සොයා පිළිසරණක්

235

වෙසක් පුන් පොහොය දිනයක උත්පත්තිය ලබා, එබඳු දිනයකම සම්මා සම්බුද්ධත්වයට පත්ව පුරා වසර හතළිස් පහක් (45) මුළුල්ලේ සකල සත්වයා වෙත පතල මහා කරුණාවෙන් අතිමහත් සේවාවන් රැසක් සිදුකොට, වෙසක් දිනයකම පිරිනිවන් පා වදාළ අප සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ මූලික අභිප්‍රාය වූයේ සියලු සත්වයන් සසරින් එතෙර කරවීම බව ප්‍රකට කරුණකි. උන්වහන්සේ සිතු සෑම සිතුවිල්ලක්ම, සිදුකළ හැම ක්‍රියාවක්ම, වදාළ හැම වදනක්ම මෙම උදාර පරමාර්ථය සාක්ෂාත් කරනු සඳහාම යොමුවුණු බව ත්‍රිපිටකාගත තොරතුරු වලින් පැහැදිලි වෙයි.

බුදුරජාණන් වහන්සේම වදාරන ලද පරිදි තමන් වහන්සේ බුද්ධත්වයට පත්වීමට පෙරම බෝධිසත්ව අවධියෙහිම ලෝකයෙහි සත්වයා උපදී, ජරාවට පත්වෙයි, චුත වෙයි, නැවත උපදියි.

“ජායාති, ජියාති, මීයති, චවති, උප්පජ්ජති”

යන සංසාරයෙහි ඇති දුක් සහිත බව අවබෝධ කරගත් අතර ඒ නිසාම මේ සසරින් සියලු සත්වයන්ම මුදා ගැනීමට එතෙර කරවීමට, උන්වහන්සේට අවශ්‍ය විය. සුමේද තාපසව ඉපිද දීපංකර සම්බුදු පාමුල රහත්බවට පත්ව සසරින් එතෙර වීමට හැකියාව තිබියදී එම අවස්ථාව මගහැර “මම පමණක් තනිව සසරින් එතෙරවීම නුසුදුසුය. මම බුද්ධත්වයට පත්ව දෙවියන් මිනිසුන් සහිත සත්වයන් මහා භයානක වූ සසරින් එතෙර කරන්නෙමි.”

නැවත සසරට පැමිණ සාරාසංඛ කල්ප ලක්‍ෂයක් අවුරුදු මුළුල්ලේ බුද්ධ කාරක ධර්ම සම්පූර්ණ කොට, සයවසක්ම අතිශය බියකරු දුෂ්කර ක්‍රියාකොට බුද්ධත්වයට පත්ව දිනකට සුළු වේලාවක් පමණක් විවේක ගනිමින් බුදුරජාණන් වහන්සේ කටයුතු කළේ සත්වයා සසරින් එතෙර කරවීමටය. අප හැම දෙනාගේද පරමාර්ථය විය යුත්තේ මේ බියකරු දුක් සහිත සසරින් අද අදම මේ ගෞතම බුදු සසුන තුළදීම එතෙර වීමට වීර්ය කිරීමය. එය අපගේ පූර්ණ වගකීම හා යුතුකමද වනුයේ අප වෙනුවෙන් ඉමහත් කැපවීමක් කළ බුදුරජාණන් වහන්සේට කරන ගෞරවයක් මෙන්ම කෙළෙහිගුණ සැලකීමක්ද වන නිසාය.

ඒ සඳහා එකම මග, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාව හෙවත් මධ්‍යම ප්‍රතිපදාව නොහොත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය බව ප්‍රථම ධර්ම දේශනාව වූ ධම්මචක්කපවත්තන සූත්‍රයේදී පැහැදිලිව දක්වා ඇත. එම මාර්ගයේ අංග අටක් ඇත.

  1. සම්මා දිට්ඨි – යහපත් දැකීම
  2. සම්මා සංකප්ප – යහපත් සංකල්පනා ප්‍රඥා
  3. සම්මා වාචා – යහපත් වචන
  4. සම්මා කම්මන්ත – යහපත් කායික ක්‍රියා සීල
  5. සම්මා ආජීව – යහපත් දිවි පෙවෙත
  6. සම්මා වායාම – යහපත් වෑයම
  7. සම්මා සති – යහපත් සිහිය සමාධි
  8. සම්මා සමාධි – යහපත් සමාධි

මෙම අංග අටෙන් අදහස් කරන්නේ බුදුදහමේ

ඉගැන්වෙන සීල සමාධි ප්‍රඥා යන ත්‍රිශික්‍ෂාවත් දියුණු කර පරිපූර්ණත්වයට පැමිණීමයි. සීලය වනාහි බුද්ධ ධර්මයේ පදනමයි. සීලමය ශික්‍ෂාව පිරීමේදී කරුණාව හා ප්‍රඥාවට ප්‍රමුඛත්වයක් ලැබේ. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සමාධි ශික්‍ෂාවට සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන අංග තුන ඇතුළත් වේ. මෙහිදී නූපන් අකුසල් ඉපදීමට ඉඩනොදීම, උපන් අකුසල් නැති කිරීමත්, නූපන් කුසල් ඉපිදවීමත්, උපන් කුසල දියුණු කිරීමත් කළ යුතුය.

සත්වයාගේ විසුද්ධිය පිණිස පවතින ඒකායන මාර්ගය හැටියට සැලකෙන සතර සතිපට්ඨානය වැඩීම සසරින් එතෙර වීමේදී අවශ්‍ය වන යථා තත්වාවබෝධයට අතිශයින්ම ඉවහල් වෙයි. සම්මා සමාධිය ධ්‍යාන සතර ලබාගැනීමට ඉවහල් වෙයි. පංචනීවරණ යටපත් වී සම්මා සමාධියේදී ඒකාග්‍රතාවෙන් යුතු පිරිසිදු උපේක්‍ෂාවත් සිහියත් ඇතිවෙයි.

චතරාර්යය සත්‍ය පිළිබඳ යථා තත්වාවබෝධය සම්මාදිට්ඨියෙන් සිදුවෙයි. කම්සැප හැර දැමීමේ කල්පනා, ව්‍යාපාදයෙන් තොර මෛත්‍රී කල්පනා සහ හිංසාවෙන් තොර කරුණා කල්පනා සම්මා සංකප්ප අංගයට ඇතුළත්ය. ස්වකීය පෞද්ගලික හෝ සමාජයීය ජීවිතයේදී සිල්වත් ගුණවත් නුවණැති පුද්ගලයකු වීම සසරින් එතෙර වන මාර්ගයේදී අත්‍යවශ්‍ය අංග වන බව පැහැදිලි වෙයි.

ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අංග අටෙන් අදහස් කරන්නේ ශීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්‍ෂාවන් දියුණු කර පරිපූර්ණත්වයට පුද්ගලයා පැමිණවීමයි. බොහෝ දෙනකු පින්දහම් කරනු ලබන්නේ සසර එපා වී සසරින් එතෙර වීමට නොව සසර පතාම බව බොහෝවිට දක්නට ලැබේ. එසේම ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ එක එක අංග වෙන වෙනම නොව පොදුවේ හැම ගුණාංගයක්ම එකවර සමගාමීව පුහුණු කළ යුතුය.

සසරින් එතෙරවීමේ මාර්ගයේදී චතුරාර්යය සත්‍යය සම්බන්ධව පුද්ගලයකු විසින් කළයුතු කාර්යයන් හතරක් තිබේ.

  1. දුක්ඛ සත්‍යයෙන් ජීවිතයේ ස්වභාවයත්, එහි දුක්දොම්නස් ස්වභාවය මෙන්ම අඩුපාඩුත්, එහි වෙනස් වන සුළු බවත් දැක්වෙන බැවින් එය සත්‍යයක් බව වටහාගත යුතුය. (පරිඤ්ඤෙය්‍ය)
  2. සමුධය සත්‍ය නම් තෘෂ්ණාව මුල්කරගෙන පවතින කෙලෙස් නිසා දුක හටගන්නා බවත්, මෙයද සත්‍යයක් බව වටහාගත යුතු අතර කළයුත්තේ තෘෂ්ණාව ප්‍රහාණය කිරීමයි. නැත ිකිරීමයි. (පහාතබ්බ)
  3. නිරෝධ සත්‍ය නම් නිර්වාණයයි. පරම සත්‍යයයි. සසරින් එතෙර වීමයි. නැවත උපතක් ඇතිකරන තෘෂ්ණාව සහමුලින්ම ක්‍ෂය කිරීමයි. කාමච්ඡන්දාදී දස සංයෝජන ධර්ම බිඳහැර දමා ලබන අරහත්වයයි. (සච්ජිකාතබ්බ)
  4. මාර්ගය කොතරම් හොඳින් දැන සිටියත්, එපමණකින් ඵලයක් නොමැති බැවින් කළයුත්තේ අරිඅටඟි මග පිළිපැදීමයි. වැඩීමයි. පුහුණු කිරීමයි. ක්‍රියාත්මක කිරීමයි. (භාවේතබ්බ)

අප්‍රමාදීව ඒ සඳහා වෙහෙස වෙමු.

දඩල්ල, වාළුකාරාම වෙහෙරවැසි,
ශාස්ත්‍රපති, රත්ගම සුනීත හිමි

සංස්කරණය – නිශාන්ත අමරසිංහ
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment