සොරි.කොම්

1192

ශ්‍රී දළදා වහන්සේ සම්බන්ධයෙන් අගතිමත් සහ අපහාසාත්මක ප්‍රකාශයක් කිරීම ගැන අත්අඩංගුවට පත්වූ සේපාල් අමරසිංහ නමැති යූටියුබ් නිවේදකයාට සිරකරුවන් සහ බන්ධනාගාර නිලධාරීන් පිරිසක් විසින් රිමාන්ඩ් සිරගෙදර තුළදී පහරදෙනු ලැබ ඇතැයි දැනගන්නට තිබේ. මෙය තමයි අපේ මිනිසුන් වැඩ අල කරගන්නා ක්‍රමය. සේපාල් අමරසිංහ වරදක් කර ඇත්නම් එය විනිශ්චය කර දඬුවම් දිය යුත්තේ උසාවිය මගින් මිස කොහෙවත් ඉන්න ජේලර්ලා හෝ හද්දා අපරාධ කර ඇති රිමාන්ඩ් සිරකරුවන් නොවේ. රිමාන්ඩ් එකේ සිටින්නේ කුමක් හෝ වරදක් කිරීම සම්බන්ධයෙන් කුදලාගෙන ආ පිරිස්ය. එබැවින් සේපාල් අමරසිංහට පළමු ගල ගැසීමේ අයිතිය ඔවුන්ට නැත. ජේලර්ලා පිළිබඳ කතන්දරය වෙනම එකකි. හිර ගෙදර සිදුවන සහ හිර ගෙදර සිට සිදුකරන අපරාධ බොහොමයක ප්‍රධාන ලින්ක් එක වන්නේ ඇතැම් ජේලර්වරුය. ඒ නිසා මේ සම්බන්ධයෙන් තියුණු පරීක්ෂණයක් කර වැරදිකාර රිමාන්ඩ් සිරකරුවන් මෙන්ම වැරදිකාර ජේලර්ලාද කනෙන් අල්ලා හිර ගෙදර බාල්කවල එක දිගට එල්ලා තබන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු.

මීළඟට අප ඔබට කියන්නට යන කතාවද අතේ පත්තුවුණ රතිඤ්ඤයක් හා සමාන දෙයකි. සපුගස්කන්දේ විශාකා බාලිකා විදුහලේ පැවති උත්සවයකට පැමිණි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් කතාවක් කරමින් මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා ජනතාවගේ පූර්ණ සහය පොලිසිය වෙත ලැබිය යුතු යැයි සඳහන් කර ඇත. මේ වන විට ඇතැම් පාසල් දරුවන්ද මත්ද්‍රව්‍යවලට නැඹුරු වී ඇති බවත් ඒ නිසා පාසල් යන දරුවන්ගේ පොත් බෑග් පවා පරීක්ෂා කිරීමට සිදුවී ඇති බවත් නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් මෙහිදී තවදුරටත් පැවසීය. ඔහු මේ කතාව කළ දවසේදීම බිබිල පොලිසියට ලද තොරතුරක් මත රතුපස්කැටිය ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී ගංජා සුරුට්ටු ගැසීමට සූදානමින් සිටි පාසල් ශිෂ්‍යයන් දස දෙනකු අත්අඩංගුවට ගැනීමට හැකි විය. ශිෂ්‍යයන් සතුව තිබූ ගංජා ප්‍රමාණය ග්‍රෑම් 257 කි. එය කිලෝග්‍රෑම් කාලකට ටිකක් වැඩිය.

කිලෝග්‍රෑම් කාලකින් ග්‍රෑම් 25 බැගින් බර ගංජා සුරුට්ටු දහයක් එතිය හැකිය. මෙවැනි එක සුරුට්ටුවක් ගසන ශිෂ්‍යයකු පැය 48 ට කිට්ටු කාලයක් ආත භූත වී සිටින අතර කිරි තේ මුහුදක් දිගේ එන මස්කට් නැව් හමුදාවක් මනසින් දකී. එබැවින් මේ හදිසි වැටලීම කළ බිබිල පොලිසියට අපි ස්තුතිය පළකරමු. මේ අතර මීටත් එහා ගිය තවත් දරුණු කතාවක් අපට දැනගන්නට ලැබිණ. ඒ වූකලී මොනරාගල කොට්ඨාසය භාර එස් එස් පී මහත්තයා ගංජා කිලෝ 15 ක් සහ නිධන් හාරන උපකරණ තොගයක් සමග අත්අඩංගුවට පත්ව ඇති බවය. මේ අත්අඩංගුවට ගැනීම විශේෂ කාර්ය බළකාය මගින් සිදුකර ඇත. නීතිය සහ සාමය ආරක්ෂා කිරීමටත්, ප්‍රචණ්ඩ ක්‍රියා මැඩපැවැත්වීමටත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමතලා කිරීමටත් කැපවී සිටින පොලිසියේ ඉහළ ලොක්කකු මේ ආකාරයෙන් හැසිරීමෙන් පොලිසියට වන අවමානය කෙළවරක් නැත. ඊළඟට එස් එස් පී ගංජා ගහනවා නම් අපි ගංජා ගැහුවහම හෙණ ගහනවා දැයි අසමින් මේ රටේ සිටින ගංජා ලෝලී ජනතාව විශාල කලබලයක් කරනවා ඇත. හෙරොයින්, කොකේන්, අයිස්, ගංජා යන මත්ද්‍රව්‍ය පිළිබඳ සොයා බැලීමේදී පෙනී යන වැදගත් කාරණයක් වන්නේ මේ මත්ද්‍රව්‍යවලින් අඩුම මිලට ලබාගත හැක්කේ ගංජා බවය. ඊළඟට මිල අඩු මත්ද්‍රව්‍ය අයිස්ය. කොකේන් සහ හෙරොයින් ගහන එකාට දිනකට රුපියල් 3000 ක් සහ 5000 ක් අතර මුදලක් වැය වෙද්දී අයිස් ගහන එකාට වැයවන්නේ රුපියල් 500 ක් වැනි මුදලකි. එසේම ගංජා ගහන එකාට රුපියල් 250 න් දෛනික අවශ්‍යතාව ඉටුකරගත හැකිය.

පොලිස් දෙපාර්තම්නේතුවේ සිටින රාළහාමිලා සහ උසස් නිලධාරීන් මත්ද්‍රව්‍යවලට හුරුවී ඇති බව මෙයට මාස කිහිපයකට පෙර කෙරුණු සමීක්ෂණයකදී හෙළිවිය. පොලිසිය නිතරම ජීවත්වන්නේ අපරාධකාරයන් ඇසුරෙහිය. එසේම මත්ද්‍රව්‍ය වෙළෙන්දන් සහ මත්ද්‍රව්‍ය ලෝලීන් සමග උරෙනුර ගැටී කටයුතු කිරීමට ඔවුන්ට සිදුවේ. එසේ කල්ගත වත්ම තමන් අතපත ගාන ගංජා ගැන හෝ තමන් සමග නෛතික ගනුදෙනු සිදුකරන අයිස්කාරයන් ගැන හෝ තිබෙන විශේෂ අදහස යටගොස් ඔවුන් තමන්ගේම කොටසක් ලෙස සැලකීමට පොලිසිය පුරුදු වෙයි. ඊළඟට මත් ජාවාරම්කාරයෝත් කුඩ්ඩෝත් එක ගොඩේ පාටි දමති. මත්ද්‍රව්‍ය විකුණන පවුල් සහ පොලිස් පවුල් එකට ටි්‍රප් යති. මත්ද්‍රව්‍ය ජාවාරමේ ඉහළම සිටින කෝටිපති ව්‍යාපාරිකයෝත් පොලිසියේ ඇතැම් ලොක්කෝත් එකට රට යති. මෙය සමාන වන්නේ කුමකටද? මෙන්න මේ කාරණයටය; ගෙවල් වයරින් කරන සහ විදුලිය සමග වැඩකරන ඇතැම් පුද්ගලයන්ට කරන්ට් වැදුනාට කිසිදු ගාණක් නැත. එයට හේතුව එම පුද්ගලයන් දීර්ඝ කාලයක් තිස්සේ විදුලිය ඇඟේ ගා ගැනීමෙන් තවදුරටත් එයට සංවේදී නොවීමය. මේ තත්ත්වය සෑම තැනකම පවතී. උදාහරණයක් වශයෙන් මත්ද්‍රව්‍ය ඉවකරන සුනඛයන් නිසි කාලයේදී එම කටයුත්තෙන් විශ්‍රාම නොගැන්නුවොත්, ජීවිතයේ ඉතිරි කාලය ගත කරන්නේ කුඩුකාරයන් මෙන් හොටු පෙරාගෙනය. එයට හේතුව නිතර නිතර කුඩු ඉව කිරීම නිසා එම සතුන්ද කුඩු කාරයන් බවට පත්ව සිටීමය. යුද්ධය පැවති කාලයේදී යුද හමුදාවට අයත් තුවක්කු කොටි සංවිධානයටත්, කොටින්ගෙන් ලබාගත් තුවක්කු පාතලයටත් විකුණූ ඇතැම් ආරක්ෂක අංශ නිලධාරීහු සිටියහ. මෙන්න මේ සංවේදී තැන තේරුම් ගෙන එය තවදුරටත් නොවීම සඳහා කිසියම් වැඩපිළිවෙළක් යෙදීම රජයේ වගකීම වේ. නොඑසේ නම් මුළු පොලිසියම ගංජා බිස්නස් කරන දවසක් ආවොත් එම අවස්ථාව sorry.com ලෙස හැඳින්වීමට අපට සිදුවනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment