සෝමේ මොකද වුණේ… ජැක්සන් අසයි…

1005

පසුගිය ඉරිදා උදෑසන අපිට අහන්න ලැබුණේ දුක්මුසු පුවතකි. අපේ රටේ දක්ෂ වගේම ප්‍රවීණ රංගධරයෙක් වන ජැක්සන් ඇන්තනි රූගත කිරීමකට සහභාගි වී නැවත නවාතැන්පළ වෙත ගමන් කරමින් සිටියදී අනතුරකට ලක්වී තිබුණි. ඇත්තටම ඒ පුවත ආසා දැනගැනීමෙන් පසු අපිද කම්පාවට පත්වුණෙමු. මොකද ඔහු මේ රටේ කලාවේ දැවැන්තයෙක් හේතුවෙනි. ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ නවතම සිනමා කෘතිය වන සිංහබාහු රූගත කිරීමකට සහභාගි වී නැවත නවාතැන්පළ වෙත එන අතරතුරදී මෙලෙස අනතුරට ලක්වී තිබේ. ඇත්තටම අද වන විට මේ අනතුර ගැන වගේම ජැක්සන් ඇන්තනි රංගධරයා ගැන ද විවිධ කතා තැන තැන වගේම සමාජ මාධ්‍යවලට පැතිර යනවා. නමුත් එහි සත්‍ය අසත්‍යතාව දැනගැනීම සඳහා ඒ සිද්ධිය වන අවස්ථාවේ ළඟින්ම හිටපු කිහිපදෙනකුට කතා කළා. මේ එහි පෙළගැස්මයි.

චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක මහතා සිද්ධිය පිළිබඳව අපත් සමග මෙලෙස පිළිසඳරක යෙදුණා.

මේ සිද්ධිය වන වෙලාවේ මම හිටියේ ජැක්සන්ට පිටුපසින් ආපු වාහනයේ. ජැක්සන්ගේ වාහනය ඉස්සරහින් ගියේ. මම මුලින්ම දැක්කේ අනතුරක් වෙලා තියෙනවා. මම දන්නේ නැහැ ජැක්සන් කියලා. අපි ඒ වෙලාවේ නවත්වලා බලන්න ගියා මොකක්ද වෙලා තියෙන්නේ කියලා. කාටහරි උදව් කරන්න ඕනද කියලා. බැහැලා යනකොට තමයි දන්නේ ජැක්සන්ගේ වාහනය කියලා. ඒ වෙලාව වෙනකොටත් ජැක්සන්ව එළියට අරගෙන තිබුණා අවට හිටපු මිනිස්සු. අපේ වාහනයේ දාගෙන තමයි අනුරාධපුර රෝහලට අරගෙන ගියෙත්.

අපිට එදා නයිට් ෂූට් එකක් තිබුණා. රාත්‍රි 8.00 ට තමයි රූගත කිරීම් අවසන් කළේ. දර්ශන තලයේ ඉඳලා හෝටලයට එන අතරේදී තමයි මේ සිද්ධිය සිද්ධවුණේ. ජැක්සන් සාමාන්‍යයෙන් එයාගේ වාහනය එයාම තමයි එළවාගෙන එන්නේ. එයා කාටවත් දෙන්නේ නැහැ එයාගේ වාහනය එළවාගෙන යන්න. එයාගේ මල්ලියි එයාගේ ඇසිස්ටන් තමයි වාහනයේ හිටියේ. එතකොට තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. අපි ආවේ පස්සේ.

මේ වෙනකොට සිංහබාහු චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කරලා සති දෙකයි. මූලික අදියර ඉවර කළා විතරයි. ජැක්සන්ගෙත් ෂූට් එකේ මුල් අදියර පටන්ගත්තේ. දැන් මේ අනුරාධපුරේ ෂෙඩූල් එකේ තමයි ජැක්සන්ගේ දර්ශන සියල්ලම තියෙන්නේ. එදා සිද්ධිය වුණ දවසෙත් ජැක්සන්ගේ ෂූට් එක තමයි කළේ. චිත්‍රපටයේ අපි ෂූට් එකේ තුනෙන් එකක් විතර තමයි රූගත කිරීම් කළේ. තව තුනෙන් දෙකක් විතර තියෙනවා ෂූට් කරන්න.

සෝමේ මොකද වුණේ... ජැක්සන් අසයි...

අනතුර මම දැක්කේ නැහැ. අපි විනාඩි පහකට විතර පස්සෙන් ආවේ. අනතුරක් නිසා කාට හෝ උදව් කරන්න බලාපොරොත්තුවෙන් තමයි අපි එතැනට ගියේ. ඒ යනකොට තමයි අපි දන්නේ අපේ වාහනේ අනතුරකට ලක්වෙලා” ජැක්සන් තමයි ඉන්නේ කියලා. ඉතිං ඒ වෙලාවේ මම ආපු වාහනයේම දාගෙන තමයි ජැක්සන්ව රෝහල්ගත කිරීමට ගියේ. මම තමයි ජැක්සන්ව උස්සලා ගත්තෙත්. මම සහ අනෙක් පිරිස. මගේ වාහනයේ හිටියේ මගේ සහය අධ්‍යක්ෂවරයා සහ මගේ තව සහයකයෙක් විතරයි. අපි ෂූටින් වැඩ තාවකාලිකව නතර කළා. අපි දන්නේ නැහැ ආපහු කවදා ෂූටින් පටන්ගන්න වේවිද කියලා. අපි මේ අවස්ථාවේ හිතන්නේ නැහැ චිත්‍රපටයේ වැඩකටයුතු ගැන. අපි මේ වෙලාවේ හිතන්නේ ජැක්සන් සහ අනෙකුත් අනතුරට ලක්වුණු අයගේ සෞඛ්‍ය තත්ත්වය තමයි ප්‍රධාන. ඔවුන් සුවකරගැනීම තමයි ප්‍රධාන අරමුණ.

ජැක්සන්ගේ දරුවෝ දෙන්නත් මේ රූගත කිරීමට සහභාගි වෙලා තමයි හිටියේ. ඔවුන් ආවෙත් වෙන වාහනයක. ජැක්සන්ව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලින් පසුව කොළඹ ජාතික රෝහලට රැගෙන ආවා. අද මේ ඔබත් සමග කතා කරන මොහොත වන විටත් ශල්‍යකර්මයකට භාජනය කරනවා. ඒ අනුව තමයි තීරණය කරන්නේ ජැක්සන්ට සනීප වෙන්න කොච්චර කාලයක් යනවද කියලා. ශල්‍යකර්මය කොච්චර දුරට සාර්ථකද කියලා අපි බලාගෙන ඉන්නවා.

මගේ ප්‍රධාන සගයෙක් වගේම මගේ යාවජීව මිත්‍රයෙක් වගේම නළුවෙක් විදිහට මම ජැක්සන්ව සිංහයාගේ චරිතයට තෝරාගත්තේ ජැක්සන් ඇර වෙන නළුවෙක් ගැන මම හිතන්නෙවත් නැතිව. මට දැන් හිතාගන්න බැහැ ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. ජැක්සන් යථා තත්ත්වයට සුවපත් වෙනවා කියන බලාපොරොත්තුවෙන් තමයි සිංහබාහු සිනමා කෘතියේ නිෂ්පාදිකාව ලෙස කටයුතු කරන රේණුකා බාලසූරිය මාධ්‍යයට මෙලෙස පැවසුවාය.

එදා තරමක් අඳුර වැටෙනතුරු රූගත කිරීම් තිබුණා. ඊට පස්සේ තමයි ජැක්සන් අයියා හෝටලය බලා යන්න පිටත් වුණේ. ඒ වෙද්දී ඔහු එක්කම එකට රඟපාපු ජැක්සන් අයියාගේ සොහොයුරා සමන් ඇන්තනි වගේම ඉරේෂ් කියලා කෙනකුත් ආවා. ඒ වගේම ඊට පිටුපසින් සෝමේ අයියා ගමන් කළ වාහනයත් තිබුණා. තවත් වාහන කිහිපයකුත් ආවා. කොහොම හරි වාහනේ හිටපු ජැක්සන් අයියලා කතා කර කර එද්දී තමයි අලියා කළුවරේම පාර මාරු වී තියෙන්නේ.

පාර මාරු වූ වන අලියා වාහනයේ හැපී වාහනය උඩට පෙරළිලා. ඊට පස්සේ ඌ නැගිටලා යන්න ගිහින්. වනජීවී නිලධාරීන් ඌ ගැන බලලා අපිට ඒ ගැන කිව්වා. ජැක්සන් අයියාට දැන් ප්‍රතිකාර ලබාදෙනවා. දැනට සැත්කමක් කරලා තියෙන්නේ.

කැමරා අධ්‍යක්‍ෂ විශ්ව බාලසූරිය අපි රූගත කිරීම් මදකට නතර කළා. ජැක්සන් අංකල් මේකේ ප්‍රධාන භූමිකාව සිදුකරන්නේ. ජැක්සන් අංකල්ගේ තත්ත්වය සුව අතට හැරෙනකම් ෂූටින් පොඩි කාලයකට නතර කළා. මොකද චිත්‍රපටයට වඩා ඔහුගේ ජීවිතය අපිට වටිනවා.

මම හිටියෙත් අනතුර සිදුවුණ වාහනයට පිටුපස වාහනයේ. අපි හිතුවේ මොකක් හරි වෙන කලබැගෑනියක් කියලා. මොකද පාරේ සෙනඟ පිරිලා හිටියා. අපිත් කලබල වුණා පිකටින් එකක් කියලා. පසසේ බලනකොට තමයි අලියා ගැටිලා තිබුණේ. ඒ වෙලාවේ තමයි අපි දුටුවේ අනතුර. එතකොට ඇත්තටම ඒ වෙලවේ එතැන අලියා හිටියේ නැහැ. අපේ වෑන් එකේ තමයි ජැක්සන් අංකල්වයි ඉරේෂ් මල්ලිවයි රෝහලට අරගෙන ගියේ. තාත්තලාගේ කැබ් එකේ තමයි සමන් අංකල්ව අරගෙන ගියේ. ඒ වෙලාවේ හැමෝම ලොකු කලබලයක හිටියේ. හැකි ඉක්මනින් රෝහලට අරගෙන ගියා. මේ වෙනකොට ඉරේෂ්ගේ හිසට මැහුම් එහෙම දාලා තියෙන්නේ. සමහර විට අද හෝ හෙට ටිකට් කපයි. සමන් අයියා තවම රෝහලේ ඉන්නවා. දැන් අපේ අම්මා අනුරාධපුරේ නැවතිලා ඉන්නවා. සමන් අයියාගේ දරුවෝ පවා ඇවිත් ඉන්නේ. මම හිතන්නේ අම්මා බොහෝ දුරට සමන් අයියාව එහෙන් හොඳ කරගෙනම තමයි කොළඹ එන්න හිතාගෙන ඉන්නේ. සමන් අයියාට දැන් සිහිය තියෙනවා. අපි කියන දේවල් ඇහෙනවා.

අපිට හිතාගන්න බැරිවුණා මෙහෙම දෙයක් අපිට වුණාද කියලා. හේතුව මේ වගේ සොඳුරු මනුස්සයෙකුට මේ මොකක්ද වුණේ කියලා හිතාගන්න බැරි වුණා. විශේෂයෙන්ම කියන්න ඕනෑ මම වගේ තරුණ කැමරා අධ්‍යක්ෂවරයෙක් හැටියට ජැක්සන් කියන්නේ ප්‍රවීණ නළුවෙක්. දර්ශන තලයේ වැඩකරනකොට ඔහු කවදාවත් ප්‍රවීණයෙක් විදිහට නෙමෙයි හැසිරෙන්නේ. ප්‍රවීණකම සෙට් එක ඇතුළේ පෙන්වන්නේ. පුදුම ලෙංගතුකමකින් තමයි වැඩකරන්නේ. එහෙම වැඩකරපුවහම හිතට පුදුමාකාර වේදනාවක් ඇතිවුණා. මෙච්චර සුන්දර මනුස්සයෙකුට ද මේ දේ වුණේ කියලා. එදා දවසේ හවස් වරුවෙත් ජැක්සන් අංකල්ගේ ෂූටින් තමයි තිබුණේ. ඒවා අපි හරි සුන්දර විදිහට තමයි සිදුකළේ. අපි ඔක්කොම එක පොකුරක් වගේ තමයි වැඩකළේ. මේ වුණ දේ ගැන ඇත්තටම හිතාගන්න බැහැ. කරපු ශල්‍යකර්මය සාර්ථකයි කියලා ආරංචි වුණා. මට අකිල මල්ලිත් කතා කළා. ඔවුන් තවම රෝහලේ ඉන්නේ. හැම තිස්සේම කතා කර කර බලනවා.

චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක

advertistmentadvertistment
advertistmentadvertistment