සේවක අර්ථසාධකයේ බිලියන පහක් පිල්ලි ගිය හැටි…

381

මිලියන 12කට වියදමින් ගත් නව හැඳුනුම්පත් කාඩ් 15,000ක් කුණු කූඩේ

සේවක, ආර්ථසාධක, අරමුදල වූ කලි දකුණු ආසියාවේ ඇති විශාලතම සමාජ, ආරක්ෂණ අරමුදල වන්නේය.. මේ වනවිට ලක්ෂ 25ක් පමණ වූ ශ්‍රමිකයන් මෙකී අරමුදලට දායක වී ඇත්තේය. මෙරට පුද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ ශ්‍රමිකයන්ට යහපත් ආර්ථික තත්ත්වයක් සහිත විශ්‍රාම දිවියක් උරුමකරදීමේ මූලික පරමාර්ථය ඇතිව සේවක අර්ථසාධක අරමුදල ස්ථාපිත කොට තිබේ. ඒ 1958 අංක. 15 දරන, සේවක අර්ථසාධක අරමුදල් පනත මගිනි. සේවක අර්ථසාධක අරමුදල රුපියල් ට්‍රිලියන 03ක් හෙවත් රුපියල් බිලියන 3000කි. මෙකී අරමුදලේ පරිපාලනය කම්කරු කොමසාරිස්, ජනරාල් සහ කම්කරු දෙපාර්තමේන්තුව මගින් සිදුකෙරේ. මුදල්වල භාරය ඇත්තේ මුදල් මණ්ඩලය හා මහ බැංකුව අතේය.

දකුණු ආසියාවේ විශාලතම සමාජ ආරක්ෂණ අරමුදල මෙකී අරමුදලේ ප්‍රධාන කාර්යභාරය වන්නේ සිය මානව හා නීතිමය අවශ්‍යතා ඉටු කරමින් සේවකයන් වෙනුවෙන් දායක මුදල් ගෙවීමට කටයුතු කිරීමයි. ඒ විතරක් නොව සේවායෝජකයන්හට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා සේවක අර්ථසාධක අරමුදලෙහි ආයතන ලියාපදිංචිය හා සේවායෝජකයන්ගෙන් සේවක අර්ථසාධක දායක මුදල් අයකර ගැනීම ද තවත් කාර්යයකි. එමෙන්ම කාර්යක්ෂම හා සඵලදායී කළමනාකරණයක් තුළින් අරමුදලේ සාමාජිකයන්ට උපරිම ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කළ යුතුය. එමෙන්ම, සේවක අර්ථසාධක අරමුදලෙහි සේවකයන් ලියාපදිංචිය හා සාමාජිකයන්හට සේවක අර්ථසාධක අරමුදලෙහි ප්‍රතිලාභ ගෙවීම ද මෙකී අරමුදල තුළින් සිදුකෙරේ.

රජයේ සේවකයන් සඳහා විශ්‍රාම ගිය පසු සුවබර විශ්‍රාම දිවියක් ගත කිරීම සඳහා මාසික විශ්‍රාම වැටුපක් රජය මගින් ලබාදෙයි. එහෙත් පුද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවයේ නියුතු ශ්‍රමිකයන්ට විශ්‍රාම දිවිය ගතකිරීම සඳහා පිහිට වන්නේ සේවක අර්ථසාධක අරමුදල මගින් ලබාදෙන ප්‍රතිලාභයන්ය. පසුගිය කාලයේ දී මෙකී අරමුදලේ මුදල් යොදවා සිදුකරනු ලැබූ ආයෝජනයන් පිළිබඳවද සමාජය තුළ විවිධ මතවාද ඇති විය. ඒ විතරක් නොව රජය දේශීය ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ වැඩපිළිවෙළ හරහා සේවක අර්ථසාධක සහ භාරකාර අරමුදලේ හි රුපියල් කෝටි හැටදහසකට අධික මුදලක් කොල්ලකෑමට සැරසෙන බවට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික, අන්තර් සමාගම්, සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශකොට තිබුණි. සේවක අර්ථසාධක අරමුදලට ද තට්ටු කරයිද? එවැනි මතවාදයක් සමාජය තුළද නිර්මාණය වී ඇත.

පාඩු ලබන ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ රුපියල් මිලියන 500ක් ආයෝජනය කරලා, කිසිදු ආදායමක් අරමුදලට ලැබී නැහැ.

ආයෝජනයන් සිදුකිරීමේදී සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්හට ඉහළ ප්‍රතිලාභ ලබාදීමට හැකිවන පරිදි ප්‍රශස්ත ආයෝජනයක් සිදුකළ යුතුය. එහෙත් ජාතික විගණන කාර්යාලය විසින් මෙකී අරමුදල සම්බන්ධයෙන් කරනු ලැබූ විගණනයට අනුව ප්‍රශස්ත ආයෝජනයක් කළ බවක් පෙනෙන්නට නැත. ආයෝජනය කරනු ලැබූ ඇතැම් සමාගම්වලින් සේවක අර්ථසාධක අරමුදලට ශතපහක ආදායමක් ලැබී නැත. අරමුදල මගින් ලැයිස්තුගත සමාගම්, 11ක් තුළ ආයෝජනය කර තිබූ මුදල රුපියල් මිලියන 7386කි. එහෙත් මෙකී සමාගම්වල සාමාන්‍ය කොටස් ආයෝජනයන් සඳහා 2019, 2020, හා 2021, යන වර්ෂයන්වල කිසිදු ලාභාංශයක් ලැබී නොතිබුණි. මෙම සමාගම් 11 අතුරින් සමාගම් 02ක් සඳහා පමණක් සිදුකර තිබූ ආයෝජනය රුපියල් මිලියන 3410.57කි. මින් සමාගම් 06ක් සංචාරක ව්‍යාපාරය හා බැඳුනු සේවා සපයන ආයතන වේ. ඒ විතරක් නොව ලැයිස්තුගත සමාගම් 08ක් තුළ සිදුකර තිබූ රුපියල් මිලියන 9486.07ක සාමාන්‍ය කොටස් ආයෝජනයන් සඳහා ඉකුත් වර්ෂයේදී (2021) ලාභාංශ ආදායම පවා ලැබී නොතිබුණි. සේවක අර්ථසාධක අරමුදල විසින් 2010 වර්ෂයේ ගුවන් සමාගමක සිදුකරනු ලැබූ ආයෝජන මුදල රුපියල් මිලියන 500කි. එහෙත් අදාළ ආයෝජනය කරනු ලැබූ අවස්ථාවේ සිටම කිසිදු ආදායමක් අරමුදලට ලැබී නොතිබුණි. මෙකී සමාගම රජයේ හිමිකාරීත්වය යටතේ ඇති සමාගමකි. එය දිගින් දිගටම පාඩු ලැබීම හේතුවෙන් රජය විසින් භාණ්ඩාගාරය හරහා ලබාදෙන ලද මූල්‍ය ප්‍රතිපාදන මත පවත්වාගෙන යන සමාගමකි. මේ වනවිට මෙකී ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමට ද යෝජනා වී ඇත්තේය.

● ෆිනෑන්ස් සමාගමෙහි බලපත්‍රය අවලංගු කිරීමෙන්, රුපියල් මිලියන 205.49ක මුදලක් අහිමි වෙලා..

ඉකුත් වර්ෂයේ (2021) දෙසැම්බර් මස 31 දින වනවිට ද ෆිනෑන්ස් සමාගමෙහි බලපත්‍රය අවලංගු කිරීම හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලට රුපියල් මිලියන 205.49ක ආදායමක් අහිමිව තිබුණි. කෙසේ වුවද මේ පිළිබඳ අරමුදලේ කළමනාකාරීත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ සමාගම ඈවර කිරීමකදී, අරමුදලට, එහි ආයෝජනය හෝ කොටසක්, ඉතිරි වටිනාකම ලෙස ලැබිය හැකි බවය. එමෙන්ම අරමුදල විසින් ඉකුත් වර්ෂයේදී (2021) සිදුකරනු ලැබූ සාමාන්‍ය කොටස් විකුණුම්වලින් සමාගම් 05ක සිදුකර තිබූ සාමාන්‍ය පිරිවැය රුපියල් මිලියන 93.39ක් වූ කොටස් අලෙවියෙන් රුපියල් මිලියන 53.76 ක ප්‍රාග්ධන අලාභයක් සිදුවී තිබුණි.

● ආයෝජනය කළ රුපියල් මිලියන 5000ක් වතුරේ

අර්ථසාධක අරමුදල විසින් 2013 වර්ෂයේ දී රුපියල් මිලියන 5000ක් කැන්විල් හෝල්ඩින්ග්ස්, හෝටල් සංකීර්ණය ඉදිකිරීම සඳහා ආයෝජනය කර තිබුණි. ලැයිස්තුගත නොවූ සමාගම්වල කොටස් ආයෝජනය යටතේ මෙකී මුදල ආයෝජනය කොට තිබූ අතර එය සියයට 53කි. මෙකී හෝටල් සංකීර්ණය නැවත ඉදිකිරීම සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සිදුකිරීමටත්, මූල්‍ය අවශ්‍යතා රැස්කිරීමටත් අධ්‍යක්ෂක මණ්ඩලයට අවශ්‍ය බලතල ලබාදීම 2020 ජනවාරි 04 වැනි දිනැති අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මගින් සිදුකර තිබුණි. එම හෝටල් සංකීර්ණය ඉදිකිරීමට අදාළ ග්‍රෑන්ඩ් හයිට් කොළඹ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2020 වර්ෂයේ ජුලි මාසයේ දී නැවත ආරම්භ කරනු ලැබීය. ඒ කොයිහැටි වුවද සැලසුම් කළ අයුරින් ඉකුත් වර්ෂයේ දෙසැම්බර් මස අවසන් වන විටද හෝටල් සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු සිදුකිරීමට නොහැකිවී තිබුණි. එබැවින් මෙම ආයෝජනය, සිදුකර වර්ෂ අටක කාලයක් ගතවී තිබුණද මෙකී ආයෝජනයෙන් කිසිදු ප්‍රතිලාභයක් අරමුදලට ලැබී නොතිබුණි. රටේ පවතින විදේශ විනිමය අර්බුදය හා ආර්ථික තත්ත්වය යටතේ විදේශීය සමාගම් මෙහි අයෝජනය කිරීමට අකමැත්ත ප්‍රකාශකොට තිබුණි. කෙසේ වුවද මේ වනවිට මෙකී හෝටල් සංකීර්ණය මුළුමනින්ම විකුණා දැමීමට යෝජනාවී තිබේ.

● සමාගම් 07ක ආයෝජනය කර තිබූ රුපියල් මිලියන 3,174,54ක් ආයෝජනයට වසර දෙකක සිට කිසිදු ප්‍රතිලාභයක් ලැබී නැහැ.

ඉකුත් (2021) වර්ෂය තුළ කොටස් වෙළෙඳපොළේ සිදුකරනු ලැබූ රුපියල් මිලියන 84,067ක් වූ සමස්ත ආයෝජනයෙන් රුපියල් මිලියන 9681ක් හෙවත් සියයට 12ක් හෝටල් ක්ෂේත්‍රයේ සමගම් 11ක ආයෝජනය කර තිබුණි. මෙකී ආයෝජනවල ඉකුත් වර්ෂයේ දෙසැම්බර් මස අවසන් වනවිට වෙළෙඳපොළ අගය රුපියල් මිලියන 2659.51කින් අඩුවී තිබුණි. 2019 හා 2020 යන වර්ෂයන් තුළ ආයෝජනය කොට තිබූ මුදල රුපියල් මිලියන 10,084,28කි. 2021 වර්ෂය අවසානයේදී රුපියල් මිලියන 968152 ක් ආයෝජනය කොට තිබුණි. එහෙත් මෙකී ආයෝජනයන් සඳහා ඉකුත් වර්ෂයේ කිසිදු ප්‍රතිලාභයක් ලැබී නොතිබුණි. එමෙන්ම සමාගම් 07ක සිදුකර තිබූ රුපියල් මිලියන 3,174,54ක් ආයෝජන සඳහා 2019 හා 2020 වර්ෂය තුළදී කිසිදු ප්‍රතිලාභයක් ලැබී නොතිබුණි.

මිලියන 12.61ක් වැයකළ මිලදීගත්, කාඩ්පත් 15000න් කිසිදු ප්‍රයෝජනයක් අරන් නැහැ. යන්ත්‍ර 35 ද විනාශ මුඛයේ සේවක අර්ථසාධක අරමුදල විසින් අරමුදලේ සාමාජිකයන්ට නව හැඳුනුම්පත් නිකුත් කිරීම සහ නැවත ලියාපදිංචි කිරීමේ පරිගණක කටයුතු සඳහා රුපියල් මිලියන 12.61 මුදලක් වැයකොට කාඩ්පත් 15000ක් මිලදී ගෙන තිබුණි. එහෙත් එම කාඩ්පත් කිසිදු ප්‍රයෝජනයට නොගෙන විනාශ වෙමින් පැවතුණි. 2008 වර්ෂයේදී මෙකී කඩ්පත් මිලදීගෙන තිබුණි. කාඩ්පත් මිලදීගෙන වසර 09 කටත් අධික කාලයක් ගතවී ඇති අතර මෙකී කාඩ්පත් තොගය කිසිදු ප්‍රයෝජනයකට නොගෙන නිශ්කාර්යව පැවතුණි. එමෙන්ම මෙකී ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 17.67 වැය කර යන්ත්‍ර 35ක් මිලදීගෙන තිබුණි. මින් යන්ත්‍ර 02ක් අපහරණය කර තිබූ අතර ඉතිරි යන්ත්‍ර 33 සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ගයක් ගෙන ක්‍රියාත්මක කර නොතිබූ බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. සවිකර ඇති යන්ත්‍ර ප්‍රධාන කාර්යාලයට රැගෙනවිත් ප්‍රයෝජනයට ගතහැකි කොටස් භාවිතයට ගැනීමට කටයුතු කරන බවට සේවක අර්ථසාධක අරමුදලේ කළමනාකාරීත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත.

● පොල් මණ්ඩලයේ සේවක අර්ථසාධක අරමුදල් වංචාව කෝටි 07යි.

සේවක ආර්ථසාධක අරමුදල් පනතේ 27 වැනි වගන්තිය ප්‍රකාරව අනුමත කරනු ලබන පුද්ගලික සේවක අර්ථසාධක අරමුදල් පවත්වාගෙන යනු ලබන ආයතන සංඛ්‍යාව ඉකුත් වර්ෂය අවසන් වනවිට 117කි. කෙසේ වුවද මෙකී අරමුදල විධිමත් පරිදි නියාමනය වීමක් සිදුනොවේ. මේ නිසා ලියාපදිංචි වී ඇති ආයතන සංඛ්‍යාව, නිවැරදිව, හඳුනා ගැනීමට නොහැකිවී ඇත. ඒ විතරක් නොව දායක මුදල් නොගෙවීමේ අවස්ථා හෙළිදරව් නොවීම, අධිභාර ක්‍රියාත්මක නොවීම, එම ආයතනවල නිලධාරීන් විසින් වංචනික ලෙස මුදල් ලබා ගැනීම ආදිය ද නිසි පරිදි සිදුනොවේ. එමෙන්ම සේවායෝජක, ආයතනවල, ව්‍යවස්ථා, ඉදිරිපත් නොවීම, පැමිණිලි විභාග කිරීමට ක්‍රියාත්මක නොවීම හා අරමුදලේ සාමාජික සංඛ්‍යාව සක්‍රීයව ක්‍රියාත්මක නොවන ආයතනවල ශේෂය හා හිඟ දායක මුදල් හඳුනා ගැනීමට නොහැකිවී ඇත. විධිමත් නියාමනයක් නොමැතිවීමෙන් පොල් වගාකිරීමේ මණ්ඩලයේ අනුමත සේවක අර්ථසාධක අරමුදලින් රුපියල් හත්කෝටි, තිස්අටලක්ෂ තිස්නමදහස් තුන්සිය හැටනමයක් (73,839,369) ක් එහි නිලධාරීන් විසින් වංචාකොට තිබුණි. එමෙන්ම එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම විසින් 2019, 2020, 2021, යන වර්ෂයන් සඳහා රුපියල් මිලියන 107ක අධිභාර ගෙවිය යුතු බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි.

● සේවකයන්ගේ ගිණුම්වලට බැර නොවූ මුදල්

සේවක අර්ථසාධක අරමුදලේ හිමිකරුවන්ට ප්‍රතිලාභ නියමිත පරිද ලබාදීම කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යයකි. සේවකයන්ගේ දායක මුදල්වලට බැරවිය යුතු අර්ථසාධක අරමුදල්වලින් කොටසක් දීර්ඝකාලයක් තිස්සේ විවිධ හේතූන් මත එම ගිණුම්වලට බැර නොවී කම්කරු දෙපාර්තමේන්තුවේ පොදු තැන්පත් ගිණුමේ හා ශ්‍රී ලංකා මහ බැංකුවේ පවත්වාගෙන යනු ලබන කම්කරු කොමසාරිස් ගිණුමට බැරකොට තිබුණි. 2021 දෙසැම්බර් මස 31 දින වනවිට ශ්‍රී ලංකා මහ බැංකුවේ කම්කරු කොමසාරිස් ගිණුමේ ශේෂය රුපියල් 9,933,449,163 කි. මෙකී ගිණුමට බැරවී නිරවුල් නොවූ වසර 05, 25 අතර පැරණි ශේෂය රුපියල් 4,583,817,783කි. අරමුදලේ සාමාජික අරමුදල තුළ කම්කරු කොමසාරිස් නමින් පැවති ගිණුමේ සේවා යෝජකයන්ට එරෙහිව නඩු පැවරීමෙන් දෙපාර්තමේන්තුව විසින් අයකරගෙන තිබූ මුදල රුපියල් මිලියන 11,456කි. මුදල සහ එසේ නඩු පැවරීමෙන් අයකරගෙන නිරවුල් කරනතුරු පොදු තැන්පත් ගිණුමක රඳවාගෙන තිබූ රුපියල් මිලියන 301ක් වූ මුදල එක් එක් සාමාජික ගිණුම්වලට බැරකිරීමට කටයුතු කර නොතිබුණි.

● කෝටි 13 ක කුලී ආදායමක් අහිමිවෙලා

කම්කරු දෙපාර්තමේන්තුවට අයත් මෙහෙවර පියස ගොඩනැඟිල්ලේ, වසර 02ක ට වඩා වැඩි කාලයක සිට කිසිදු ප්‍රයෝජනයකට නොගෙන පවතින ඉඩකඩ ප්‍රමාණය වර්ග අඩි 102,725කි. ඉන් වර්ග අඩි 39,180ක මාසික තක්සේරු කුලිය රුපියල් 6,981,000කි. මෙකී ඉඩකඩින් කිසිදු ප්‍රයෝජනයක් නොගැනීම නිසා ඉකුත් වර්ෂය තුළ (2021) රුපියල් අටකෝටි, තිස්හත්ලක්ෂ හැත්තෑදෙදහසක (83,772,000) කුලී ආදායමක් අහිමිවී තිබුණි. ඒ විතරක් නොව කම්කරු මහලේකම් කාර්යාල ගොඩනැඟිල්ලේ භාවිතයට නොගන්නා ඉඩකඩ වර්ග අඩි 36,741කි. එම ඉඩකඩ ප්‍රමාණය මාස 10ක සිට අවුරුදු 02ක කාල පරාසයක සිට කිසිදු ප්‍රයෝජනයකට නොගෙන පවතින අතර මේ නිසා ඉකුත් වර්ෂය තුළ (2021) අහිමිවී ඇති ආදායම රුපියල් හයකෝටි, විසිහතරලක්ෂ අසූදහසකි. (62,481,000).

● ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment