සෙවනගල ගොවියට උක් ගස තිත්ත වෙයි

443

දරු පවුල් නඩත්තු කරන්නේ අක්කර දෙකෙන් ලැබෙන ආදායමෙන්

පාරම්පරික ගොවිතැනට මෙන්ම ස්වයංපෝෂිත කෘෂි ආර්ථිකයකට හිමිකම් කියූ ශ‍්‍රී ලාංකීය ගොවියාට වර්තමානය වන විට අත්ව ඇත්තේ ඉතා ශෝචනීය තත්ත්වයකි. රටේ සියලූ වැසියන්ගේ පරිභෝජනයට අවශ්‍ය එළවළු ටික, පලතුරු ටික, සහල් ටික, සීනි ටික ඇතුළු කෘෂි නිෂ්පාදන දහදුක් විඳ නිෂ්පාදනය කරනු ලබන්නේ ගොවියා විසිනි. නමුත් එලෙස රට වැසියා වෙනුවෙන් දහදුක් විඳින ගොවියාට අන්තිමේදී සිදු ඇත්තේ දැඩි දරිද්‍රතාවයෙන් යුතු කටුක ජීවිතයක් ගත කිරීමට මෙන්ම කෘෂි රසායන ද්‍රව්‍යවලින් ශරීරයට සිදුවන දැඩි හානි හේතුවෙන් අකාලයේ මිය යෑමට ය. ගෙවුණු දශකය තුළදී බිහිවූ කිසිදු පාලකයකු ගොවියා නඟා සිටුවීම වෙනුවෙන් කළ කැපකිරීමක් නොමැති තරම්ය. සිදුව ඇත්තේ ගොවියා නඟා සිටුවීම වෙනුවට ගොවියාගේ කෘෂි භෝග ටික මිලදී ගන්නා අතරමැදි කූට වෙළඳුන් පමණක් රජසැප විඳීම ම පමණි. ඒ අනුව බලන කල ගොවියාට ගොවිතැන එපා වීම සාධාරණය.

ගොවියාට ජීවත් වීම සඳහා නිසි ආර්ථික වැඩපිළිවෙළක් නොලැබීම, ගොවි නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් නොමැති වීම හා ඒ සඳහා වන උපකරණ හා අනෙකුත් අවශ්‍යතාවයන් සපුරා ගැනීමේදී අධික මුදලක් වැයකිරීමට ගොවියාට සිදුවීම යන කාරණා හමුවේ ගොවියා ගොවිතැනින් ඉවත්වෙමින් සිටිති. පොහොර ගැටලූව හේතුවෙන් ගොවීන් දැඩි පීඩාවට පත්ව ඊට එරෙහිව රට පුරා විරෝධතා පවත්වමින් සිටින මොහොතක සෙවනගල උක් ගොවීන්ද උක් කිලෝ එකකට රුපියල් දෙකක මිල වැඩිකිරීමක් ඉල්ලා උක් අස්වනු නෙළීමේ කටයුතුවලින් මේ දිනවල ඉවත්ව සිටිති. මේ පිළිබඳව සොයා බැලීමට උක් ගොවීන් සොයා පසුගිය දින අපි සෙවනගලට ගියෙමු.

සෙවනගල ගොවියට උක් ගස තිත්ත වෙයි

ලංකා සීනි සමාගමට අයත් සෙවනගල සීනි සමාගම 1986 වසරේදී ආරම්භ කර තිබේ. ලංකාවේ සීනි පරිභෝජනයෙන් 90%ක් බ‍්‍රසීලය, ඉන්දියාව, දකුණු අප‍්‍රිකාව වැනි විදෙස් රටවලින් ආනයනය කරනු ලබන අතර ඉතිරි 10% පමණක් මෙරටදී නිෂ්පාදනය කරනු ලබනවා. එලෙස දේශීයව සීනි නිෂ්පාදනය සඳහා මෙරට උක් ගොවියා දක්වන්නේ මහත් කැපකිරීමකි. සෙවනගල සීනි ආයතනය පසුගිය දෙවසර තුළදී උක් මෙටි‍්‍රක් ටොන් 546122ක් ඇඹරීම සඳහා ලබාගෙන ඇති අතර ඉන් සීනි මෙටි‍්‍රක් ටොන් 33910ක ප‍්‍රමාණයක් නිෂ්පාදනය කර තිබේ.

සෙවනගල ගොවිසෙත ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ඞී.ඞී. ජයතිලක මහතා මෙලෙස පැවසීය.

සෙවනගල ගොවියට උක් ගස තිත්ත වෙයි

සෙවනගල සීනි ආයතනය යටතේ හෙක්ටයාර 4000ක පමණ භූමියක ගොවි පවුල් 3500ක් උක් වගාව සිදුකර තිබෙනවා. එදා පටන්ම මේ උක් වගාව සිදුකරන ගොවීන් දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට ලක් වෙමින් සීනි ආයතනයේ පරිපාලකයන්ගේ පීඩාවට ලක් වෙමින් තමයි මේ උක් වගාව සිදුකරගෙන ආවේ. මේ සීනි ආයතනය රැකගන්න ඕනි නිසා ගොවීන් ලෙස අපි මෙච්චර කාලයක් කැපකිරීම් කළත් මේ ආයතනයට පත්ව එන නිලධාරීන් කවදාවත් උක් ගොවීන් දිහා බැලූවේ නෑ. මේ සීනි ආයතනය දියුණු කරන්න නම් පළමුවෙන්ම කරන්න ඕනේ උක් ගොවියා ශක්තිමක් කරන එක. නමුත් මේ එකදු පාලකයෙක් වත් ගොවියා ශක්තිමත් කළේ නෑ. ඔවුන් හැමදාමත් කළේ ගොවියා අනාථ කරලා ගොවියා දුක් මහන්සියෙන් සිදුකරන වගාවෙන් ඔවුන්ගේ සුඛවිහරණය සඳහා කටයුතු කර ගත්ත එක විතරයි. දැන් මේ 2022 වසරට අදාළව උක් අස්වනු නෙළීම සිදුකරන කාලය. නමුත් අපි මෙවර දැඩි තීන්දුවක් ගත්තා. අද සියලූම දේවල් ගණන් ගිහින් තියෙනවා. හැබැයි උක් ගොවියට උක් කිලෝ එකකට ගෙවන ගාණ මේ වෙනකම් වැඩි කළේ නෑ. අපි මෙවර සීනි ආයතනයෙන් ඉල්ලීමක් කළා අපිට උක් කිලෝ එකක් සඳහා රුපියල් දෙකක මිල වැඩි කිරීමක් කරන්න කියලා. හැබැයි මේ වෙනකම් සීනි ආයතනයේ සභාපතිවරයා හෝ රජයේ පාර්ශ්වයෙන් අපේ ඉල්ලීමට කන් දුන්නේ නෑ. රුපියල් දෙකක මිල වැඩි වීමක් ඉල්ලපු අපිට සීනි සමාගම දුන්නේ ශත පනහක වැඩි වීමක් විතරයි. මේ වෙනකොට උක් අස්වනු නෙළීමේ ගාස්තුව වැඩි වෙලා තියෙනවා. වගාවේ වල් මර්දනය සඳහා වෙනදට වඩා රුපියල් 27000ක වැඩි වීමක් සිදු වෙලා තියෙනවා. ඉතින් මේ විදියට හැමදේකම මිල වැඩි වෙලා තියෙද්දීත් මේ බලධාරීන් අපි ඉල්ලන මේ සාධාරණ විසඳුමට කන් දෙන්නේ නෑ. ඒ නිසා තමයි අපි තීරණය කළේ අපිට උක් කිලෝ එකක් සඳහා රුපියල් 02ක මිල වැඩි කිරීමක් සිදුකරන තෙක් උක් අස්වනු නෙළන්නේ නෑ කියලා. දැනට සෙවනගල උක් ගොවීන්ගෙන් සියයට අනූපහක්ම උක් අස්වනු නෙළීමෙන් වැළකිලා ඉන්නේ. සෙවනගල ගොවියෝ සීනි ආයතනය පසුගිය දෙවසර තුළදී උක් මෙටි‍්‍රක් ටොන් 546122කට වැඩි ප‍්‍රමාණයක් ඇඹරීම සඳහා ලබාදී තිබෙනවා. ඉන් නිෂ්පාදනය කෙරුණු ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 33910කට වැඩි ප‍්‍රමාණයක්. ඉතින් එහෙම දුක් විඳලා සීනි නිෂ්පාදනයට උක් ගහ ආයතනයට ලබා දෙනකොට ආයතනය මොකද්ද කරන්නේ ගොවියගේම රීරි මාංශ හූරගෙන කාලා සීනි මිලත් වැඩි කරලා පාඩුවේ ඉන්නවා. ගොවියා දිහා හැරිලවත් බලන්නේ නෑ.

මේ වෙනකොට උක් ගොවීන්ට දැඩි ආර්ථික උද්ධමනයකට මුහුණ පෑමට සිදුව තිබෙනවා. සීනි ටිකේ ඉඳන් හැමදේම අහස උසට මිල ඉහළ ගිහින් තියෙනවා. මේ නිසා අපි අවස්ථා ගණනාවකදීම සෙවනගල සීනි ආයතනයේ පාලනාධිකාරියෙන් ඉල්ලීම් කළා උක් ගොවියාට සාධාරණයක් ඉටු කරන්න කියලා. ඒ අනුව අවසන් වරට 2021.11.08 වැනි දින අපි සීනි ආයතනයේ සභාපතිවරයාට මේ පිළිබඳ වූ ඉල්ලීම ලිඛිතවත් ලබාදුන්නා. ඒ වගේම පසුගිය 26 වන දින ජනාධිපතිවරයාටත් උක් ගොවියා මුහුණ පා ඇති තත්ත්වය පිළිබඳව ලිඛිතව දැනුවත් කළා. නමුත් මේ වෙනකම් සීනි ආයතනයේ පාලනාධිකාරිය හෝ රජය පාර්ශ්වයෙන් මෙතෙක් අපේ ඉල්ලීමට සාධාරණයක් ඉටු කරලා නෑ.

උක් ගොවීන්ගේ බල මණ්ඩලය කියන්නේ සෙවනගල විසිරී පැතිරී තියෙන සියලූ ගොවි සංවිධානවල එකතුවකින් සැදුණු මවු සංවිධානයක්. ඍජු ලෙසම ගොවි පවුල් 3500කට වැඩි පිරිසක් අපේ සංවිධානය නියෝජනය කරනවා. මේ සියලූ දෙනා එක්ක අපි සිදු කළ සාකච්ඡාවලින් පසුව තමයි මේ තීරණය ගත්තේ. ඒ අනුව මේ සියලූම උක් ගොවීන් ඒකමතිකව තිරණය කර තියෙනවා බලධාරීන් අපිට උක් කිලෝවක් සඳහා රුපියල් දෙකක වැඩි කිරීමක් ලබා දෙන්නේ නැතිනම් මේ වසරේ උක් අස්වනු නෙළීමේ කටයුතුවලින් බැහැර වෙන්න. අද වන විට උක් ගොවියාගේ දෛනික ආදායම රුපියල් 550ත් 600ත් අතර තමයි දෝලනය වෙමින් තියෙන්නේ. වතු කම්කරුවකුටත් වඩා ඉතා අඩු මුදලක් තමයි අද උක් ගොවියට ලැබෙන්නේ. වාරි පෝෂිත ගොවියට වගේම වර්ෂා පෝෂිතව වගා කරන ගොවියටත් ඒක එහෙමයි. ඉතින් මේ මුදල අපිට ජීවත් වීමට කිසිසේත් ප‍්‍රමාණවත් නෑ. මේ ගැටලූව පිළිබඳව අපි පසුගිය 22 වැනි දින රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා එක්කත් සාකච්ඡා කළා. එහිදී ඔහු පොරොන්දු වුණා ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරලා මේ ගැටලූවට විසඳුමක් දෙනවා කියලා. හැබැයි මේ වෙනකම් රාජ්‍ය ඇමැතිතුමා හොයාගන්නත් නෑ අපිට විසඳුම ලැබුණෙත් නෑ. අපේ දුක මේ උක් ගොවියා පත්ව ඇති අසරණ තත්ත්වය පිළිබඳව නිසි බලධාරීන්ට කියන්න වෙන ක‍්‍රමයක් නෑ. ගොවියගේ දුක කියන්න හැමදාම අපිට ඉතිරි වුණේ මාධ්‍ය විතරයි. යම් හෙයකින් පාලනාධිකාරිය ගොවියට කන් දෙන්නේ නැතිනම් ලබන වසරේ සිට සෙවනගල උක් ගොවීන් අපි සියලූම දෙනා උක් වගාවෙන් අයින් වෙන්නත් කටයුතු කරනවා යැයි පැවසීය.

සෙවනගල උක් ගොවි බලමණ්ඩලයේ ලේකම් අයි.එච්. පියදාස මහතා,

සෙවනගල ගොවියට උක් ගස තිත්ත වෙයි

උක් ගොවියෙක්ට එදාට වඩා අද වන විට උක් ටොන් එකක් නිෂ්පාදනය කිරීම සඳහා දරන්න වෙලා තියෙන පිරිවැය දෙතුන් ගුණයකින් ඉහළ ගිහින් තියෙනවා. උක් ටොන් එකක් නෙළීමේ ගාස්තුවත් මේ වන විට රුපියල් 200කින් ඉහළ ගිහින් තියෙනවා. ඒ එකක් විතරයි වැඩි වෙච්ච. මේ විදියට හැමදේම වැඩි වෙලා තියෙනවා. අද උක් වගාකරුවන් උක් නිෂ්පාදනය සඳහා වැඩි වෙච්ච මුදල ගණන් හදලා බැලූවම උක් වගා කිරීම තිත්ත වෙනවා. මොකද අඩුම ගාණේ උක් වගාව සඳහා වැයවෙච්ච මුදලවත් අපිට සීනි ආයතනයෙන් ලැබෙන්නේ නෑ. පාඩුපිට පාඩු ලබමින් තමයි උක් ගොවියා උක් ගස් ටික සීනි ආයතනයට ලබා දෙන්නේ. අපි මේ සාධාරණ ඉල්ලීමක් බලධාරීන්ගෙන් ඉල්ලන්නේ. ආණ්ඩු පෙරළන්න අපිට ඕනේ නෑ. අපිට මේ ආයතනයට කවුරු පත්වෙලා ආවත් කමක් නෑ. අපි කියන්නේ ගොවියට සාධාරණයක් ඉටු කරන්න කියලා විතරයි. මොකද අපිට අක්කර 02යි දීලා තියෙන්නේ. අපේ දරු පවුල් අපිට නඩත්තු කරන්න වෙන්නේ මේ අක්කර දෙකෙන් ලැබෙන ආදායමෙන්. උක් වගා කරලා අපිට සාධාරණයක් ඉටුවෙන්නේ නැතිනම් අපි උක් වගාවෙන් ඉවත් වෙලා අකැමැත්තෙන් හරි වෙන අතිරේක භෝග වගාවන්වලට යනවා. ඒ නිසා අපි බලධාරීන්ගෙන් ඉල්ලනවා අපේ මේ සාධාරණ විසඳුමට කඩිනම් පිළිතුරක් දෙන්න කියලා. එහෙම නැති වුණොත් මේ කන්නයේ උක් නෙළීමේ කටයුතුවලින් අපි ඉවත් වුණා වගේම ලබන කන්නයේ සිට උක් වගාකිරීමෙන්ද ඉවත් වෙනවා කියලා අපි බලධාරීන්ට කියනවා යැයි පැවසීය.

එක්සත් පුබුදු ගොවි සංවිධානයේ ලේකම් එම්.කේ. පේමසීලී මහත්මිය

ඇත්තටම ගොවීන් වෙච්ච අපි මේ වෙනකොට දැඩි පීඩනයකට ලක් වෙලයි ඉන්නේ. ණයතුරුස් වෙලා වගාව සිදුකළාට වැඩක් නෑ අස්වැන්න දෙන්න වෙලා තියෙන්නේ තුට්ටු දෙකට. සෙවනගල සීනි ආයතනයට වත්මන් සභාපතිවරයා පත්ව ආව මුල් දවසේ කිව්වේ ගොවි ජනතාව නැගිට්ටවන්න මං කටයුතු කරනවා. ඒ නිසා වෙනත් වගාවන් කරලා තියෙන ගොවින් කරුණාකරලා උක් වගාව යළි ආරම්භ කරන්න කියලයි. ඒ අනුව අපිත් ගොවි නායකයෝ හැටියට ගොවීන් දැනුවත් කරලා උක් වගාව නතර කරලා හිටිය ගොවීන්වත් එකතු කරගෙන යළි උක් වගාව පටන් ගත්තා. නමුත් මේ සභාපතිවරයාගෙනුත් ගොවියට සෙතක් ඉටු වුණේ නෑ. අපි ඉල්ලන්නේ උක් කිලෝවක් සඳහා රුපියල් 02ක් වැඩි කරන්න කියලයි. අද මේකේ ඉන්න සභාපතිවරයා ඇතුළු පිරිස පුදුම තරම් සල්ලියක් නාස්ති කරනවා ඒ අයගේ සුඛවිහරණය සඳහා. අපි කියන්නේ ඇයි ගොවියා නඟාසිටුවන්නත් වැඩ පිළිවෙළක් මේ අයට හදන්න. ඒ නිසා අපි අපේ ඉල්ලීම ඉටු වෙනතෙක් මෙවර උක් අස්වනු නෙළන්නේ නෑ. විසඳුමක් නොලැබුණොත් ලබන කන්නයේ සිට සෙවනගල අපි උක් ගොවීන් සියලූම දෙනා උක් වගාවෙනුත් ඉවත්වෙනවා. ඒක ස්ථිරයි යැයි පැවසුවාය.

උක් වගාවේ නිරත ගොවි මහතකු වන කමලසිරි ජයවර්ධන මහතා

මම දැනට අවුරුදු 35ක ඉඳන් උක් වගා කිරීමේ නිරත වෙනවා. මේ වන විට රටේ පවතින ආර්ථික තත්ත්වයත් එක්ක උක් වගාව කරගෙන අපිට ජීවත් වීම ඉතා අසීරු වෙලා තියෙනවා. මිරිස් කිලෝ එක රුපියල් 600කින් වැඩි වෙලා. හාල් කිලෝ එකක් රුපියල් 80කට වැඩි ගාණකින් වැඩි වෙලා. අද උක් ටොන් එකක් නෙළීමේ ගාස්තුව රුපියල් 200න් වැඩි වෙලා. ඉඩම්වලට වල් නාශක යෙදීමේ ගාස්තුව වැඩි වෙලා තියෙනවා. මේ විදියට හැම දේම මිල ඉහළ ගිහින් තියෙද්දී උක් ගොවියාගේ උක් මිලෙහි කිසිදු වෙනසක් සිදු වෙලා නෑ. අද දුක් විඳලා උක් වගාව සිදුකරලා ඒක සීනි ආයතනයට දීලා අපිට අත්දෙක පිහදගෙන බලාගෙන ඉන්න වෙලා තියෙනවා. අපිට දීලා තියෙන්නේ අක්කර දෙකයි. වෙන භෝගයක් දමන්න අපිට වෙන ඉඩම් කිසිවක් නෑ. අපේ මුළු දරු පවුලම රැකෙන්නේ මේ උක් වගාවෙන් ලැබෙන මුදලිනුයි. ඒ නිසා අපේ මේ සාධාරණ ඉල්ලීමට කන් දෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ.

මේ සම්බන්ධයෙන් අප ලංකා සීනි සමාගමේ විධායක අධ්‍යක්ෂ ගාමිණී රාසපුත‍්‍ර මහතාගෙන්ද විමසීමක් කළ අතර එහිදී ඔහු මෙසේ පැවසීය.

සෙවනගල ගොවියට උක් ගස තිත්ත වෙයි

ගොවීන් ඉල්ලන විදිහේ වැඩි කිරීමක් නම් කරන්න දැනට හැකියාවක් නෑ. මේ වසරේදී අපි උක් ටොන් එකක් සඳහා රුපියල් 500ක් වැඩි කරලා තියෙනවා. ඉදිරියේදී තවත් වැඩිකිරීම කෙරෙහි අවධානය යොමු කරමින් තියෙනවා. හැබැයි මං මේ ටිකත් කියන්න ඕනේ. ඔය සමහර ගොවි සංවිධාන කියන විදියට උක් වගාවට මහ අමාරුකම් නෑ. මොකද එක සැරයක් උක් ගහක් හිටෙව්වට පස්සේ එකම ගහෙන් අවුරුදු 05ක් උක් අස්වනු නෙළනවා. කෙසෙල් වගාවක් කරන කෙනා කෙසෙල් කැණ කපා ගත්තම ඒ ගහ ඉවරයි. හැබැයි උක් වගාව එහෙම නෙමෙයි. සමහර ගොවීන් එකම උක් ගහෙන් අවුරුදු හයක් හතක් උක් අස්වැන්න නෙළනවා. එහෙම තියෙද්දි තමයි ඔය විවිධ ඉල්ලීම් කරන්නේ. මොකද ඔය උක්වගා කරන ගොවීන් කවුරුවත් එක දිගට උක් වගාව විතරක් කරගෙන ඉන්න අය නෙමෙයි. සියයට අසූවක්ම ගොවීන් වෙනත් විවිධ රැකියා කරන ගමන් තමයි උක් වගාව කරන්නේ. ඒ නිසා අපි උක් ගොවීන්ට මතක් කරනවා කන්තලේ සීනි සමාගම පරණ යකඩවලට විකුණනන් ගිය දේ සෙවනගලට කරන්න එපා කියලා ඉල්ලනවා. අපි මේ සියල්ල නිසි පරිදි කළමනාකරණය කරලා වැසී යන්න තිබුණු ආයතන දෙකක් තමයි මේ ගොඩ නගාගෙන යන්නේ. ගිය වර්ෂයේ විතරක් අපි සෙවනගල ගොවීන්ට ගෙවලා තියෙනවා රුපියල් ලක්ෂ දහඅට දාහක්. මේ සෙවනගල ඉන්නේ ගොවීන් 3500යි. මේ ගාණ මේ ගොවීන්ගෙන් බෙදලා බලන්න එක ගොවියකුට කීයක් ලැබිලද කියලා. මේ ගොවීන් කවුරුවත් තුන්සිය හැටපස් දවසෙම උක් වගාවේ ඉන්න අය නෙමෙයි. සමහර වගා කරන අය මේ සීනි ආයතනයේම වැඩ කරන අය. ඒ නිසා මම ගොවීන්ගෙන් ඉල්ලනවා මේ සීනි සමාගමේ නිෂ්පාදන ක‍්‍රියාවලිය අඩපණ කරන්නේ නැතිව තම අස්වනු නෙළීමේ කටයුතු කරන්න කියලා යැයි පැවසීය.

සෙවනගල සීනි ආයතනයේ බලධාරීන් හා ගොවීන් අතර ඇතිව තිබූ ගැටලූ සම්බන්ධයෙන් පසුගිය 10 වැනි දින බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ පිහිටි අමාත්‍යාංශය තුළදී අමාත්‍ය ජානක වක්කුඹුර මහතා සහ සෙවනගල සීනි ආයතනයේ සභාපති, අධ්‍යක්ෂ මණ්ඩලය හා උක් ගොවීන් අතර සාකච්ඡාවක් පැවැත්විණි.

එහිදී බලධාරීන් ගොවීන්ට දැනුම් දි තිබුණේ මේ අවස්ථාවේ උක් මිල වැඩි කිරීම තුළින් ගැටලූ රැසක් ඇති වන බවත්, ගොවීන්ට දැනට දරන්නට සිදුව ඇති පාඩුව පිළිබඳව අවධානය යොමු කර දැනට වාර්ෂිකව උක් ටොන් එකක් සඳහා ලබා දෙනු ලබන දිරි දීමනාව වන රුපියල් 305 ට අමතරව තවත් රුපියල් 100ක දීමනාවක් ලබා දිමටත්, උක් බීජ ලබාදී ඇති ප‍්‍රමාණයට අමතරව අවශ්‍යතාව අනුව තව ප‍්‍රමාණයක් නොමිලයේ ලබා දීමටත්, පොහොර සහනාධාරයක් ලබා දීමටත් බලධාරීන් එකඟ වී තිබේ. ඒ අනුව විරෝධතාවයේ සිටි උක් ගොවීන් තාවකාලිකව මෙම විරෝධතාව අත් හරිනු ලැබීය. ඊට ප‍්‍රධානම හේතුව ලෙස ගොවීන් පැවසුවේ සිංහල අලූත් අවුරුදු උදාව ළඟ ළඟම එන නිසාත් හා ගොවීන් මේ අවස්ථාවේ දැඩි ආර්ථික පීඩාවකට පත්ව සිටීමත් බලධාරීන් ගොවීන්ගේ ඉල්ලීම් සඳහා සුබවාදී ආකල්පයක සිටීමත් යන කරුණු මුල් කර ගනිමිනි. කෙසේ නමුත් උක් ගොවියා ශක්තිමක් කරනතෙක් ගොවි අරගලය නොනවතන බවත් බලධාරීන්ගේ අසාධාරණයන්ට එරෙහිව ඕනෑම වෙලාවක අරගල කරන බවත් ගොවීහු පැවසීය.

සටහන හා සේයා රූ – මත්තල – දිලීප්
එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment