සෝමාවතිය පෙනි පෙනී වැසිකිළි අපද්‍රව්‍ය දමන බවට චෝදනා- සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝගයක්

83

සෝමාවතී ජාතික වනෝද්‍යානයට නීති විරෝධී ලෙස වැසිකිළි අපද්‍රව්‍ය සහ කැළි කසළ බැහැර කරන සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලොන්නරුව මහෙස්ත්‍රාත් යූ.එන්.එස්.ඒ. වික්‍රමරත්න මහතා වන ජීවී නිලධාරීන්ට නියෝග කළේය.

මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේ සෝමාවතිය රජ මහා විහාරස්ථ භූමියේ පිහිටි වැසිකිළිවලින් ඉවත් කරනු ලබන වැසිකිළි අපද්‍රව්‍ය වන ජීවී අණ පනත් උල්ලංඝණය කරමින් සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සෝමාවති චෛත්‍යයට ආසන්න විදුලි වැටෙන් එපිට ප්‍රදේශයට ගලි බවුසර් මගින් රැගෙන ගොස් නීති විරෝධී ලෙස බැහැර කරන බවට චෝදනා කරමින් වන ජීවී දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව කලාප කාර්යාලයේ නිලධාරීන් විසින් පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර තිබූ නඩුවක් සලකා බැලීමෙන් පසුවය. අවසර පත්‍රයක් නොමැතිව සෝමාවතී ජාතික උද්‍යානයේ එක කොටසේ විදුලි වැටෙන් එපිට රක්‍ෂිත ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වීම, නීති විරෝධීව මාර්ගයක් තැනීම, නීති වරෝධීව තනන ලද මාර්ගයක් භාවිත කිරීම, කසළ බැහැර කිරීම සඳහා රක්‍ෂිත භූමියේ වලවල් හෑරීම සහ වන සතුන්ට හානිකළ හැකි වැසිකිළි අපද්‍රව්‍ය බැහැර කිරීම යන චෝදනා යටතේ මෙම නඩු පවරා තිබේ. පොලොන්නරුව වන ජීවි කලාප කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ඩබ්ලිව්.එම්.කේ. විජේකෝන් මහතා බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සෝමාවතිය ජාතික උද්‍යානයේ සෝමාවතිය චෛත්‍ය රාජයාණන් වහන්සේට ඉතා ආසන්නව රක්‍ෂිත භූමියේ ස්ථාන කිහිපයක විශාල වලවල් හාරා ඇති බවත් එම වලවල් දෙකකට 2023.06.05 දින උදේ කාලයේ වැසිකිළි අප ද්‍රව්‍ය බැහැර කිරීම මගින් වර්ෂ 1964 අංක 44,1970 අංක 1993 අංක 49,2009 අංක 22 දරණ අනපනත්වලින් සංශෝධිත 1937 අංක 2 දරණ වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත (469 අධිකාරිය) උල්ලංඝනය වන ලෙස කටයුතුකර ඇති බවට තමන් ඇතුළු නිලධාරීන් විසින් නිරීක්‍ෂණය කළ බවය.

තවදුරටත් සිදුකළ පරීක්‍ෂාවේදී මෙම වැසිකිළි අප ද්‍රව්‍ය හේතුවෙන් අවට ප්‍රදේශය වැසිකිළි දුඟද හමන බවත් එයට ආසන්නව වල් ඌරු රංචු ගැවසෙන බවත් එම වන සතුන් මෙම වැසිකිළි අප ද්‍රව්‍ය ආහාර වශයෙන් ගැනීමට පුරුදුව සිටින බව පෙනී යන බවද පසුව ඒ ඔස්සේ සිදුකළ විමර්ශනයේදී මෙම වැසිකළි අප ද්‍රව්‍ය සුංගාවිල දේවාලගොඩැල්ල, අංක 27 යන ලිපිනයේ පදිංචි ඉදැල්ලේ පතිරණලාගේ ප්‍රියන්ත යන අයකු විසින් සෝමාවතී රජ මහා විහාරයේ ඉදිකර ඇති වැසිකිළිවලින් ඉවත්කර මෙම ප්‍රදේශයට මුදාහරින බවට තොරතුරු අනාවරණය වූ බව කියා සිටියේය. මෙම ප්‍රදේශය බුදුන් වහන්සේගේ දකුණු දළදාව වැඩ සිටින ඓතිහාසික සෝමාවතී චෛත්‍යයට ඉතා ආසන්න පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් ඉතාමත් සංවේදී ප්‍රදේශයක් බවත් මෙම කසළ බැහැර කිරීමට හාරා ඇති වලවල් හේතුවෙන් පුරා වස්තු විනාශවී පුරා වස්තු පනත උල්ලංඝනයවී ඇත්ද යන්න සොයා බලන බව එම බී වාර්තාව මගින් වැඩි දුරටත් අධිකරණයට කරුණු වාර්තාකර තිබුණි. වන ජීවී දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව කලාප කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්‍ෂක ඩබ්ලිව්.එම්.කේ.විජේකෝන් මහතා පැමිණිල්ල ඉදිිරපත් කරමින් අධිකරණයට කරුණු දැක්වීය.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment