශයෙන් අවධානය යොමු වී ඇත.

මෙම වැඩසටහනේ පුහුණු කිරීම් සිදුකරන ලද්දේ සෙලාන් බැංකුවේ පළපුරුදු සහ සහතික ලත් ලීන් සික්ස් සිග්මා මාස්ටර් බ්ලැක් බෙල්ට් සහ ලීන් සික්ස් සිග්මා බ්ලැක් බෙල්ට් පුහුණුකරුවන් විසිනි. අතිශය විධිමත් පුහුණුකරණ ක්‍රියාවලියක් ඔස්සේ, මට්ටම් කිහිපයකදී අනුමැතිය ලබාගත යුතු වන ආකාරයට මෙම වැඩසටහන සැලසුම් කර තිබේ. යෙලෝ බෙල්ට් පුහුණු වැඩසටහනේ සාර්ථකත්වයත් සමඟ, ගනුදෙනුකරුවන්ට සරල හා කාර්යක්ෂම විසඳුම් ලබාදීමට තම කාර්යමණ්ඩලය සතු හැකියාව තවදුරටත් පුළුල් කිරීම සඳහා, 2021 වසරේදී ග්‍රීන් බෙල්ට් පුහුණු වැඩසටහන් ද ආරම්භ කිරීමට සෙලාන් බැංකුව කටයුතු කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment