සේනා දළඹුවාට සමාන දළඹුවෝ ආනමඩුවේ තවත් කුඹුරු යායක් වනසති

46

කඩිනමින් විසඳුමක් ලබාදෙන්න- ගොවීහු ඉල්ලති

සේනා දළඹුවාට සමාන ආක්‍රමණශීලී දළඹුවකු ආනමඩුව කිලවන්එළිය ප්‍රදේශයේ කුඹුරු යායක පැළ ගොයම විනාශ කරන බව ගොවීන් මැසිවිලි නගති.

මෙම දළඹු විශේෂය පසුගිය කාලයේ බඩ ඉරිඟු ඇතුළු වගාවන් රැසක් විනාශ කළ සේනා දළඹු විශේෂයට සමාන දළඹුවකු බව ගොවීහු පෙන්වා දෙති. දිගින් අඟල් එකහමාරක් පමණ වන මෙම දළඹු විශේෂය විශාල වශයෙන් පොකුරු ලෙස සැරිසරණ බවත් උදෑසන ගොවීන් දකින විට කොල පාටින් දිස්වෙන මෙම දළඹුවා ගොයම් ගසේ යුෂ උරා බීමෙන් පසුව කළු පැහැති ආකාරයට දිස්වන බව කියයි.

සතියක පමණ කාලයක සිට මෙම දළඹු විශේෂය කුඹුරු යාය ආක්‍රමණය කරමින් වපුරා මාසයක් පමණ පැළ ගොයම කෙටි කාලයක් තුළ ඉතා වේගයෙන් කා දමා ගොයම සම්පූර්ණයෙන් විනාශ කරන බව ගොවීහු කියති.

මෙම දළඹු විශේෂය මින් පෙර කිසිම අවස්ථාවක දැක නොමැති බවත් දින කිපයක් තුළ කුඹුරු යාය වනසා දමන බවද ගොවින් පවසයි.

මේ වන විට පැළ ගොයමේ කොළය කා දමා ගොයම් කොළයේ නටුව පමණක් ඉතිරිව තිබේ. නැවත ගොයම පෙර පැවති තත්ත්වයට රැගෙන ඒමට කෘමිනාශක හා පොහොර යෙදුවත් එය ඉතා අසීරු කාර්යයක් බවද ගොවීහු පෙන්වා දෙති.

සේනා දළඹුවාට සමාන දළඹුවෝ ආනමඩුවේ තවත් කුඹුරු යායක් වනසති

කිලවන්එළිය වෙල්යාය අක්කර 500 කට ආසන්න ප්‍රමාණයකින් සමන්විතය. වන අලින් බහුල මෙම ප්‍රදේශයේ දැඩි අසිරුතා මැද වී වගාව පවත්වාගෙන යන ගොවීන් දළඹු උවදුරෙන් කබලෙන් ලිපට වැටී ඇති බව සිහිගන්වති.

මේ පිළිබඳව කිලවන්එළිය පැරකුම් ගොවි සංවිධානයේ සභාපති ඩී. එම්. නිමල් ඒකනායක මහතා “මේ දළඹුවන් කුඹුරට පැමිණ දිනක් හෝ දෙකක් ඇතුළත එය සම්පූර්ණයෙන් වනසා දමන තත්ත්වයට පත්වෙලා. දළඹුවන් මේ වන විට කුඹුරුවල විශාල භුමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන් වනසා අවසන්. ඇත්තටම මේ නිසා ගොවීන් අන්ත අසරණ වෙලා. කලින් තැනින් තැන තිබුණත් මේ වන විට එය අක්කර 500 කට ආසන්න කුඹුරු යාය පුරාම තැනින් තැන පැතිරී ගොස් අවසන්. ගොවීන් මේ නිසා දැන් කුඹුර අතහැර යෑමට සූදානම් වෙනවා. මීට බලධාරීන් කඩිනමින් අවධානය යොමු කරල විසඳුමක් ලබාදෙන්න ඕන.

ගොවි මහතෙක් වන අශෝක කරුණාරත්න ඇත්තටම මේ දළඹුවා සේනා දළඹුවා වගේමයි. අපි දැන් සති දෙකකට පමණ ඉස්සෙල්ලා තමයි මේ සතා ඉස්සෙල්ලම දැක්කේ. අපි හිතුවේ නෑ මෙච්චර විනාශයක් කරයි කියලා. දැන් බලපුහාම ලොකු විනාශයක් කරනවා. මම හොඳට බැලුවා දවස් දෙකට අක්කර දහයක් විතර කාලා. ඉතින් මේ විදිහට විනාශ කළොත් මේ කුඹුරු යාය දින කීපයකින් විනාශ කරයි. මේ සතා මුළු දිස්ත්‍රික්කයටම ව්‍යාප්ත වෙන්න ඉඩ තියනවා කියලා මම හිතනවා. ඒ නිසා මේකට කඩිනම් විසඳුමක් බලධාරීන් ගන්න ඕන. මොකද බල බල ඉන්න එපා අර බඩඉරිඟු වලට ආපු සේනා දළඹුවා මුළු ලංකාව පුරා ගියා වගේ මේ දළඹුවා ලොකු විනාශයක් කරාවි.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment