සේනාට සමාන දළඹුවෙක් ආණමඩුවේ කුඹුරු අක්කර 500ක් හප කරයි

175

මෙහෙම විනාශයක් කරයි කියා හිතුවේ නෑ
බල බල ඉන්න බැහැ : ඉක්මන් විසඳුමක් ඕනෑ

සේනා දළඹුවාට සමාන ආක්‍රමණශීලී දළඹුවකු ආණමඩුව කිලවන්එළිය ප්‍රදේශයේ කුඹුරු යායක පැළ ගොයම විනාශ කරන බවට ගොවීහු මැසිවිලි නගති.

දිගින් අඟල් එකහමාරක් පමණ වන මෙම දළඹු විශේෂය පොකුරු ලෙස සැරිසරන බවත් උදෑසන ගොවීන් දකින විට කොළ පාටින් දිස් වෙන මෙම දළඹුවා ගොයම් ගසේ යුෂ උරා බීමෙන් පසුව කළු පැහැති ආකාරයට දිස්වන බවත් පැවසේ. සතියක පමණ සිට මෙම දළඹු විශේෂය කුඹුරු යාය ආක්‍රමණය කරමින් වපුරා මාසයක් පමණ පැළ ගොයම කෙටි කාලයක් තුළ ඉතා වේගයෙන් කා දමා ගොයම සම්පූර්ණයෙන් විනාශ කරන බව ද ගොවීහු කියති. මෙම දළඹු විශේෂය මින් පෙර කිසිම අවස්ථාවක දැක නොමැති බවත් දින කිපයක් තුළ කුඹුරු යාය වනසා දමන බවද ගොවීහු පවසති.

මේ වන විට පැළ ගොයමේ කොළය කා දමා ගොයම් කොළයේ නටුව පමණක් ඉතිරිව තිබේ. නැවත ගොයම පෙර පැවති තත්ත්වයට ගෙනඒමට කෘමිනාශක හා පොහොර යෙදුවත් ඉතා අසීරු කාර්යයක් බව ද ගොවියෝ පෙන්වා දෙති.

කිලවන්එළිය වෙල්යාය අක්කර 500කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත වන අතර වන අලින් බහුල මෙම ප්‍රදේශයේ දැඩි අසීරුතා මැද වී වගාව පවත්වාගෙන යන ගොවීහු දළඹු උවදුරෙන් කබලෙන් ළිපට වැටී ඇති බව කියති. කිලවන්එළිය පැරකුම් ගොවි සංවිධානයේ සභාපති ඩී. එම්. නිමල් ඒකනායක මහතා සිය දුක මෙසේ කීය.

“මේ දළඹුවන් කුඹුරට ඇවිත් දවසක් දෙකක් ඇතුළත එය සම්පූර්ණයෙන් වනසා දමනවා. දළඹුවන් මේ වන විට කුඹුරුවල විශාල භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන් විනාශ කර අවසන්. මේ නිසා ගොවීන් අන්ත අසරණ වෙලා. කලින් තැනින් තැන තිබුණත් මේ වන විට එය අක්කර 500 කට ආසන්න කුඹුරු යාය පුරාම තැනින් තැන පැතිරී ගිහින්. මේ නිසා ගොවියෝ දැන් කුඹුර අතහැර යෑමට සූදානම් වෙනවා. මේ පිළිබඳව බලධාරීන් කඩිනමින් අවධානය යොමු කර විසඳුමක් ලබා දෙන්න ඕනෑ.

අශෝක කරුණාරත්න ගොවි මහතා

ඇත්තටම මේ දළඹුවා සේනා දළඹුවා වගේමයි. අපි දැන් සති දෙකකට පමණ පෙර තමයි මේ සතා ඉස්සෙල්ලාම දැක්කෙ. අපි හිතුවේ නෑ මෙච්චර විනාශයක් කරයි කියලා. දවස් දෙකට අක්කර දහයක් විතර කාලා. මේ විදිහට විනාශ කළොත් මේ කුඹුරු යාය දින කීපයකින් විනාශ කරයි. මේ සතා මුළු දිස්ත්‍රික්කයටම ව්‍යාප්ත වෙන්න ඉඩ තියෙනවා කියා හිතෙනවා. ඒ නිසා මේකට කඩිනම් විසඳුමක් බලධාරීන් ගන්න ඕනෑ. බල බල ඉන්න එපා. අර බඩ ඉරිඟුවලට ආපු සේනා දළඹුවා මුළු ලංකාවම පුරා ගියා වගේ මේ දළඹුවා ලොකු විනාශයක් කරාවි.
අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment