සොහොන්පල්ලෙක් වුවමනා කර ඇත!

419

දියවන්නා පාර්ලිමේන්තු සංකීර්ණයට වසර 40 ක් වූයේ 2022 අප්‍රේල් 19 දිනය. උත්සව නැත. උත්සව තැබීමට බලයේ සිටින පොහොට්ටු පක්ෂයට අවස්ථාවක් නැත. ඒ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක පාර්ලිමේන්තු ක්‍රමයට එරෙහිව ජනතාව නැගී සිටීම නිසාය. විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව ගාලු මුවදොර පරණ පාර්ලිමේන්තුව ඉදිරිපිට ක්‍රියාත්මක ‘ගෝ ගෝඨා හෝම්’ ව්‍යාපාරය, අග්‍රාමාත්‍ය නිල නිවාස (අරලියගහ මන්දිරය) විරෝධතා මෙන්ම මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ විජේරාම නිවස ඉදිරිපිට විරෝධතා අවධාරණය කරන්නේ සමස්ත දේශපාලන ක්‍රමයට එරෙහිව නැගෙන ජනතා කෝපය බව බල කණු තුනම වටහා ගත යුතුය. පාර්ලිමේන්තු ක්‍රමය තවදුරටත් ශ්‍රී ලංකාවට අවශ්‍යද, මහජන මුදලින් පාර්ලිමේන්තුව නඩත්තු කිරීමේ තේරුමක් තිබේද? යන ප්‍රශ්න ජනතාව නගයි. පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට උසුළු විසුළු කරන, හූ කියන රටක ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ බව කවුරු කවුරුත් තේරුම් ගත යුතුය. මහජන ආරක්ෂාව සහ සංචාරක විෂය භාර ප්‍රසන්න රණතුංග මැයි 04 දින පාර්ලිමේන්තුවේදී පැවසුවේ මැති සබයට පැමිණෙන මැති ඇමැතිවරුන්ට හූ කීම සහ බාධා කිරීම හේතුවෙන් සමාජ ක්‍රියාකාරීන් දුසිමක් පමණක් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේදී අත්අඩංගුවට ගත් බවයි. එම කණ්ඩායම කථානායකවරයාට භාර දීමට ගෙන ආ ලිපියක් එතුමාගේ මාධ්‍ය ලේකම් ඉඳුනිල් අබේවර්ධන අතට දීමෙන් සුළු වෙලාවකට පසුව අත්අඩංගුවට පත්විය. උසාවිය ඔවුන්ට එදිනම ශරීර ඇප නියම කළේය. මන්ත්‍රීවරුන්ට හූ කීම පොලිස් අත්අඩංගුවට පත්විය හැකි වරදක් බව දැනගැනීමට ලැබුණේ එදාය. බල කණු තුනටම අද ජනතාව පක්ෂ භේදයකින් තොරව හූ කියයි. අපහාස කරයි.

අධිකරණ සහ මුදල් ඇමැති ජනාධිපති නීතිඥ මොහමඩ් අලි සබ්රි ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය අවධාරණය කර ඇත. පසුගිය මාර්තු 02 දින ස්වර්ණවාහිනී නාලිකාව සමඟ පැවැති සජීවී මාධ්‍ය සාකච්ඡාවකදී සහ මාර්තු 04 දින පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශ අතිශය ආන්දෝලනාත්මකය.

රටට ඩොලර් සහ ආණ්ඩුවට රුපියල් නැතිවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා කළ ප්‍රකාශ ඉතිහාස ගතවී හමාරය. සබ්රි අමාත්‍යවරයා කළ එම ප්‍රකාශ දෙකින් පසුව හිටපු මුදල් ඇමැති වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂට හෝ වෙන කිසිදු අමාත්‍යවරයකුට ආර්ථිකය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ නොහැක. මහින්ද රාජපක්ෂට (2019 දෙසැම්බර් සිට 2021 ජුලි) සහ ඉන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවේ මුදල් ඇමැති වූ බැසිල් රාජපක්ෂට (2021 ජුලි සිට 2022 මාර්තු ) කථා කරන්නට දෙයක් නැත. පොහොට්ටු පක්ෂය ද නිරුත්තර කර ඇත. සබ්රි අමාත්‍යවරයා අවධාරණය කළේ ශ්‍රී ලංකාව සම්පුර්ණයෙන්ම ආර්ථිකමය වශයෙන් ශුන්‍ය වී ඇති බවත්, වර්තමාන තත්ත්වයෙන් ශ්‍රී ලංකාව ගලවා ගැනීම ජාත්‍යන්තර උදව් උපකාර මත පමණක් කළ හැකි බවත් ඊට අවශ්‍ය දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීම පාර්ලිමේන්තුවේ ප්‍රධාන වගකීම විය යුතු බවත්ය.

