සේකරයන් තරම් සාකච්ඡාවට, සංවාදයට බඳුන් වූ නිර්මාණකරුවෙක් තවත් නෑ – ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ

267
කවිය, ගීතය මතු නොව සිය නිසඟ නිර්මාණාත්මක ප්‍රතිභාව මෙරට ලලිත කලා ක්‍ෂේත්‍රය තුළ තදින් සටහන් කළ අප්‍රමාණ මිනිසා ඔහුය. සෑම දුරුත්තකම අලුත් වන දිනදසුනක් සේ ඔහු පිළිබඳ මතකය මෙරට සාහිත්‍ය සමාජය තුළින් මතුපිටට පැමිණෙන්නේ එබැවින්ය. එම අප්‍රමාණිකයා අන් කවරෙක්වත් නොව මහගම සේකරයන්ය.
මෙම මස 14 වන දිනට යෙදෙන මහගම සේකරයන්ගේ 47 වන ගුණසමරුව නිමිත්තෙන් සේකරයන් පිළිබඳ වූ සිරිමත් මතකාවර්ජනයක් පිණිස මෙවර ඔබ හා එක්වන්නේ සම්මානනීය කිවිවර, ගීත රචක, ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහයන්ය.

● මහගම සේකරයන් තමන්ගේ කෙටි ජීවිත කාලය තුළ කවිය, ගීතය මතු නොව අනෙකුත් කලා ක්ෂේත්‍රයන් තුළ තමන්ගේ මුද්‍රාව තදින් සටහන් කරනවා. ඒ පිළිබඳව ඔබගේ තක්සේරුව කුමක්ද?

ඔව්… එතුමන් 1976 වසරේදී අපිට අහිමි වෙනවා. අවුරුදු 47 ක් වැනි කෙටි කාලයක් ආයු වින්දනය කරලා අකල්හි ඔහු මියගියත් ඔහුගේ නිර්මාණ එදත් අදත් හෙටත් යළි යළිත් උත්පත්තිය ලබමින් පවතින බව මුලින්ම සඳහන් කරන්න ඕන. සේකරයන් තමන්ගේ නිර්මාණ ඇතුළත් කෘතියක් ලෙස මුලින්ම එළිදක්වන්නෙ ව්‍යංගා කෘතිය. එය සාමුහික ප්‍රයත්නයක්. ඊට පෙර ඔහු විසින් රචිත කාව්‍ය නිර්මාණ “නොපල කවි” නමින් තවත් කෘතියක් ලෙස මුද්‍රණය වෙනවා. සේකරයන් ගේ අභාවයෙන් පසුව තමයි ඒ පොත මුද්‍රණය වෙන්නෙ. ඔය ආකාරයට 1962 වර්ෂයේදී “සක්වාලිහිනි” 1964 වර්ෂයේදී මක්නිසාද යත්, 1967 වර්ෂයේදී රාජතිලක ලයනල් හා ප්‍රියන්ත, 1967 තුංමං හංදිය, 1970 බෝඩිම, 1974 නොමියෙමි ආදී වශයෙන් පළවූ කෘතීන් ගත්විට අපට පේනවා මෙරට සාහිත්‍ය සමාජය තුළ සේකරයන් තමන්ගේ මුද්‍රාව තදින් සටහන් කොට තිබෙන බව. 1976 වසරෙදී ප්‍රබුද්ධ නිකුත් වෙන්නෙ සේකරයන් ගේ අභාවයෙන් පසුවයි. එපමණක් නොවෙයි ඔහුගේ චිත්‍ර සහ කෙටිකතා ඇතුළත් කෘතියක් ඇතුළු තවත් කෘතීන් කීපයකුත් ඔහුගේ අභාවයෙන් පස්සෙ මුද්‍රණය වෙනවා. මේ සියල්ල ගත්විට සේකර කියන අප්‍රමාණ කලාකරුවා කලාව වෙනුවෙන් කරන ලද සේවය ඉමහත් බව සඳහන් කරන්න පුළුවන්.

● ඔබ සඳහන් කරන ආකාරයට ඒ පෘථූලත්වය මහගම සේකරයන් තුළ ගොඩනැඟෙන්නෙ කොහොමද?

පෘථූලත්වය ලබා ගැනීමට නම් කෙනෙකු විසින් තමන්ට පූර්වයෙන් ලැබුණ සියලු කලාවන් අවශෝෂණය කරගත යුතු වෙනවා. සේකර ඒ දේ හරියටම කළා කියලා මම විශ්වාස කරනවා. කලාව දීර්ඝ කාලීනයි, ජීවිතය කෙටි කාලීනයි යනුවෙන් සඳහන් කියමනක් තිබෙනවා. කලාකරුවෙකුට සිද්ධ වෙනවා සමාරම්භයේ සිටම තමන්ට පූර්වයෙන් ලැබුණ සියලු කලාවන් අවශෝෂණය කර ගනිමින් තමන්ගේ නිර්මාණවලියෙ නිරත වෙන්න. එතනදී සේකරයන් සමත් වෙනවා තමන් වෙත පූර්වයෙන් උරුම වූ සියලු සම්ප්‍රදායන් ඔහුගේ ශක්ති ප්‍රමාණයෙන් අවශෝෂණය කර ගන්න. ඔහුගේ සාර්ථකත්වයට එය බෙහෙවින් බලපාන්න ඇතැයි කියලා මම විශ්වාස කරනවා.

● උදාහරණ කීපයක් සහිතව ඒ පිළිබඳ වැඩිදුරටත් සඳහන් කරනවා නම්:

සේකරයන් සිංහල බස හැසිරවීමේදී කොතරම් පෘථුලත්වයක් පළ කර තිබෙනවද කියන්න උදාහරණ අවශ්‍ය නැහැ. සේකරයන්ගේ කවීත්වය තුළ ඒ අති රමණීයත්වය පමණටත් වඩා දකින්නට ලැබෙනවා. ඔබ විමසා සිටි පැනය එක් උදාහරණයක් සහිතව පැහැදිලි කරනවා නම් එක්තරා අවස්ථාවක සේකරයන්ට සිද්ධ වෙනවා ලන්ඩන් විභාගයට ශාස්ත්‍රවේදී උපාධිය හදාරන අවස්ථාවෙ පාලි භාෂාව විෂයක් හැටියට හදාරන්න. එය ඔහු විසින් ඉතාමත් ඉහළින් හදාරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස පසුකාලීනව ඔහුගේ නිර්මාණ සඳහා ඒ අධ්‍යයන කටයුත්ත තදින් බලපානවා. උදාහරණයක් ලෙස “ඔබේ දෑසයි… ඔබේ දෑසයි… නීල උත්පල ඔබේ දෑසයි” කියන ගීතය පෙන්වා දෙන්න පුළුවන්. එය එක් උදාහරණයක් පමණයි. බෝඩිම පොතේ සොභා කියන කවි පෙළෙහි අන්තර්ගතය තමයි මේ ගීතයේ තිබෙන්නෙ. නමුත් ගතානුගතිකත්වය අතික්‍රමණය කරමින් ඉන් එහා ගිය නිර්මාණ ලක්ෂණ පළ කරන්න මේ ගිතය තුළින් සේකයන් සමත් වී තිබෙනවා.

● කවිය සහ ගිතය ගත් විට මේ ක්ෂේත්‍ර දෙක අතර මහගම සේකරයන් හොඳින් ස්ථාන ගත වෙන්නෙ කුමන ක්ෂේත්‍රය තුළද?

කවියෙක් සහ ගීත රචකයෙක් ලෙස පමණක් සේකරයන්ව හඳුන්වනවට මම කැමති නැහැ. ඔහු තුළ කෙටිකතා සහ නවකතාකරුවෙක් ජීවත් වුණා. චිත්‍ර ශිල්පියෙක්, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ඔහු තුළ ජීවත් වුණා. ඊට අමතරව විශිෂ්ට ගුරුවරයෙක් ආදී වශයෙන් භූමිකා රාශියක් නියෝජනය කළ කලාකරුවෙක් ලෙස ඔහුව හැඳින්වීම තමයි වඩාත් සුදුසු වෙන්නෙ. නමුත් විශිෂ්ට කවියෙක් ඒ වගේම විශිෂ්ට ගීත රචකයෙක් ලෙස තමයි හොඳින් ඉස්මතු වෙන්නෙ. ඔහු සතුව පැවති අති රමණීය කවීත්වය තමයි ඔහුගේ නව කතාවට, කෙටි කතාවට සහ චිත්‍රපටයට පවා ප්‍රදානය කරන්නෙ. ඒ නිසා සේකර කියන්නෙ කවිය සහ ගීතය යන අංශ දෙකේම තදින් තහවුරු වූ නිර්මාණකරුවෙක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. Bob Dylan කියන්නෙ ඇමරිකානු ජාතික ගායකයෙක්. 2016 වසරේ නොබෙල් ත්‍යාගය හිමි වෙන්නෙ ඔහුට. නමුත් ඔහු සම්මානයට පාත්‍ර වෙන්නෙ ගීත රචකයෙක් ලෙස මිසක් ගායකයෙක් ලෙස නොවෙයි. ඔහු නොබෙල් ත්‍යාගය භාරගන්න වේදිකාවට නගින්නෙ නැහැ. ඒක වෙනම කතාවක්. Bob Dylan කියන්නෙත් සේකරයන් වගේම විසුරුන හැකියාවන් රැසක් තමන් තුළ ගොඩනඟාගත්ත පුද්ගලයෙක්. ඔහු තුළත් ගායකයෙක් වගේම ගීත රචකයෙක්, චිත්‍ර ශිල්පියෙක්, සංගීතඥයෙක් සහ කවියෙක් ජීවත් වෙනවා. අන්න ඒ කවීත්වය විසින් තමයි ඔහුවත් අනෙකුත් කලාවන්හි ප්‍රවීණයක් බවට පත්වීමට අවශ්‍ය ශක්තිය ලබාදීලා තිබෙන්නෙ. එදා සේකරයන් තුළ පැවතුණෙත් මීට සමානම දෙයක් තමයි.

සේකරයන් තරම් සාකච්ඡාවට, සංවාදයට බඳුන් වූ නිර්මාණකරුවෙක් තවත් නෑ - ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ

● වරක් මහගම සේකරයන්ම සඳහන් කරනවා ගීතය කවියේම සොහොයුරෙක් කියලා. එය කොතෙක් දුරට වලංගු කියනමක්ද?

ඔව්. සේකර ඒ බව තදින් විශ්වාස කළ කවියෙක්. ඔහුගේ කෘතින් පරිශීලනය කිරීමේදී පවා ඒ බව පැහැදිලිව දැක බලාගන්න ලැබෙනවා. ඔහුගේ මුල්ම කෘතින් ගත්විට සක්වාලිහිනි, හෙට ඉරක් පායයි, ඒ වගේම බෝඩිම කියන කෘතීන් ත්‍රිත්වය ගත්විට ඔහු විසින් ලියන ලද කවි සහ ගීත සම සමව දකින්නට ලැබෙනවා. ඒක වෙන්කරන්න සේකරයන්ට අවශ්‍ය වුණේ නැහැ.

● මහගමර සේකරයන් හා පණ්ඩිත් අමරදේවයන්ගේ සුසංයෝගය ඔබ දකින්නෙ කොහොමද?

අමරදේව මහත්තයගෙ හොඳම නිර්මාණ සමය ඒ කාලය කියලා හඳුන්වන්න පුළුවන්. 1960 වර්ෂයේදී පමණ ගුවන්විදුලියෙ මධුවන්ති වැඩසටහනට සේකරයන් සම්බන්ධ වෙනවා. එතැන් සිට වසර තුනක පමණ කාලයක් ඔහු ඒ වැඩසටහනත් සමග ඉන්නවා. අන්න ඒ මධුවන්ති වැඩසටහන තුළින් අමරදේවයන් ගායනා කළ ඉතාමත් ජනප්‍රිය නිර්මාණ කීපයක් එළියට එනවා. රත්නදීප ජන්ම භූමි, ඔබේ දෑසයි ඔබේ දෑසයි, වක්කඩ ළඟ දිය වැටෙන කාලයට, පිලේ පැදුර පාළු අඳුරු නිල් අහස මමයි ආදී විශිෂ්ට නිර්මාණ ගණනාවක්ම ඔවුන් දෙදෙනාගේ සුසංයෝගයෙන් සිංහල ගීත සාහිත්‍යයට දායාද කරන්න එදා ඔවුන් සමත් වෙනවා.

● ජන කවියේ ආභාෂය මෙන්ම සිංහල සංස්කෘතික හර පද්ධතීන් සමග තදින් බද්ධ වූ නිර්මාණකරුවෙක් ලෙස ඇතැමුන් සේකරයන්ව හඳුන්වනවා. ඒ පිළිබඳ ඔබේ කියවීම මොන වගේද?

විද්‍යාඥයෙක්, පර්යේෂකයෙක් සහ සංගීතඥයෙක් වූ ආචාර්ය කාර්ට් සැක්ස් සඳහන් කරලා තිබෙනවා ඕනෑම රටක් ආක්‍රමණිකයන්ට යටත් වෙන්න පුළුවන්. නමුත් ඔවුන්ට හොරකම් කරන්න බැරි දෙයක් තිබෙනවා ඒ තමයි ජනශ්‍රෑතිය කියලා. අපිත් ආක්‍රමණිකයන්ට යටත් වූ රටක්. අපේ රටෙත් ඔක්කොම ටික ඒ අය අරන් ගියානෙ. එහෙම රැගෙන ගියාට ඒවා ඒ අයගෙ දේවල් බවට පත්වුණේ නැහැ. ඒවා තවමත් අපේ දේ වශයෙන් පවතිනවා. අපේ හැඟීම්වල සියුම් ස්නායු අග්‍ර තියෙන්නෙ ජන කලාවෙ. සේකරයන් මේවා හෘදයාංගමව ඇසුරු කරනවා. තමන්ගෙ ශ්‍රාවකයන්ට, පාඨකයන්ට ආමන්ත්‍රණය කරන්න අවශ්‍ය වූ විට ඔහු ඒවා පාවිච්චි කරනවා. ව්‍යාංගා පොතේ එන “රං එතනාට කියන කවි”, සක්වාලිහිනි පොතේ “ඉරට මුවාවෙන්” ඒ ඔක්කොම ජනශ්‍රැති. නිර්මාණකරුවෙකුට පුළුවන් වෙන්න ඕන ජනශ්‍රැතියේ සම්පත් ප්‍රතිනිර්මාණය කරන්න. සැබෑ කලාකරුවෙක් ලෙස සේකරයන් ඒ දෙය හරියටම ඉටු කළා.

● යම් ගුරු කුලයක් හෝ රීති සම්ප්‍රදායන් අනුගමනය කළ බවක් මහගම සේකරයන්ගේ නිර්මාණ තුළ දකින්නට ලැබෙනවද?

සේකරයන්ගේ මුල් නිර්මාණ ගත්විට පෙනෙන්නට තිබෙන දෙයක් තමයි හෙළ හවුලේ අභාෂය යම් තරමක් ඒ නිර්මාණ ඇතුළෙ දකින්නට ලැබෙනවා කියන එක. නමුත් ඔහු හෙළ හවුල තමන්ගේ ගුරු කුලය බවට පත්කර ගන්නෙ නැහැ. පේරාදෙණි ගුරුකුලය සේකරව ඔවුන්ගේ ගුරු කුලයෙන් පිටමං කරනවා. නමුත් පේරාදෙණිය ගුරු කුලයෙන් සේකර බොහෝ දේ ඉගෙන ගත් බවක් දකින්නට ලැබෙනවා. කිසිම ගුරු කුලයකට අයිති නොවීම තමයි සේකරයන්ගේ අනන්‍යතාවය බවට පත් වෙන්නෙ. නමුත් තමන්ට පෙර පරම්පරාවේ කවීන්ගේ ආභාෂය ඉතා හොඳින් ඔහු විසින් ලබා ගත්තා.

● ඔබ සහ මහගමසේකරයන් අතර ඇසුරක් ගොඩනැංවෙන්නෙ මොන වගේ පසුබිමක් තුළද?

එය දීර්ඝ කාලීන ඇසුරක් නොවෙයි. සේකර කියන්නෙ ඒ විට දැවැන්ත චරිතයක්. මම පාසල් ශිෂ්‍යයෙක්. මගේ පුරුද්දක් බවට පත් වුණා මම ලියන යම් යම් කාව්‍ය නිර්මාණ සේකරයන් වෙත තැපැල් කරලා යවන එක. ඒ සියලු නිර්මාණ නිර්ලෝභීව කියවල ඒ සඳහා කාලය වැය කරලා ඒ ඒ නිර්මාණවල පවතින අඩුපාඩු ආදිය හොඳින් නිරීක්ෂණය කරලා ඔහුගේ අදහස් ඒ නිර්මාණයේම පැත්තක සඳහන් කරලා නැවත මට ඒ නිර්මාණ තැපැල් කරලා එවන්න තරම් එතුමා කාරුණික වෙනවා. ඒ දේවල් තවමත් මා ළඟ සුරැකිව පවතිනවා. ඔය අතරෙ එක් වරක් අංක 50 ශ්‍රී බෝධි පාර ගම්පහ ගෙදරට මම යනවා සේකරයන්ව මුණගැහෙන්න. එදා ඔහු අතින්ම තේ එකක් හදලා මට දීලා මා එක්ක සුහදව කතාබහක නිරතවෙලා මට ප්‍රතිචාර දක්වනවා. තවත් වරක් සේකරයන්ව මුණගැහෙන්න මම කලාභවනට යනවා. එදා ඔහු විසින් අඩක් නිම කරන ලද සිතුවමක් මා විසින් ඉල්ලා ගන්නවා. එපමණක් නොවෙයි මාව ගුවන්විදුලියට හඳුන්වා දුන්නෙත් සේකරයන්. “අද ලියවෙන කවි” නමින් එකල ගුවන්විදුලි වැඩසටහනක් තිබුණා. කරුණාරත්න අමරසිංහ මහත්තයා තමයි ඒ වැඩසටහන ඉදිරිපත් කරන්නෙ. දවසක් එතුමව

මුණගැනුන අවස්ථාවක සේකරයන් කියනවා හොඳට කවි ලියන කොල්ලෙක් ඉන්නවා මම ලිපිනය දෙන්නම් කවි ගෙන්වා ගන්න කියලා. එදා සේකරයන් ගාව මගේ ලිපිනය තිබිලා නැහැ. පසුව අමරසිංහ මහත්තයා ගම්පහ සේකරයන්ගේ ගෙදරට ගිහින් මගේ ලිපිනය අරන් ඇවිත් තිබෙනවා. ඒ ඇවිත් මට ලිපියක් එවනවා. ඊට පස්සෙ තමයි ගුවන්විදුලියෙ අද ලියවෙන කවි සඳහා මට නිර්මාණ ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබෙන්නෙ.

● සාර්ථක නිර්මාණකරුවෙක් බවට පත්වීම පිණිස ඔබට, ඒ කෙටි කාලීන ඇසුර කොයි තරම් දුරට බලපෑවද?

පාසල් ශිෂ්‍යයෙක් වශයෙන් මම කවියට අත්පොත් තබල කෙටි කාලයක් ගතවීමත් එක්ක සේකරයන් සමග යම් ඇසුරක් ගොඩනඟාගන්න මා භාග්‍යවන්ත වෙනවා. ඔහුගෙන් ලද ගුරු හරුකම් ඔස්සේ මම කවියේ සැබෑ හැඩය හඳුනා ගන්නවා. ඒ අර්ථයෙන් ගත්විට මගේ නිර්මාණ ජීවිතය පිණිස සේකරයන්ගේ ආභාෂය බොහෝ දුරට බලපෑවා. ඒක කොයි තරම් ද යත් ඔහු අපට අහිමිවෙලා වසර 47 ක් සම්පූර්ණ වන මේ වෙලාවෙත් ඔහු විසින් මා වෙත තැපෑලෙන් යොමුකරන ලද ලියුම් සහ එම ලියුම් බහා තිබූ ලියුම් කවර පවා තිබෙනවා. එතුමන් අගය කළ නිර්මාණයක් තමයි මගේ මුල්ම ගුවන් විදුලි ගීතය බවට පත් වන්නෙ. නමුත් ඊට සවන් දෙන්න එතුමට අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ. මගේ මුල්ම ගීතය ‘බන්ඩි ගොයම බිම පෙරළී’ කියන ගීතය. මුල්වරට විකාශනය වෙන්නෙ 1976 අවුරුද්දෙ. ඒ වනවිට සේකරයන් අපෙන් සමු අරන් හිටියෙ.

● මහගම සේකරයන් වඩාත් සම්භාවනාවට පත් වන්නේ මරණයෙන් පසුවද?

ඒක සමාජ ප්‍රවාදයක් ලෙස ජනගත කළ කියමනක් පමණයි. වරක් අමරසේකර මහත්තයා කියනවනේ සේකර කියන්නෙ හදිසි මරණය නිසා ජනප්‍රිය වූ චූල කවියෙක් කියලා. මම මෙහෙම දෙයක් දකිනවා. ඒ තමයි බොහෝ දෙනෙක් සේකරව අධ්‍යයනය කරන්න ගත්තෙ ඔහුගේ මරණයෙන් පස්සෙ.

● ඔහු පිළිබඳ හරිහමන් කියවීමක් සිදුවී ඇති බව ඔබ විශ්වාස කරනවද?

නැතෙයි කියන්න බැහැ. අපේ රටේ වෙනත් කවීන්ට සාපේක්ෂව වෙනත් ගීත රචකයන්ට සාපේක්ෂව සේකර තරම් සංවාදයට සාකච්ඡාවට භාජනය වූ තවත් නිර්මාණකරුවෙක් නැහැ.

ඔහුව අනුකරණය කිරීමෙන් අපේ සාහිත්‍යයට කලාවට නැවත ලබාගන්න දෙයක් නැහැ. එම නිසා ඔහුව අනුකරණය කිරීම නොවෙයි තවදුරටත් සේකරයන්ව හැදෑරිය යුතුයි. වැඩි වැඩියෙන් ඒ දෙය කිරීම තුළ තමයි අලුත් මාවත් එළිපෙහෙළි කරගන්න පුළුවන්කම ලැබෙන්නෙ. මගේ විශ්වාසයට අනුව අද අපට හොඳ පරම්පරාවක් ඉන්නවා. ඒක නැහැ කියන්න බැහැ. හොඳ නිර්මාණශීලී බවක් ඔවුන් තුළින් දකින්න පුළුවන්. ඔවුන් තව තවත් සුක්ෂම ලෙස අතීතය අධ්‍යයනය කරන්න ඕන. මහගම සේකරයන් ඇතුළු සියලු කවීන්ගේ හැකියාවන් අවශෝෂණය කරගෙන තම තමන්ගේ නිර්මාණ කටයුතුවල නිරත වෙන්න ඕන.

සේකරයන් තරම් සාකච්ඡාවට, සංවාදයට බඳුන් වූ නිර්මාණකරුවෙක් තවත් නෑ - ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ

සංවාදය – රුවන් ජයවර්ධන

සේකරයන් තරම් සාකච්ඡාවට, සංවාදයට බඳුන් වූ නිර්මාණකරුවෙක් තවත් නෑ - ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ
advertistmentadvertistment
advertistmentadvertistment