සෝමසිරි දෙහිපිටිය මතකාවර්ජනා

527

දශක හතරකට ප්‍රථම ජීවන මඩලින් හා කලා ලොවේ සමුගත් ඉතා වටිනා කියන යුග පුරුෂයකු වන සෝමසිරි දෙහිපිටිය පිළිබඳව සටහන් කිරීමට කෙනෙකුට අවස්ථාව ලැබෙන්නේ පෙර පිනක් ඇත්නම් පමණක් යැයි මා විශ්වාස කරමි.

සෝමේ අයියා ගැන ඔහුගේ රංගන කුසලතා පිළිබඳව මෙම ලිපිය තුළ මා කිසිවක් විචාරශීලී ඇසකින් නො බැලීමට උත්සාහ දරමි. එය මා නොකළ යුත්තක් යැයි මට සිතේ ඒ මන්දයත් ඒ අන් කිසිවක් නිසා නොව ස්වාභාවික රංගනය එසේත් නැත්නම් චරිතයක් ජීවත් කරමින් රඟ නොපා සිටීමේ හැකියාව තිබූ දේශීය සිනමාවේ නළුවන් කිහිප දෙනා අතරට ද ඔහුගේ නම පැහැදිලිවම එකතු වන බැවිනි.

සත් සමුදුර අපට දායාද කළ සුවිශේෂී රංගන ශිල්පීන් කීප දෙනා අතරේ සෝමසිරි දෙහිපිටිය සිටියේය. ඉන්පසුව ලෙස්ටර් ජේම්ස් පීරිස්, ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, ඩී. බී. නිහාල්සිංහ, ටයිටස් තොටවත්ත, සුමිත්‍රා පීරිස්, සුනිල් ආරියරත්න, සුගතපාල සෙනරත් යාපා, තිස්ස අබේසේකර, ගාමිණී ෆොන්සේකා වැනි මා කී නොකී නිර්මාණ කරුවන්ගේ නිර්මාණවලට දායකත්වය දීමට ඔහුට හැකි විය. 1967 සිට 1982 නමැති වසර පහළොවක් තුළ මෙවැනි සිංහල සිනමාවේ අග්‍රගණ්‍ය යුග පුරුෂයන්ගේ නිර්මාණවලට දායක වූ ඔහු පිළිබඳ පසුකාලීනව බිහි වූ නළුවකු ලෙස මට දැක්විය හැකි විචාරය කුමක්ද?

සෝමසිරි දෙහිපිටිය මතකාවර්ජනා
නාමෙල්, සිරිල් සමග දෙහිපිටිය

නමුත් පාසල් සමයේ සිනමාව නැරඹුව ගැටවරයකු ලෙස ගුණාත්මක සිනමාව පමණක් නොව වාණිජ සිනමාවේ අති ප්‍රබල චිත්‍රපටයක් වූ ‘චණ්ඩි පුතා’ වැනි රසික ජනාදරය තදබල ලෙස දිනාගත් චිත්‍රපටයක ඔහු රඟපෑ චරිතය අදටත් මගේ දෑස් ඉදිරිපිට මැවී පෙනේ. අද අප කතා කරන අප දන්නා කියන පාතාලයක් එදා තිබුණේ නැත.

චණ්ඩි පුතා චිත්‍රපටයේ සිරිල් අයියා නමැති චරිතය සෝමේ අයියා රඟපෑවේ එක කකුලක් අහිමිව නමුත් මනුෂ්‍යත්වයෙන් උතුරා ගිය තැනැත්තෙකු ලෙසිනි. ඔහු රඟපෑමට වඩා චරිතය ජීවත් කළා යැයි මා ප්‍රකාශ කළහොත් එම මතයට විරුද්ධ වන්නකු සොයා ගැනීමට නොහැකි බව මගේ ඒකායන විශ්වාසයයි. මෙම චිත්‍රපටයේ කතා නායකයා වූ ගාමිණී ෆොන්සේකාගේ චරිතයට විවිධ අන්දමේ බාධක තර්ජන පීඩන එන අවස්ථාවන්හි සෝමේ අයියාගේ චරිතයෙන් ගාමිණී ගේ චරිතය ද තව තවත් ප්‍රේක්ෂකයාට සමීප වීමට හැකි තත්ත්වයක් උදාවුණු බව ද මාගේ මතයයි.

ඔහු සමඟ චිත්‍රපට පහකට පමණ ආසන්න ප්‍රමාණයක මා වැඩ කළෙමි. එයින් හතරකම ඔහු මාගේ පියා ලෙස රඟපෑවේය. කෙසේ වෙතත් පෙනුමෙන් ඒ චරිතයට සුදුසු වුවද අප දෙදෙනාගේ ආශ්‍රය පුරාම ඔහු මට ආදරණීය වැඩිමහලු සොහොයුරෙක් විය. ඒ සොඳුරු බන්ධනය මට පමණක් නොව අප පරපුරේ සිටි සියලුම නළු නිළියන් වෙත ඔහු විදහා පෑවේය. නමුත් ඔහුගේ සදාතනික ආදරණීය මිත්‍රයන් රාශියක් මැද්දේ ඔහුට විජය සුවිශේෂී වූ බවද මෙහිලා සඳහන් කරමි.

සෝමෙ අයියා සහ ටෝනි අයියා අතර තිබුණෙ ද පුදුමාකාර මිත්‍රත්වයකි. සමහරවිට දර්ශන තලයේ ටෝනි අයියා විසින් කළ සමහර විහිළු වෙන කෙනෙක් නම් ඉවසන්නේ නැත. නමුත් ටෝනි අයියා පමණක් නොව ඔහුට රංගනය කරන අවස්ථාවේදී යම් ආකාරයකින් බාධාවක් කරන කිසිම තැනැත්තෙක් සමඟ කෝප වූයේ නැත.

ඔහුගේ පසුම්බියේ ඇති මුදල් වියදම් කළේ යහළුවන්ගේ සැපේදී දුකේදීය. මේ පිළිබඳව මට වඩා හොඳට සවිස්තරාත්මකව කීමට හැකියාව ඇති ඔහුගේ සමකාලීන මිත්‍රයෙක් වන සිරිල් වික්‍රමගේ, ඩබ්ලිව් ජයසිරි වැනි අයවලුන්ගෙන් අදටත් විමසුවහොත් බොහෝ දේ දැනගන්නට හැකි යැයි මා විශ්වාස කරමි.

සෝමේ අයියා කෙතරම් දක්ෂ නළුවෙක් වුවද රංගනයේදී හෝ දෙබස් කැවීමේදී ඒ සඳහා තිබුණු උනන්දුව මත ඉතා ඉක්මනින්ම කලබල වන ස්වරූපයක් ද ගත් බව අපි සියල්ලෝම දන්නෙමු. බොහෝවිට ඒ තව කෙනකු විසින් ඔහු කලබල තත්ත්වයට පත් කිරීම නිසයි. ඔහු උරණ වූයේ නැත. විශේෂයෙන්ම එකල දෙබස් කැවීම්වලට තිබූ ක්‍රමය අනුව අනෙක් නළු නිළියන් සමග එකතුව එකට දෙබස් කැවීම කරන අවස්ථාවන්හි දී ඔහු අතින් සිදුවන ප්‍රමාද දෝෂය නිසා ඔහු දැඩිසේ කම්පාවට පත්ව අන්‍යයන්ගෙන් සමාව අයදී. ඊළඟ අවස්ථාවේ වචන ඒමට පෙර ‘අනේ සෝරි’ කියා කියන්න ගියාම එම අවස්ථාවත් මඟ හැරි යයි. එය එක්තරා අන්දමකට දැඩි සිනහා උපදවන කරුණක් විය. නමුත් අද දවසේ දෙබස් කැවීම් සඳහා තනි තනිව සහභාගි වීමට තරම් තාක්ෂණය දියුණු වූ අවස්ථාවක සෝමේ අයියා අපි අතර නොමැතිවීම මට බලවත් දුකකි. සැබැවින්ම ඔහු සිටියා නම් “මේක මොනතරම් හොඳ ක්‍රමයක්ද නැතිනම් මම හින්දා අනිකුන්ගේ වේලාවත් නාස්ති වෙනවා නේද” යැයි කියනු නිසැකය. සෝමේ අයියා වැනි සරල පුද්ගලයකු තුළ තිබූ මානුෂීක ගුණාංග ගතිගුණ කොතෙක්දැයි කියා නිම කළ නොහැක.

දේශීය සිනමාව සහ සිනමා ක්ෂේත්‍රය අද පත්ව තිබෙන තත්ත්වය පිළිබඳව මා මේ අවස්ථාවේ කථා නොකළහොත් (?) එක්තරා අන්දමකට සෝමේ අයියා වගේ කෙනකු මෙකල ජීවත් වුණා නම් ඔහු මේ මෙහි තිබෙන බලු පොර තුළ එසේත් නැත්නම් මේ තිබෙන කාලය කළමනාකරණය කර ගැනීමට නොහැකිව අපි යන දඟළන, තැලෙන පෙළෙන පරිසරය තුළ කුමන අන්දමකට කටයුතු කරයි දැයි මට සිතා ගත නොහැකිය. සමහරවිට ඔහු සිරිල් අයියා මෙන් පැත්තකට වී සිටිනු ඇත. සමහරවිට ඩබ්ලිබ් ජයසිරි මෙන් තෝරා බේරා ගෙන යම් කිසි දෙයකට පමණක් සම්බන්ධ වනු ඇත.

අද දින ඔහු සමඟ සිටි ඔහුගේ සමකාලීන බොහෝ දෙනෙක් ඔහු සොයා ගොස් ඇති බව නොරහසකි. කෙසේ වෙතත් මා අදහන බුද්ධ ධර්මයේ නාමයෙන් සෝමෙ අයියගේ ඊළඟ භවය ඉතාම සුවදායි ආත්මයත් විය යුතු යැයි මා විශ්වාස කරන්නේ ඔහු ජීවත් වූ කාලය තුළ කිසියම් වූ අවස්ථාවක ආත්මාර්ථකාමී වනවා මා දැක නොමැති නිසාය.

සෝමෙ අයියෙ ඔබ නැවතත් අප අතරම ඉපදෙනවා දැයි ද එසේත් නැතිනම් නිවන් සුව සාක්‍ෂාත් වේවායි ඔබට ප්‍රාර්ථනා කරනවා දැයි ද මා තුළ ඇත්තේ කුකුසකි. මන්ද අද වැනි දවසක ඔබ වැනි හොඳ මිනිසුන් මේ මිහිතලයෙ ජීවත් වීම නුසුදුසු යැයි ද මහට හැඟෙන නිසා.

සෝමසිරි දෙහිපිටිය මතකාවර්ජනා

සනත් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment