සේවක අර්ථසාධක අරමුදලේ කොටස් ආයෝජනවල අගය ඉහළට

189

සේවක අර්ථසාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම්වල සිදු කර ඇති ආයෝජනවල අගය මේ වන විට සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

මේ අනුව සේවක අර්ථසාධක අරමුදල විසින් ලැයිස්තුගත සමාගම් 68 ක රු. බිලියන 84.09 ක් ආයෝජනය කර ඇති අතර 2021 සැප්තැම්බර් 30 දිනට ඒවායේ වෙළෙඳපොළ වටිනාකම රු. බිලියන 91.92 ක් දක්වා වැඩි වී ඇත.

ඒ අනුව සේවක අර්ථසාධක අරමුදලට එම කොටස් අගය වැඩිවීම හරහා රු. බිලියන 7.83 ක උපලබ්ධි නොවූ ලාභය ලැබී තිබේ. 2021 සැප්තැම්බර් 30 වන විට අර්ථසාධක අරමුදලේ කොටස් වෙළෙඳපොළ ආයෝජන කළඹ පිළිබඳ සටහනක් මේ වන විට නිකුත් කර තිබේ. ඊට අනුව මේ බව අනාවරණය වේ.

එහිදී අර්ථසාධක අරමුදලේ කොටස් වෙළෙඳපොළ ආයෝජන කළඹට ලාභදායීත්වයෙන් වැඩිම දායකත්වයක් ලබා ඇත්තේ එල් ඕඑල්සී හෝල්ඩිංග්ස් සමාගම විසිනි. මීට අමතරව තවත් සමාගම් කිහිපයක ආයෝජන හරහා අර්ථසාධක අරමුදලේ කොටස් ආයෝජන අගය වැඩි වී ඇත.

අර්ථසාධක අරමුදල යනු ශ‍්‍රී ලංකාවේ විශාලතම සමාජ ආරක්ෂණ යෝජනා ක‍්‍රමය වන අතර එම අරමුදලේ පරිපාලන කටයුතු කම්කරු දෙපාර්තමේන්තුව මගින් සිදු වෙයි. එහි අරමුදල් කළමනාකරණය මුදල් මණ්ඩලය හරහා ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment