සෝභිත හිමි වැඩ සිටියා නම්

164

මොහාන්ධකාරයට ගිනිහුල දල්ලා
පෙරමුණට පැමිණි
පෙරගමන්කරුවා ඔබයි
කසාවත පෙරවූ බෝසත් ඇත් රජුනි
ගිනිහුල ඔබ දැල්වූ ඔබේ අතම දවා
ගිලිහී ගියත් එදා
කසාවත පෙරවූ බෝසත් ඇත් රජුනි
යොවුනත් අත ඔබේ ගිනිහුල දැල්වෙනවා
ඒ දකින්න අද ඔබ හිටියා නම්…

ගුණමකුවන් අතරේ ඔබ පෑ ආලෝකේ
උඩුහුළඟට අල්ලා දැල්වූ ගිනිහුල සේ
ඔබේ අතම දවා දැඩි වේදනා නැගෙද්දී
තෙද හදවත හෙලූ සුසුම්
කසාවත පෙරවූ බෝසත් ඇත් රජුනි
ගිලිහී වැටුණත් ඔබේ අතින් එදා
යොවුනත් අත ඔබේ ගිනිහුල දැල්වෙනවා
ඒ දකින්න අද ඔබ හිටියා නම්…

ඔබ නැති ගන අඳුරේ ලක්මව වැළපෙද්දී
ගම වැදුනා ආයේ හොර වැදි දෙටු බෑයෝ
දළ ඇතුන් මරා ගජමුතු සෙවූ සොරුන් සේ
උන් ලක්බිම නිධන් හොරූ
කසාවත පෙරවූ බෝසත් ඇත් රජුනි
ගිලිහී වැටුණත් ඔබේ අතින් එදා
යොවුනත් අත ඔබේ ගිනිහුල දැල්වෙනවා
ඒ දකින්න අද ඔබ හිටියා නම්…

ලූෂන් බුලත්සිංහලයන් මේ පද පබදින්නේ අන් කවරෙකුටවත් නොව අප කතානායකයාණෝ මාදුළුවාවේ සෝභිත හිමියන්ටයි. උන්වහන්සේගේ නම ඇසෙන සැම විටම නව ජීවයක් ලද්දාක් මෙන් හැඟීමක් ගතට සිතට දැනෙයි. ඒ රූප කාය මැවී පෙනෙයි. වර්තමාන සමාජ, දේශපාලන අර්බුදයත් සමග අද එදාටත් වඩා උන්වහන්සේගේ අඩුව රටට දැනෙයි. අද වන විට අප රට පෙර නොවී විරූ තත්ත්වයකට පත්ව ඇත. බඩු මිල දරා ගත නොහැකි ලෙස ඉහළ යමින් පවතී. වැඩි මිලට හෝ ලබාගත් ආහාර ද්‍රව්‍ය පිස ගැනීම ද දුෂ්කර ය. දිනපතා කෙරෙන විදුලි කප්පාදු නිසා ජන ජීවිතය අවුල් වී ඇත. විදුලිය පදනම් කරගත් සුළු සහ මහා ව්‍යාපාර අමාරුවේ වැටී ඇත. විවිධ පෝලිම් රට පුරා දකින්නට ඇත. පෝලිම්වල මිනිස්සු මියැදෙති. බෙහෙත් හිඟය ක්‍රමයෙන් උත්සන්න වෙමින් පවතී. ආර්ථිකයෙන් පටන් ගත් අර්බුදය මුළුමහත් දේශපාලන ව්‍යුහය සහ සමාජය වෙලා ගෙන ඇත. ගාලු මුවදොර ප්‍රමුඛව අලුත් පන්නයේ අරගල භූමි නිර්මාණය වී ඇත. ඉදින් සෝභිත හිමි වැඩ සිටියා නම් අපට කෙතරම් ශක්තියක්දැයි නිරන්තරයෙන් සිහිපත් වේ. මාදුළුවාවේ සෝභිත හිමියන් යනු සැම විටම සාධාරණ සමාජයක් උදෙසා කැපවූ පරහිතකාමී යතිවරයාණන් වහන්සේ නමකි. මැයි මස 29 වැනිදා උන්වහන්සේගේ 80 වැනි ජන්ම දිනය යෙදී තිබේ. මේ ඒ නිමිත්තෙනි.

සෝභිත හිමි වැඩ සිටියා නම්

පක්ෂ දේශපාලනයෙන් තොරව අසාධාරණයට, අයුක්තියට එරෙහි ව හඬ නැගීමටත්, සුදුසු තැන්හි වැරැදි පෙන්වා අනුශාසනා කිරීමටත් සෝභිත හිමියෝ කිසිදා බිය නොවූහ. උන්වහන්සේ වටා සිටිනවුන්ට කිසිදු, චිත්ත පීඩාවක් ඇති නොකර දේශීය මෙන්ම දේශාන්තරවල පවා ජනයා තුළ ප්‍රියත්වයක් ඉපදවීමට උන්වහන්සේ සතු ගූණ සමුදාය, ව්‍යක්ත බව හා වාසනා ගුණයත්, ධී ශක්තියත් නො අඩුව බලපාන්නට ඇත. උන්වහන්සේ ළඟට බැඳි බොහෝ චරිත බැබලී, උන්වහන්සේට ගරහා අපවාද නගා අතහැර ගොස් ය. බලය ලබා ගැනීමට නොව බලය හැසිරවිය යුතු මග භික්‍ෂූවගේ උරුමය බව උන්වහන්සේ දැන සිටියහ. සෘජු ප්‍රතිපදාවෙන්, සාසනාලයෙන්, සමයාලයෙන් යුක්ත ව අයුක්තියේ දි අසාධාරණයේ දී නිර්භීතව හඬ නැගීමට උන්වහන්සේ දෙවරක් නොසිතූහ. ජන සමූහයකට කිසියම් කරුණක් ඒත්තු ගැන්වීමට නායකයකු සතු විය යුතු කථන කුසලතාව උන්වහන්සේට නො අඩුව තිබුණි. මේ නිසා ම දේශපාලන නායක නායිකාවෝ ද උන්වහන්සේගේ අවවාද අනුශාසනා නිරන්තරයෙන් අපේක්ෂා කළහ. රූපකායෙන්, හඬ පෞරුෂයෙන් ශ්‍රාවක සිත් සතන් වශී කරනවා සේ ම ජාති වාත්සල්‍යයෙන් නැගූ සිංහනාදය සිහිපත් වනවිට අපගේ මතකයට නිතැතින්ම පැමිණෙන්නේ කුඩාපොළ හිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි, වාරියපොළ සුමංගල හිමි වැනි ජාතික සටනේ පුරෝගාමි භික්ෂූන්වහන්සේලා ය.

අසන්නාගේ ප්‍රබෝධය ඇති වන පරිදි චිත්තරූප මැවෙන ආකාරයට පැරැණි කතා කීමට සෝභිත හාමුදුරුවෝ ඉතා දක්ෂ ය. උන්වහන්සේ ධර්ම දේශනා උදෙසා නොවැඩිය ගමක් ලංකාවේ නැති තරම් ය. ශ්‍රාවකයන් වශී කළ හැකි ධර්ම සන්නිවේදන හැකියාව ඊට බලපා ඇති ප්‍රධාන හේතුවකි. පිරිස අනුව, වෙලාව අනුව කරුණු ගෙනහැර දක්වමින් උචිත පරිදි හඬ පාලනය කරමින්, ගැළපෙන උපුටන යොදා ගනිමින් සිදු කරන ධර්ම දේශනා ශෛලිය උන්වහන්සේටම අනන්‍ය වූවකි. වරෙක ආචාර්ය හෙන්රි පීබල්, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් පිළිබඳ මෙවැනි ප්‍රකාශයක් කර තිබේ. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ හඬ සමුද්‍ර ඝෝෂය වැනි ය. රළ නංවයි. ඈතට ඇසෙයි. මේ ප්‍රකාශය මාදුළුවාවේ සෝභිත හිමියන්ට ද ඉතා යෝග්‍ය ය. උන්වහන්සේගේ ගැඹුරු නින්නාද ස්වරය සියල් සිත් ආකර්ෂණය කරවයි. එය කිසිවෙකුටත් අනුකරණය කළ නොහැකි ය. අනුකරණය කළ යුතු ද නැත. සෝභිත හිමියන් කලාකරුවන් අතර ද ඉතා ප්‍රියශීලී හිමි නමකි. මේ නිසා නිරන්තරයෙන් කලාකරුවෝ සිය වැඩ කටයුතුවලට උන්වහන්සේ සහභාගි කර ගැනීමට විශේෂ කැමැත්තක් දක්වති. උන්වහන්සේ ද කවිය, ගීතය, නවකතාව, චිත්‍රපටය ආදි සකල විධ කලාවන් සුදුසු තැන්හි ඇගයීමට කිසිවිටක පසුබට නොවූ හ. කලා නිර්මාණ උදෙසා උන්වහන්සේ ඉදිරිපත් කළ යම් යම් ප්‍රකාශ සුළු කොට තැකිය යුතු නොවේ.

1942 වසරේ මැයි මස 29 වැනි දින කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්කට ආසන්න මාදුළුවාව නම් ග්‍රාමයේ උපත ලද සෝභිත හිමියන්ගේ ගිහි කල නාමය වන්නේ පතිරගේ දොන් රත්නසේකරයි. 1955 වසරේ මැයි මස 09 වැනි දා පැවිදි දිවියට පත්වූ උන්වහන්සේ විද්‍යාලංකාර පිරිවෙනින් පිරිවෙන් අධ්‍යාපනය ලබා ගෙන 1962 වසරේදී උපසම්පදාව ලබාගත් සේක. යක්කඩුවේ ප්‍රඥ්ඥාරාම, කොටහේනේ පඤ්ඤාකිත්ති වැනි මහා යතිවරුන්ගේ පහස ලැබූ විදුලකර බිම සෝභිත හිමියන්ට මහත් ආශීර්වාදයක් විය. 1963 වසරේදී උසස් අධ්‍යාපනය සඳහා විද්‍යෝදය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ උන්වහන්සේ 1967 වසරේදී ඉතිහාසය දෙවන පෙළ ඉහළ සාමාර්ථයක් ලබා ගනිමින් උපාධිය සමත් විය. බළන්ගොඩ අනද මෙත් මහා නාහිමියන්, හේන්පිටගෙදර ඥානසීහ හිමි, කලුකොඳයායේ පඤ්ඤාසේකර මහනාහිමි, ගනේගම සරණංකර හිමි, මහාචාර්ය මැන්දිස් රෝහණධීර, මහාචාර්ය හේම එල්ලාවල, මහාචාර්ය මාලනී ඇදගම, වැනි උගතුන් රැසකින් ශිල්ප ඥානය ලැබූ උන්වහන්සේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ලෙසත් කටයුතු කළහ. උඩුවේ නාලන්දාරාම පිරිවෙනින් ගුරු දිවිය ඇරඹූ උන්වහන්සේ ගංගොඩවිල සුභද්‍රාරාම පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති ලෙසත්, ඇතුල්කෝට්ටේ පැරකුම්බා පිරිවෙනේ පරිවේනාධිපති ලෙසත් කටයුතු කරන ලදී.

සිංහල බලමණ්ඩලය, මවුබිම සුරැකීමේ ජාතික ව්‍යාපාරය, ජාතික සංඝ සභාව, සමස්ත ලංකා අමද්‍යප තරුණ සංවිධානය, වීර විදහන, ජාතික වීර පදනම, සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික සංවිධානය වැනි සංවිධාන රැසක් ආරම්භ කිරීමට මූලිකත්වය ගත් උන්වහන්සේ ඉන් බොහොමයකම ආරම්භක සභාපති ලෙස කටයුතු කළහ. 1975 වසරේ පෙබරවාරි 02 වන දින මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ අනගාරික ධර්මපාල පිළිරුව අභියස සමස්ත ලංකා අමද්‍යප තරුණ සංවිධානය බිහි වීම, කොළඹ සිට රුවන්වැලිසෑයට පාගමනින් ගොස් ත්‍රස්තවාදී ගැටලුව පිළිබඳ දුටුගැමුණු රජතුමාට සන්දේශයක් භාර දීම, 1982 සරච්චන්ද්‍රයන්ගේ ධර්මිෂ්ඨ සමාජය කෘතිය එළිදක්වන උළෙලට සිදුවූ මැර ප්‍රහාරය, 1986 හෙද වැඩ වර්ජනය, 1987 අභයාරාම ඓතිහාසික මැයි දින රැලිය, 1987 ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව සිදු කළ සත්‍යග්‍රහය, 1993 වසරේ ලලිත් ඇතුලත්මුදලි මැතිතුමන්ගේ අවමංගල්‍ය උත්සවයට කඳුළු ගෑස් ගැසීම, සුනාමියෙන් අවතැන්වූවන්ට ආධාර පිණිස ගිය මුදල් පිණ්ඩපාතය වැනි ඓතිහාසික අවස්ථා රැසක කැපී පෙනෙන කාර්ය භාරයක් සිදු කිරීමට උන්වහන්සේට හැකියාව ලැබුණි. මෙරට දේශපාලන ඉතිහාසයේ මර්මස්ථානයක් බවට කෝට්ටේ ශ්‍රී නාග විහාරය පත්වන්නේද මෙකී සමාජ දේශපාලන කාර්යභාරය හමුවේ ය.

අනුරාධපුර යුගයේ සිටම ජාතික ආගමික කටයුත්තකදීම භික්ෂුන් වහන්සේ මූලිකත්වය ගෙන කටයුතු කළ අතර එළාර දුටුගැමුණු යුද සමයේ ඇතැම් හිමිවරු සිවුරු අතහැර යුද්ධයට ගියහ. බොහෝ රජවරුන්ට ආරක්ෂක ස්ථානය වූයේ පන්සලයි. රජුන්ට දේශපාලනයට උපදෙස් ලබාදුන් මුල් භූමිය වූයේ පන්සලයි. මෙකී සමාජ සන්දර්භය තුළ භික්ෂුන් වහන්සේගේ කාර්යභාරය සුළු කොට තැකිය නොහැක. රටට දැයට උවදුරු එන සැමවිටම පෙරමුණ ගන්නා ජනතාවාදී යතිවරු බිහිවන්නේ රටේත් ජනතාවගේත් පිනට ය. මේ මොහොතේ රට නිසි තැනට ගෙන ඒමට පැවිදි සමාජයෙන් හෝ ගිහි සමාජයෙන් නායකයෙකු බිහි විය යුතු ය. නිසි දැක්මක් ඇති නායකයෙකු බිහි විය යුතු ය. සෝභිත හාමුදුරුවන්ට පක්ෂ දේශපාලනයක් තිබුණේ නැත. පවතින රජයට ජය ඝෝෂා කරනවා වෙනුවට උන්වහන්සේ සැම විටම වැඩ සිටියේ නිවැරදි තැන ය. උන්වහන්සේ හැමවිටම සිදු කළේ විපක්ෂයේ කාර්යභාරයයි. විටෙක එය උඩුගම් බලා යාමක් වැනි ය.

සැබවින්ම සෝභිත හිමි වැඩ සිටියා නම් අද කුමක් සිදු වේ ද? උන්වහන්සේ අරගල භූමියට වැඩිය හැකියයි කෙනෙක් සිතිය හැක. ඇතැම් විට උන්වහන්සේ පවතින දේශපාලන අස්ථාවර භාවය ගැන දේශපාලනඥයන්ට සිය නොසතුට ප්‍රකාශ කරනු ඇත. ජාති භේද, පක්ෂ භේද නොසලා රට අවධි කළ යුතු යැයි රට වැසියන්ට පහදා දෙනු ඇත. මේ මොහොතේ රට නිසි මගට ගැනීමේ සටනට නායකත්වය දෙනු ඇත. උන්වහන්සේගේ ඒ පරාර්ථකාමි චර්යාව, නොපසුබස්නා වීර්ය අද අප තුළ ද ගොඩනැගිය යුතු ය. අපි සැබවින්ම සෝභිත සමරනවා යනු උන්වහන්සේගේ ඒ දර්ශනය ඉදිරියට ගෙන යෑමයි. පිළිම තැනීම, ගුණ කථන කිරීම, පුෂ්පෝහාර කිරීම, ගුණ ගී ගැයීම, දන් පින් දී සැමරීම එක් සැමරීමකි. එසේම උන්වහන්සේගේ දර්ශනය ඉදිරියට ගෙන යෑම ද උන්වහන්සේ අවලෝකනය කිරීමකි. භික්ෂුන්වහන්සේලා සිටිති. මෙරටත් වැඩ සිටිති. එරටත් වැඩ සිටිති. එහෙත් මාදුළුවාවේ සෝභිත හිමි ලා වැඩ සිටියේ එක් නමකි. උන්වහන්සේ අපේ කාලයේ වාදීභසිංහයාණෝ ය. උන්වහන්සේ අපවත් වූ මොහොතේ සමුද්‍ර වෙත්තසිංහයන් ලියූ කවකින් මේ ලිපිය අවසන් කරමි. එය අදටත් දැනෙන පද පෙළකි.

“සිංහ නාදයෙන් මුළු රට අවදි කළ
සිංහයා නිදයි අවසන් නින්ද තුළ
නොඇසේ අබිරු සිහනද දෑ සටන්වල
පාළුයි ඔබ නැතිව ලක් මෑණිගේ උකුළ”

අමිල ලොකුමාන්නගේ
කථිකාචාර්ය ජනමාධ්‍ය අධ්‍යයනාංශය
ශ්‍රී පාලි මණ්ඩපය, කොළඹ විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment