සෙලාන් බැංකුව රු. බිලියන 3.2ක බදු පසු ලාභයක් 2021 තුන්වන කාර්තුව අවසානයේදී වාර්තා කරයි

247

සෙලාන් බැංකුව 2021 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මාස 9ක කාලය තුළ රු. බිලියන 3.2ක බදු පසු ලාභයක් වාර්තා කරගැනීමට සමත් වී තිබේ.

මෙය පසුගිය වසරේ අදාළ කාලපරිච්ෙඡ්දයට සාපේක්ෂව 45% ක වර්ධනයකි. බැංකුවේ ශුද්ධ පොලී ආදායම මෙම වසරේ අදාළ කාලසීමාව තුළ 14.76% කින් වර්ධනය වී රු. මිලියන 17,068 මට්ටමට පැමිණ තිබේ. මෙරට බැංකු ක්ෂේත‍්‍රය COVID-19 නිසා ඇති වූ බලපෑම් වලින් ක‍්‍රමානුකූලව මිදෙමින් සිටින පසුබිමක් තුළ සෙලාන් බැංකුව පැහැදිලි වර්ධනයක් අත්පත් කරගනිමින් සිටින බවට මෙම ප‍්‍රතිඵල මනා සාක්ෂියකි.

සෙලාන් බැංකුව නිකුත් කර ඇති ණය ප‍්‍රමාණය රු. බිලියන 394 සිට රු. බිලියන 428 දක්වා 8.75% කින් වර්ධනය වී ඇත. මෙයට ප‍්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ, එක්තරා දුරකට ප‍්‍රතිමූල්‍ය ණය සහ අපනයන බිල්පත් ආදිය අඩුවීම නිසා කාලීන ණය, චක‍්‍රීය ආනයන ණය, උකස් සහ කල්බදු ආදියෙහි වර්ධනයක් ඇතිවීම ය. තවද බැංකුවේ වත්කම් පදනම රු. මිලියන 26,047 කින් ඉහළ ගොස් රු. මිලියන 583,755 ක් ලෙස වාර්තා වේ.

2021 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ මාස 9 ක කාලය තුළ සෙලාන් බැංකුවේ තැන්පතු පදනම රු. බිලියන 440 සිට රු. බිලියන 451 දක්වා වර්ධනය වී ඇත. සමස්ත අඩු පිරිවැය තැන්පතු ගිණුම් (CASA) ශේෂයන් එම කාලසීමාව තුළ 7.45% කින් ඉහළ ගිය අතර, එම කාලසීමාව අවසානයේ අඩු පිරිවැය තැන්පතු ගිණුම් අනුපාතය(CASA ratio) 34.61% ක් විය.

එමෙන්ම අදාළ කාලසීමාව තුළ ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම සම්බන්ධයෙන් 24.89% ක වර්ධනයක් වාර්තා කරගැනීමට සෙලාන් බැංකුව සමත් වී ඇත. ඇප සහ වෙළඳ මූල්‍ය ක‍්‍රියාකාරකම් වලින් ලැබුණු ආදායම් මෙම වර්ධනයට ප‍්‍රධාන වශයෙන් හේතු වී තිබේ. මූල්‍ය වත්කම් බැහැර කිරීමෙන් ලද ශුද්ධ ඉපැයුම්, විදේශ විනිමය හුවමාරු වලින් ලද ශුද්ධ ඉපැයුම් සහ අනෙකුත් මෙහෙයුම් ආදායම් වල එකතුව 2021 වසරේ 3 වන කාර්තුවේදී රු. මිලියන 1,979 කට ආසන්න වී ඇති අතර, වෙළඳ පොළ අගයන් අනුව විචල්‍ය වන මූල්‍ය උපකරණ වලින් ලද අලාභයන් සහ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වලින් ලද ප‍්‍රාග්ධන ඉපැයුම් අඩුවීම හමුවේ වුවද, හුවමාරු ආදායම ඉහළ යාම නිසා මෙම මට්ටම වාර්තා කරගැනීමට හැකියාව ලැබී ඇත.

වියදම් විධිමත්ව කළමනාකරණය කරගනිමින් ක‍්‍රියාවලි වඩාත් කාර්යක්ෂම බවට පත්කරගැනීම සඳහා නවීන ඩිජිටල් තාක්ෂණය භාවිතයට ගැනීම සහ තම ක‍්‍රියාවලි වැඩිදියුණු කිරීමට පියවර ගැනීම නිසා සෙලාන් බැංකුවේ වියදම් අදාළ කාලසීමාව තුළ 5.42% කින් ඉහළ ගොස්, රු. මිලියන 10,036 ක් ලෙස වාර්තා වේ. පොලී අනුපාතයන් අඩුවීම හේතුකොට ගෙන පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී පොලී ආදායම් සහ පොලී වියදම් පහළ ගොස් ඇති අතර, විශේෂයෙන්ම අඩු පිරිවැය තැන්පතු ගිණුම් ශේෂයන්හි වර්ධනය හේතුවෙන් පොලී වියදම් 29.62% කින් පහළ ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment