සොයුරු වියෝවෙන් ළය පෑරී සොයුරියගේත් හුස්ම නවතී

860

දෙදෙනාගේම මරණවලින් කම්පා වී අයියාගේ  දරු දෙදෙනාත් මස්සිනා සහ නැන්දාත්  රෝහල් ගත කරති

කළුතරින් ඇසුණු  දුක්මුසු  පුවත


මියගොස් ඇති අසේල සුරංග සිල්වා – අය්යාගේ මරණයේ වේදනවෙන් මියගොස් ඇති රංගි දුලංජනී සිල්වා

කළුතර ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකුගේ මරණයෙන් පසු කම්පාවට පත් ඔහුගේ බාල සොයුරිය මියගොස් ඇති අතර දියණිය පුතා දෙදෙනා ඇතුළු සිව්දෙනෙකු රෝහල් ගතකර ඇති පුවතක් කළුතර ප්‍රදේශයෙන් වාර්තාවේ.

පෞද්ගලික ආයතනයක සේවය කළ කළුතර, නාගොඩ, බෝපිටියවත්ත, 3 වන පටුමගේ පදිංචිව සිටි අගම්පොඩි අසේල සුරංග සිල්වා නමැති 42 හැවිරිදි දෙදරු පියෙකු පපුවේ අමාරුවකින් ඉකුත් 10 දා මියගොස් ඇති අතර පසුදින ඔහුගේ අවසන් කටයුතු සිදුකිරීමට සූදානම් වන අවස්ථාවේ දේහය අසල වැලපෙමින් සිටි ඔහුගේ බාල සොයුරිය වන අගම්පොඩි රංගී දුලංජනී සිල්වා නමැති 31 හැවිරිදි අයද දේහය අසල ඇදවැටී මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

ඔවුන්ගේ වියෝවෙන් පසු අසේල සුරංගගේ දියණිය, පුතා, මස්සිනා සහ නැන්දා ද කම්පනය හේතුවෙන් කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

මියගොස් ඇති රංගී දුලංජනී සිල්වා යන අයගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ පස්වරුවේ කළුතර ශික්ෂණ රෝහලේ දී සිදුකිරීමට නියමිතව තිබුණි.

කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක සුනෙත් ශාන්ත මහතාගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාන්ත ද සිල්වා මහතා ගේ මූලිකත්වයෙන් සැරයන් එස්.ඒ.ආර්.කේ. ද සිල්වා (55318) මූලික පරීක්ෂණ සිදුකරති.

ආර්.ඒ.එස්.ප්‍රේමතිලක බණ්ඩාරගම
 

advertistmentadvertistment
advertistmentadvertistment