එම වගකීම පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන පක්ෂ තවමත් වටහා ගෙන නැති බව පැහැදිලිය. මෙම තත්ත්වයට වගකිව යුතු ප්‍රධාන පක්ෂය පොහොට්ටු ආණ්ඩුව බව අමුතුවෙන් කිව යුතු නැත. අලි සබ්රි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් කැබිනට් මණ්ඩලය (තමන්ද ඇතුළුව) කළ සියලු වැරදි පිළිගෙන ඇත. එවැනි පාපොච්චාරණයක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ සිදුවූයේ පළමු වතාවටය.

සොහොන්පල්ලෙක් වුවමනා කර ඇත!

සබ්රි අමාත්‍යවරයා මෙම තත්ත්වයට වගකිව යුතු පුද්ගලයන් ලෙස කැබිනට් මණ්ඩලයට අමතරව වරද සහ වගකීම පැටවූයේ මහ බැංකු අධිපතිවරුන් වූ මහාචාර්ය ඩබ්ලිව්. ඒ. ලක්ෂ්මන් (2019 දෙසැම්බර් සිට 2021 සැප්තැම්බර්) සහ අජිත් නිවාඩ් කබ්රාල් (2021 සැප්තැම්බර් -2022 මාර්තු), ජනාධිපතිවරයාගේ ලේකම් සහ මූල්‍ය උපදේශකයෙකු වූ ආචාර්ය පී. බී. ජයසුන්දර (2019 නොවැම්බර් සිට 2021 දෙසැම්බර්) සහ මුදල් ලේකම් එස්. ආර්. ආටිගල (2019 නොවැම්බර් සිට 2022 මාර්තු) මතය. මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කිසිදු වගකීමකින් තොරව කටයුතු කර ඇති බව වර්තමාන මුදල් ඇමැතිවරයා චෝදනා කිරීම සමස්ත පාර්ලිමේන්තුවම අභියෝගයට ලක් කර ඇත. ශ්‍රී ලංකාවේ මූල්‍ය වගකීම ව්‍යවස්ථානුකුලව හිමි පාර්ලිමේන්තුවටය. සබ්රි අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ මෙතුවක් කල් රොනී දී මැල් මුදල් අමාත්‍යවරයාගෙන් පසුව එම තනතුර හෙබවූ බොහෝ දෙනා කර ඇත්තේ මහ බැංකුව සහ මුදල් ලේකම්වරයා ලබා දෙන දත්ත සහ තොරතුරු කියවීම පමණය.

සබ්රි අමාත්‍යවරයාගේ ප්‍රකාශය අනුව ශ්‍රී ලංකාවේ බල කණු තුන වන විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය තම කාර්ය භාරය ඉටු කර නැත. සමස්ත අධිකරණ ක්‍රියාවලිය තුළ රජයේ නීතිඥයා වන නීතිපතිවරයා සහ වංචා සහ දූෂණ විමර්ශන කොමිසමේ ක්‍රියාවලිය අභියෝගයට ලක් කර ඇත.

ශ්‍රී ලංකාවට උදාවී ඇති මහත් අභාග්‍යසම්පන්න තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වඩාත් වගකිව යුතු නොවේද. නැසීගිය ඩී. බී. විජේතුංග ජනාධිපතිවරයාගෙන් පසුව එම විධායක තනතුරට පත්වූ සෑම ජනාධිපතිවරයෙකුම ශ්‍රීලනිප සාමාජිකයින්ය. යහපාලන ජනාධිපති වූ මෛත්‍රිපාල සිරිසේන ද ශ්‍රීලනිප ප්‍රබලයෙකි. ඔහුගේ පාලන සමයේ මුදල් අමාත්‍යධුරය එජාපයට හිමිවිය. රවී කරුණානායක (2015 ජනවාරි -2017 මැයි) සහ මංගල සමරවීර (2017 මැයි -2019 නොවැම්බර්), පිළිවෙළින් මුදල් අමාත්‍ය ධුරය දැරූ යහපාලන සමයේ මහ බැංකු බැඳුම්කර වංචා (2015 පෙබරවාරි සහ 2016 මාර්තු) සිදු වූ බවවත් පොහොට්ටු ආණ්ඩුවට මතක නැත.

සීසීකඩ වී ඇති පොහොට්ටු පක්ෂය තවමත් කෙසේ හෝ බලය ආරක්ෂා කර ගැනීමේ මාරාන්තික සටනක නිරත වී සිටී. සබ්රි අමාත්‍යවරයා කළ බරපතළ අනතුරු ඇඟවීම පොහොට්ටු පක්ෂය තේරුම් ගත් බවක් පෙනෙන්නට නැත. විපක්ෂය තම වගකීම වටහා ගත යුතුය. ඉටු කළ යුතුය. අවශ්‍ය කැපවීම කළ යුතුය. නමුත් ශ්‍රී ලංකාව මුහුණ දෙන ඉතාමත් අසීරු අභියෝගය ජයගැනීමට අවශ්‍ය නායකත්වය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට ආසන්න බලයක් හිමි පොහොට්ටු පක්ෂය දිය යුතුය. නමුත් සති පහක් තිස්සේ රට පුරා වර්ධනය වෙමින් පවතින විරෝධතා සමනය කිරීමට අවශ්‍ය නායකත්වය හෝ කැපකිරීම පොහොට්ටු පක්ෂය නොදෙන බව අවධාරණය කළ යුතුය. පොහොට්ටු පක්ෂයෙන් කොටසක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තවදුරටත් එම තනතුරේම තබාගෙන මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ඉවත් කර පාර්ලිමේන්තුව තුළ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට කළ යෝජනාවට සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ සහයෝගය නැත. විපක්ෂයට අවශ්‍ය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා, මහින්ද රාජපක්ෂ අගමැතිවරයා සහ වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින එම පවුලේ කිසිවකු නියෝජනය නොකරන අන්තර්වාර කැබිනට් මණ්ඩලයකි.

පොහොට්ටු පක්ෂයේ ඉතිරි කණ්ඩායම මහින්ද රාජපක්ෂ අගමැතිවරයා කෙසේ හෝ එම තනතුරේම තබා ගැනීමේ උත්සාහයක යෙදී සිටී. අගමැති තනතුර ආරක්ෂා කර ගැනීමේ මෙහෙයුම මාර්තු 31 දින පැඟිරිවත්තේ සිදු වූ ජනතා පිපිරීමේ සිට අද දක්වා (මැයි 08) සාර්ථක කර ගැනීමට එම කණ්ඩායම සමත් වී ඇත. ආණ්ඩුව හැසිරෙන වගකීම් විරහිත තත්ත්වය තුළ සමගි ජන බලවේගය ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනා දෙකක් කථානායක මහින්ද යාපා අබේවර්ධනට භාර දීම දේශපාලනික වශයෙන් වරදක් නොවේ. ජනතා විරෝධය හමුවේ ආණ්ඩුව ගෙන ඇති කල් මැරීමේ ප්‍රතිපත්තිය තුළ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ගොඩගැනීමට නොහැකි තත්ත්වයකට පත්වනු ඇත. සබ්රි අමාත්‍යවරයා කළ අනතුරු ඇඟවීම භූමිය තුළ සිදුවෙනු ඇත. ශ්‍රී ලංකාවට අවශ්‍ය පාර්ලිමේන්තුවක් නොව සොහොන්පල්ලෙකි. පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක අසික්කිත දේශපාලනය අවධාරණය කරන්නේ ජනතාවට කිසිදු බලාපොරොත්තුවක් තබා ගත නොහැකි බවයි. සබ්රි අමාත්‍යවරයා අනතුරු ඇඟවූ පරිදි දැනට හිඟ අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා තව මාස කිහිපයකින් නැත්තටම නැතිවී යනු ඇත. ශ්‍රී ලංකාවේ පිහිටට ඉන්දියාව ඉදිරිපත් වූයේ නැතිනම් ශ්‍රී ලංකාව නැවතී හමාරය. විධායකයට, ව්‍යවස්ථාදායකයට සහ අධිකරණයට කළ හැකි මඟුලක් නැත. අද ශ්‍රී ලංකාව මෙතරමින් හෝ ක්‍රියාත්මක ඉන්දියානු මැදිහත්වීම තුළය. ශ්‍රී ලංකාවේ අනාගතය ඉන්දියානු කැබිනට් මණ්ඩලය සතු බව කීවත් වරදක් නැත.

මෙම වසර තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන තුනකට වඩා වැඩි ආධාර ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබාදී ඇත. සබ්රි අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට තවත් ඉන්දියානු ණය සහ අනෙකුත් ආධාර අවශ්‍ය බව කිසිදු හිරිකිතයක් නැතිව පවසයි. ඊට අමතරව චීනයෙන් තවදුරටත් ආධාර ඉල්ලා ඇත. ජපානය සම්බන්ධයෙන් කීමට ඇත්තේද එයමය. ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාව මුළු ලෝකයටම මහත් බරකි. තිත්ත ඇත්ත එයයි. අතිශය දූෂිත, රැවටිලිකාර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය ජනතාවට අත්කර දී ඇත්තේ හිඟමනයි. විදේශිත සංචිත ඇමෙරිකානු ඩොලර් මිලියන 50 කට අඩුවී ඇත. ආණ්ඩුවට වගක් නැත. කිසිදු තේරුමක් නොමැති දේශපාලන සහ මාධ්‍ය මෙහෙයුම් කරමින් කල් මරයි. ආණ්ඩුව තුළ තවදුරටත් සාකච්ඡා කිරීමට දෙයක් නැත. රටට ඉක්මනින්ම ඕනෑ කර ඇති දේශපාලන ස්ථාවරත්වය ලබා දීමට අවශ්‍ය කැප කිරීම පොහොට්ටු පක්ෂයට කළ හැකිද? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට සහ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට එම කැපවීම කළ හැකිද?

මූල්‍ය අර්බුදය ශ්‍රී ලංකා දේශපාලනයේ සැබෑ මුහුණුවර හෙළිකර ඇත. නව ව්‍යවස්ථාවක් පොරොන්දු වූ පොහොට්ටු ආණ්ඩුව අද අසරණය. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් ගැන පම්පෝරි ගැසීමට බැරිය. ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ නොමැතිව පොහොට්ටුවට මැයි දිනය නුගේගොඩ පැවැත්වීමට සිදුවීම දෛවයේ සරදමක් නොවේද? පොහොට්ටු නායකයන්ට හමුදා ආරක්ෂාව සහිතව වුවත් මහ පාරේ යෑමට බැරිය. ජනතාව සමස්ත පොහොට්ටු පක්ෂය ප්‍රතික්ෂේප කර ඇත. පොහොට්ටුව නායකත්වයට ජනතාවට මුහුණ දීමට නොහැකිය. ජනතාවට පොහොට්ටු පක්ෂය අරහංය. සමගි ජන බලවේගය ඉදිරිපත් කළ විශ්වාසභංගයට සහයෝගය නුදුන්නොත් පොහොට්ටුවේ විකල්ප කණ්ඩායමට අත්වන ඉරණම අමුතුවෙන් කිව යුතු නොවේ. සබ්රි අමාත්‍යවරයා කළ පාපොච්චාරණයෙන් පසුව පොහොට්ටුව නැත්තටම නැතිවී ඇත. ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී පොහොට්ටුවට ඡන්දය දීමේ පාපයට මෙම ලියුම්කරුද වරදකරුවෙකි.

පොහොට්ටුව ඇත්ත වශයෙන්ම ජන පීඩක ආණ්ඩුවකි. මේ ආකාරයට ජනතාවට එපාවූ කිසිදු ආණ්ඩුවක් බි්‍රතාන්‍ය ශ්‍රී ලංකාවට නිදහස ලබා දීමෙන් පසුව ජනතා ඡන්දයෙන් පත්වී නැත. පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ, විපක්ෂ මැති ඇමැතිවරුන්, ඉහළ ව්‍යාපාරික ප්‍රජාව, බලයේ සිටි සහ බලයේ සිටින ආණ්ඩුව සමඟ ක්‍රියාත්මක දූෂිත ව්‍යාපාරික කණ්ඩායම් හැර සමස්ත ජනතාවගෙන් අති බහුතරය අද අසරණය. සුදු සහ රතු නාඩු කිලෝවක මිල රුපියල් 220 නියම කරමින් ගැසට් නිකුත් කරන ආණ්ඩුවක් කුමකටද? සුදු සහ රතු සම්බා ද කිලෝව රුපියල් 230 කි. පොල් ගෙඩියට ද ගැසට් ගැසූ ඔලමොට්ටල පොහොට්ටු ආණ්ඩුව තවදුරටත් භූමියේ යථාර්ථය වටහා නොගෙන කටයුතු කිරීම ජනතාව ඉවසන්නේ නැත. ගෘහස්ථ ගෑස් සහ තෙල් පෝලිම්වල රස්තියාදු වෙන ජනතාවට එක වේලක් නිසියාකාරව ආහාරයට ගැනීමට නොහැකි තත්ත්වයට පොහොට්ටු ආණ්ඩුව රට පත්කර ඇත. සමස්තයක් ලෙස පෞද්ගලික අංශය නැත්තටම නැතිවී ඇත. ශ්‍රී ලංකාවේ අවශ්‍යතා පිරිමැහීම ඉන්දියාව, චීනය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවේ වගකීමක් වී ඇත. ලෝකෙට බරක් වී ඇති ශ්‍රී ලංකාවට පාර්ලිමේන්තුවක් කුමටද යන ප්‍රශ්නය ජනතාව තුළ කැකෑරෙමින් ඇත. දෙසිය විසිපහම ප්‍රතික්ෂේප කරන්නේ ඒ නිසාය.

පොහොට්ටු පක්ෂයට ඡන්දය දීම සමාව දිය නොහැකි වරදකි. කෘෂිකර්මාන්තය විනාශ කළ පොහොට්ටුවට සමාව දිය නොහැක. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම නිසිකලට නොකිරීමේ මහා පාපයට පොහොට්ටු නායකත්වයට කිසිසේත් සමාව දිය නොහැක. වෙළෙඳ පොළේ රුපියල ‘ආරක්ෂා’ කිරීමට ඩොලර් සංචිත කිසිදු වගවිභාගයකින් තොරව වැය කළ පොහොට්ටු පක්ෂයට සමාව දීමට නොහැක. යහපාලන සමයේදී මහ බැංකුව කොල්ල කාපු එජාපය පාර්ලිමේන්තු ආසන 106 සිට 1 ක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකට 2020 අගෝස්තු මහමැතිවරණයේදී ජනතාව පහත හෙළීය. පොහොට්ටුවේ ඉරණම ජනතාව තීරණය කරනු ඇත. ඒ වනවිට ශ්‍රී ලංකාවට අවශ්‍ය පාර්ලිමේන්තුවක් නොවේ සොහොන්පල්ලෙකි. පළමුවත්, දෙවනුවත් තුන්වෙනුවත් සොහොන්පල්ලෙක්මය.

ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මෑතකදී නැවත අවධාරණය කළ දූෂණ, වංචා, අක්‍රමිකතා සහ පරිපාලන දූෂණ පෝලිම්වල දුක් විඳින, බෙහෙත් ගැනීමට නොහැකිව ළතැවෙන, දූ දරුවන්ගේ අවශ්‍යතා පිරිමැසීමට නොහැකිව තැවෙන ජනතාවට පෙන්වා දෙන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ජනතා අපේක්ෂා සම්පූර්ණයෙන්ම නැතිකර දමා ඇති බවයි. කෙසේ වෙතත් ඩොලර් අර්බුදය, ජනතාවට දරුණු පාඩමක් කියා දී ඇත. කවුරු ආණ්ඩුව පිහිටු වුවත් බලය විධායකයට, ව්‍යවස්ථාදායකයට සහ අධිකරණයට පමණක් බවය. එලෙසම සියලු ජනතා අපේක්ෂා සහ අවශ්‍යතා දේශපාලන ඕනෑ එපාකම්වලට යටත් බවය.

● ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment