සේනපුරෙන් යන්න රැඳවියෝ ‘සටනක’ – අමානුෂික පාලනයට  යටත් විය නොහැකියි රැඳවියෝ කියති

184

යන්න දෙන්නේ  උසාවි නියෝග අනුව විතරයි

පුනරුත්ථාපන අධ්‍යක්ෂ ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි

පොලොන්නරුව, වැලිකන්ද, සේනපුර සාක්ෂරතා හා වෘත්තීය පුහුණු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් පෙරේදා (23 දා) රාත්‍රියේ පුහුණු මධ්‍යස්ථානයේ

ගේට්ටුව අසලට ගොස් වහා තමන්ට ඉන් පිටව යෑමට ඉඩ දෙන්නැයි ඉල්ලමින් විරෝධතාවයක් පවත්වා තිබේ.

විරෝධතාකරුවන් කියා ඇත්තේ හමුදාවේ සහ පරිපාලනයේ අමානුෂික පාලනයට යටත් විය නොහැකි බවය.

තමන් වෘත්තීය පුහුණුව අවසන් කර සමාජගත වීමට කලක් ගත වුව ද වධහිංසා දණ්ඩනයට යටත්ව සිටිය නොහැකි බවත් වහාම නිවෙස් කරා යොමු කරන ලෙසත් විරෝධකරුවෝ ඉල්ලා සිටියහ.

රාත්‍රියේ ඇතිවූ සිද්ධිය පාලනය කිරීම සඳහා පොලිස් ස්ථාන 5ක පොලිස් නිලධාරීන් එම ස්ථානයට කැඳවා තිබේ.

සේනපුර පුනරුත්ථාපන වෘත්තිය පුහුණු හා සාක්ෂරතා මධ්‍යස්ථානය ආරම්භ කෙරුණේ කන්දකාඩුව ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සමගාමීවය. රටේ නන්දෙස මත්ද්‍රව්‍ය, මත්කුඩුවලට ඇබ්බැහිවූවන් උසාවි නියෝග මත පුනරුත්ථාපනය කිරීම සඳහා ප්‍රථමයෙන් යොමු කරනු ලබන්නේ කන්දකාඩුවට ය. කන්දකාඩුවේ මාස හයක ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය ලබන රැඳවියන් අනතුරුව යොමු කරනු ලබන්නේ සේනපුර සාක්ෂරතා සහ වෘත්තීය පුහුණු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත ය.

මෙම මධ්‍යස්ථානවල පුනරුත්ථාපනය කරනු ලබන්නේ දරුණු ගණයේ මත්කුඩු සහ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන්ය.

පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටින රැඳවියන් සමග බාහිර කිසිදු පුද්ගලයකුට සම්බන්ධතාවයක් ඇතිකර ගත නොහැකි පසුබිමක් සකස් කර තිබුණද විවිධ මාර්ග ඔස්සේ බාහිර සමාජයේ සිටින ජාවාරම්කරුවන් කඳවුරු තුළ සිටින පුනරුත්ථාපනය ලබන රැඳවියන් සමග සම්බන්ධතා පවත්වන බවට විවිධ අවස්ථාවලදී තොරතුරු අනාවරණය වී තිබිණි.

තවද බාහිර සමාජයේ අංක එකේ මත්කුඩු ජාවාරම්කරුවන්ට සහය දක්වන පිරිස් පුනරුත්ථාපනය කිරීම නිසා ඔවුන්ගේ ජාවාරම පවත්වාගෙන යෑමට ප්‍රබල බාධාවක් වී ඇති බව ද දැන ගන්නට තිබිණි.

ඒ සමගම රජය මගින් පවත්වාගෙන යනු ලබන මෙවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානවල සේවය හා කාර්යභාරය මත පෞද්ගලික මට්ටමින් මුදලට පවත්වාගෙන යන පුනරුත්ථාපන කඳවුරුවලට විශාල අර්බුදයක් ඇතිවන බවට ද තොරතුරු අනාවරණය වී තිබිණි. එවන් පසුබිමක් තුළ පෙරේදා නැවත සේනපුර වෘත්තීය හා සාක්ෂරතා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ අරගලකාරී ස්වරූපයක් දක්නට ලැබිණි.

මේ සම්බන්ධයෙන් පුනරුත්ථාපන අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ මෙවැන්කකි.

“සේනපුර වෘත්තීය පුහුණුව ලැබූ රැඳවියන් 125 දෙනෙකු ඉකුත් සතියේදී සමාජයට මුදා හැරීමට අපට හැකියාව ලැබුණා. මේ වන විට තුන්සියයකට ආසන්න පිරිසක් තවමත් පුහුණුව ලබමින් සිටිනවා. පවතින ආර්ථික තත්ත්වයන් තුළ සිය නිවාසවල වෙසෙන පවුලේ සාමාජිකයින් දැඩි අපහසුතාවයන්ට ලක් ව සිටින බවත් ඔවුන් වෙනුවෙන් මුදල් හම්බකර ජීවත් වීමට පහසුකම් සලසා දීම සඳහා සේනපුරෙන් වහාම පිටව යායුතු බවත් ඔවුන් කියනවා.

මේ තත්ත්වය එකවරම ඇති වූයේ නෑ. වෘත්තිය පුහුණු ලබන රැඳවියන් අතරින් සුළු කොටසක් බාහිර සමාජය සමග සම්බන්ධතා ඇති කර ගනිමින් විවිධ දෑ මධ්‍යස්ථානය තුළට ගෙන්වා ගැනීමට විවිධ උපක්‍රම යොදා තිබුණා. ඒ සඳහා ඇතැම් අවස්ථාවල සුළු දඬුවම් ලබා දීමට පවා සිදුව තිබුණා. එවන් අවස්ථාවක පිරිසක් එක්ව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ඉදිරිපස ගේට්ටුව අසලට ගොස් විරෝධතාවයක් පවත්වමින් ඔවුනට මෙයින් පිටව යායුතු බවට අරගල කරන්නට කටයුතු කර තිබුණා. කන්දකාඩු සිදුවීමෙන් පන්නරයක් ලබා සිටින අප මේ අවස්ථාවේ පොලිසිය කැඳවා රැඳවියන්ගේ ආරක්ෂාව තර කරන්නට කටයුතු කළා. මේ මොහොත වනවිටත් සේනපුරට පොලිස් ආරක්ෂාව ලබා දී තිබෙනවා.

රැඳවියන් ප්‍රධාන ගේට්ටුවලින් පැන යන්න උත්සාහ කරන්නෙත් නැහැ. ඔවුන් ඉල්ලා සිටින්නේ කඩිනමින් ඉන් පිටව යෑමට ඉඩ ලබාදෙන ලෙසයි. ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත රැඳවියන් භාරගන්නේ උසාවි නියෝග මත. සේනපුරෙන් මොවුන් මුදාහැරීමට සිදුවන්නේත් උසාවි නියෝග මත ම පමණයි.

කවුරු කෙසේ කුමක් කීවත් ඒ සියල්ල සිදුවන්නේ නීත්‍යානුකූලව පමණයි.

කඳවුර තුළ කෑම හිඟයි, ස්නානයට පහසුකම් නැහැ, පීඩාකාරී තත්ත්වයක් පවතින්නේ කියන කාරණා සියල්ලම මා ප්‍රතික්ෂේප කරනවා.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment